‘මම දෙවිගේ සරණ පතමි’
මෙම ‘කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවලදී,’ පරීක්ෂණ සහ පීඩන එන්න එන්නම වැඩි වෙනවා. උදාහරණයක් හැටියට, අපේ අවංකකම වැඩපොළේදී පරීක්ෂණයට ලක් වෙනවා. නිර්මලත්වය, පාසැලේ ළමුන් අතර පරීක්ෂණයට බඳුන් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ අඛණ්ඩතාව, සදාචාර ලෙස දූෂිත වූ ලෝකය තුළ කොයිවෙලේත් පරීක්ෂණයට ලක් වෙනවා.—2 තිමෝති 3:1-5, NW.
බයිබල් ලේඛක ආසාප් ජීවත් වුණෙත් දුෂ්ටකම වැජඹෙන කාලයකයි. තමන්ගේ අභක්තික හැසිරීම ගැන ඔහුගේ කාලයේ සිටි සමහරදෙනා පාරට්ටු පවා කරගත්තා. “ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය” කියල ආසාප් ලිව්වා. තවදුරටත් ඔහු මෙහෙම ලිව්වා: “බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි. ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති.” (ගීතාවලිය 73:6, 8) මේ ආකල්පය හුරුපුරුදු එකක්ද?
හරි දේ කරන්න ආශා කරන අයට, එවැනි හැසිරීමක් හරිම පීඩාකාරියි. ඒ වගේම අධෛර්යයට පවා පත් කරවනවා. ආසාප් විලාප කිව්වේ මෙහෙමයි: “දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි. [එය මගේ ඇස් ඉදිරියේ කරදරයක් විය, NW]” (ගීතාවලිය 73:14, 17) ඔබටත් ඒ විදිහටම හැඟෙනවා වෙන්න පුළුවන්, ඒත් බලාපොරොත්තු සුන් කරගන්න එපා! ඔහුගේ දවසේ තිබුණු දුෂ්ටකම ඉදිරියේ යටත් නොවී ඉන්න ආසාප්ට පුළුවන් වුණා වගේම, ඔබටත් ඉන්න පුළුවන්. ඒත් ඒ කොහොමද?
මිනිසාගේ අසම්පූර්ණ පාලනය යටතේ සැබෑ යුක්තිය ඉෂ්ට කිරීම සොයාගන්න කොහෙත්ම බැරි බව ආසාප්ට තේරුම් ගියා. (ගීතාවලිය 146:3, 4; හිතෝපදේශ 17:23) ඉතිං ඔහුගේ වටිනා කාලය, ශක්තීන් සහ සම්පත්, ඔහු වටා තිබූ දුෂ්ටකමත් එක්කම නාස්ති වෙන්න හරිනවා වෙනුවට, දෙවි සමඟ තිබූ ඔහුගේ සම්බන්ධය මතට අවධානය යොමු කෙරුවා. ආසාප් ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙහෙමයි: ‘දෙවිට ළංවීම මට යහපත. ස්වාමි වූ යෙහෝවා මාගේ සරණ කරගතිමි.’—ගීතාවලිය 73:28.
අදත්, දූෂිත ව්‍යාපාරවල යෙදෙන අය බොහෝවිට ද්‍රව්‍යමය වාසි භුක්ති විඳිනවා. බොහෝදෙනෙක් දෙවිගේ නීති කෙරෙහි තමන්ට ඇති අගෞරවය ගැන පුරසාරම් දොඩනවා පවා වෙන්න පුළුවන්. ඒත් ඔවුන් හැමදාටම දිනන්න යන්නේ නැහැ. මොකද ආසාප් නිරීක්ෂණය කළේ මෙහෙමයි: ‘සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවන්නේය. ඔබ ඔවුන් විනාශයට හෙළන්නේය.’—ගීතාවලිය 73:18.
ඔව්, සැබෑ ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතු ප්‍රෝඩාව, සැහැසිකකම සහ දූෂණය විතරක් නෙවෙයි, අනෙකුත් සියලුම අභක්තික ක්‍රියාත්, දෙවිගේ නියමිත කාලයේදී නැති කර දමන්න යනවා. බයිබලය මෙහෙම පොරොන්දු වෙනවා: ‘නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් යෙහෝවා කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්නෝය.’ (ගීතාවලිය 37:9) මේ අතරතුර, මෙලෙස කියූ ගීතිකාකාරයාගේ වදන් අපි සියලුදෙනාම ප්‍රතිනාද කරමු: ‘යෙහෝවා මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාය; මාගේ දෙවිය, මාගේ ශක්තිමත් පර්වතයය, ඔහු සරණකොට ගන්නෙමි.’—ගීතාවලිය 18:2.