“අපි සියලුදෙනාම එකම පවුලට අයත් වන්නෙමු”
මෑත වර්ෂවලදී ආගමික අගතිය හා ජාතිවාදය පොළොව පුරා පැතිර ඇත. මිනීමැරුම්වලට, අතිශයින් වධ දී මරුමුවට පත් කිරීමට හා වෙනත් නින්දිත කෲරකම්වලට ජනවාර්ගික මතභේද, පොලඹවා තිබේ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මගින් පළ කළ වාර්තාවකට අනුව, මානව අයිතිවාසිකම් උල්ලංගනය කරන්නන්ගේ ක්‍රියාකාරකම් නිසා, 1994දී ලොව පුරා මිනිසුන් මිලියන 23කට වැඩි සංඛ්‍යාතයකට ඔවුන්ගේ නිවෙස් අත්හැර පලායෑමට සිදු විය.
රුවන්ඩාවේ පමණක්, මිනිසුන් 5,00,000ක් පමණ ඝාතනය කරනු ලැබූ අතර, වෙනත් අය 20,00,000කට වැඩි සංඛ්‍යාවක් ටුට්සි හා හුටු අතර සාහසිකකම් ඇරඹීමෙන් පසු සරණාගතයන් බවට පත් වූහ. “විශේෂයෙන්ම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ආයුධ ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ට පීඩා කරන ලදි,” යයි බෙල්ජියානු ප්රවෘත්ති පත්‍රයක් වන ල ස්වාර් වාර්තා කරයි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ අවි සටන්වල නිරත නොවෙති. ඒ කෙසේවෙතත්, ඔවුන්ගෙන් සිය ගණනක්ව සාහසිකකම්වලින් මරුමුවට පත් කෙරිණ. යේසුස්වහන්සේ විසින් සිය ගෝලයන්ට පවසන ලද වදන් පිළිබඳව මෙය අපට මතක් කර දෙයි: “නුඹලා ලෝකයාගෙන් නොවන නිසා . . . ලෝකයා නුඹලාට වෛරවෙති.”—යොහන් 15:19.
එක් සාක්ෂිකාර පවුලක්—ඕජෑන් න්ටාබ්නානා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා—අගනුවර වූ කිගාලිහි ජීවත් වූහ. ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය ගැන තම අසල්වැසියන්ට පැහැදිලි කරද්දී, ඕජෑන් උෂ්ණ දේශගුණවල වැඩෙන, වැලක් ආකාරයෙන් උඩට නඟින බෝගන්වීලියා පඳුරු ගැන බොහෝවිට කතා කළේය.—මතෙව් 22:21.
“කිගාලිහි බෝගන්වීලියා වැල්වල රතු, රෝස සහ සමහරවිට සුදු පාට මල් හට ගනී,” කියා ඕජෑන් පැහැදිලි කරයි. “ඒත්, ඒවා සියල්ලම එකම පවුලට අයත් වේ. මනුෂ්‍යයන් සම්බන්ධයෙන්ද මෙය සැබෑය. ජාතිය, හමේ වර්ණය නැතහොත් ජනවාර්ගික පසුබිම අනුව අප වෙනස් වුවත්, අපි සියලුදෙනාම එකම පවුලට අයත් වන්නෙමු. එය නම් මිනිස්වර්ගයාගෙන් යුත් පවුලයි.”
ඔවුන්ගේ සාමකාමී ස්වභාවය හා මධ්‍යස්ථ ස්ථාවරය තිබියදීත්, න්ටාබ්නානා පවුල කැරලිකාර ලේ පිපාසිත පිරිසක් විසින් මරුමුවට පත් කරනු ලැබීම කනගාටුදායක සිදුවීමකි. ඒ කෙසේවෙතත්, ඔවුහු විශ්වාසවන්තව මියගියහ. එවන් අයට යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කරනු ඇති බවටත්, අගතිය තවදුරටත් නැති ලොවක් උරුම කරගැනීමට ඔවුන්ව නැවත නැඟිටවනු ලබන බවටත් අපට නිසැක විය හැක. (ක්‍රියා 24:15) එවිට න්ටාබ්නානා පවුල, වෙනත් අයත් සමඟ “මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11.