මට කවදාවත් පසුතැවෙන්න සිදු නොවූ ජීවිතයක්
පෝල් ඕබ්රිස්ට් පැවසූ පරිදි
මට වයස හයේදී, ඒ කියන්නේ 1912දී, අම්මාට පස්වෙනි දරුවා හම්බ වෙන කොට අම්මා මැරුණා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ, තරුණ ගෘහපාලිකාවක් වූ බ’ටා වයිබල් අපේ පවුල බලාගන්න පටන්ගත්තා. ඊළඟ අවුරුද්දේ තාත්තා ඇයව විවාහ කරගත්තහම, නැවතත් අම්මා කෙනෙක් ලැබීම ගැන අපි දරුවො ටික සතුටු වුණා.
අපි පදිංචි වෙලා හිටියේ ස්විට්සර්ලන්තයේ ජර්මානු භාෂාව කතා කරන කුඩා නගරයක් වූ බෘග්වලයි. ඇත්තටම ක්‍රිස්තියානි කෙනෙක්ව හිටි බ’ටාට මං හුඟක් කැමති වුණා. ඈ 1908දී බයිබල් ශිෂ්‍යයන්ගේ (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ) ප්‍රකාශන පාඩම් කරන්න පටන්ගෙන තිබුණ අතර, ඇය ඉගෙනගත් දේ අනිත් අයට කියමින් සිටියා.
වර්ෂ 1915දී බ’ටායි, තාත්තයි විවාහ වුණ ගමන්ම වගේ, මම ඈ සමඟ “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” බලන්න ගියා. උනන්දුමත් බයිබල් ශිෂ්‍යයන්ගේ ජාත්‍යන්තර සංගමයේ මේ කාච සහ චිත්‍රපට ඉදිරිපත් කිරීම මගේ මනසේ සහ හෘදයේ ගැඹුරු හැඟීමක් ඉතිරි කළා. අනිත් අයගෙත් සිත් ඇදී ගියා. බෘග්හි ශාලාව කොයිතරම් පිරී ගියාද කිව්වොත්, පොලිසිය ඒකෙ දොරවල් වහලා, එන අයව හරවලා යැව්වා. එතකොට හුඟදෙනෙක් ඉණිමඟක උපකාරයෙන්, ඇරලා තිබුණ ජනේලයකින් ඇතුල් වෙන්න උත්සාහ කළා; ටිකදෙනෙක්ට පුළුවන් වුණා.
අම්මාගේ කදිම ආදර්ශය
යුරෝපයේ පළමු ලෝක යුද්ධය උත්සන්න වෙමින් තිබුණ අතර ජනයා අනාගතය ගැන බයෙනුයි හිටියේ. මේ නිසා, අම්මා කළ විදිහට දේවරාජ්‍යයේ සැනසිලිදායක පණිවිඩය රැගෙන ගෙයින් ගෙට යෑම, ශ්‍රේෂ්ඨ වැඩක් වුණා. සමහර අවස්ථාවලදී ඈ මාවත් එක්කගෙන ගියා; මම ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. අන්තිමේදී 1918දී, අම්මට වතුර බව්තීස්මයෙන් යෙහෝවා දෙවිට ඇගේ කැපවීම සංකේතවත් කරන්න පුළුවන් වුණා.
තාත්තා අම්මාගේ බව්තීස්මය වෙනකල් ඇගේ නමස්කාරයට බාධා කරලා තිබුණේ නැති වුණත් ඉන්පස්සේ ඇයට විරුද්ධ වෙන්න පටන්ගත්තා. දවසක් ඔහු ඇගේ බයිබල් පොත් පත් අරගෙන ලිපට දැම්මා. පිච්චිලා යන්න ඉස්සෙල්ලා අම්මට බේරගන්න පුළුවන් වුණේ ඇගේ බයිබලය විතරයි. නමුත් ඈ ඊළඟට කළේ හරිම පුදුම දෙයක්. ඈ තාත්තා ළඟට ගිහින් ඔහුව වැලඳගත්තා. ඇගේ හිතේ ඔහු කෙරෙහි කිසිම අමනාපයක් තිබුණේ නෑ.
පුදුමයෙන් පුදුමයට පත් වුණ තාත්තා සන්සුන් වුණා. කොහොමවුණත්, කලින් කලට, ඔහු කේන්තියෙන් ක්‍රියා කළා; ඔහු කේන්තියෙන් ඉන්න වෙලාවලදී අපිට විඳදරාගෙන ඉන්න සිද්ධ වුණා.
රැකියාව සහ ආත්මික ප්‍රගතිය
කොණ්ඩා මෝස්තරකරුවෙක් හැටියට වසර තුනක අභ්‍යාසලාභී පාඨමාලාවක් හැදෑරුවයින් පස්සේ, 1924දී මම නිවසෙන් පිට වෙලා ගිහින්, ස්විට්සර්ලන්තයේ ප්‍රංශ භාෂාව කතා කරන කොටසේ රැකියාවක් හොයාගත්තා. මේක ප්‍රංශ භාෂාව පිළිබඳ මගේ දැනුම ප්‍රගුණ කරගැනීමට ප්‍රස්තාවක් උදා කර දුන්නා. පදිංචියේ මාරුවීමෙන් මගේ ආත්මික ප්‍රගතියට යම් ආකාරයක බාධාවක් සිදු වුණත්, මම කවදාවත් බයිබල් සත්‍යයට තිබුණ මගේ ප්‍රේමය නැති කරගත්තේ නෑ. ඉතින් මම අවුරුදු හයකට පස්සේ ආපහු ගෙදර ආවහම, බෘග්වල තිබුණ ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා.
ඊට ටික දවසකට පස්සේ මම කිලෝමීටර් 40ක් විතර දුරින් තිබුණ කුඩා නගරයක් වන රයින්ෆෙල්ඩන්වල පදිංචියට ගියා. මම එහෙ මගේ අක්කගේ කොණ්ඩා මෝස්තර සාප්පුවේ වැඩ කළ අතර, බයිබල් ශිෂ්‍යයන්ගේ කුඩා කණ්ඩායමක් එක්ක රැස්වෙමින් මගේ ආත්මික ප්‍රගතිය සඳහා දිගටම වැඩ කළා. අපේ සති මැද බයිබල් පාඩම අවසානයේදී, පාඩම මෙහෙයවූ සහෝදර සෝඩ’ මෙහෙම ඇහැව්වා: “ඉරිදා ක්ෂේත්‍ර සේවයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන්නේ කවුද?” මාව තව කෙනෙක් එක්ක යවයි, වැඩේ කරන විදිහ පෙන්වයි කියලා හිතාගෙන මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා.
ඉරිදා අපි බලප්‍රදේශයට ආ වෙලාවේ සහෝදර සෝඩ’ මෙහෙම කිව්වා: “මිස්ට’ ඕබ්රිස්ට් අර පැත්තේ වැඩ කරයි.” වෙන කවමදාකටත් වඩා මගේ හදගැස්ම වැඩි වුණත්, මම ගෙවල්වලට ගිහින් ඔවුන් සමඟ දේවරාජ්‍යය ගැන කතා කරන්න පටන්ගත්තා. (ක්‍රියා 20:20) මේ දේවල පිළිවෙළේ අවසානය එන්න ඉස්සෙල්ලා ඉටු කළ යුතුයි කියා යේසු පැවසූ දේශනා වැඩය කිරීමට මම එදා පටන් කවදාවත් සැලුණේ නෑ. (මතෙව් 24:14) මට වයස අවුරුදු 28දී, ඒ කියන්නේ 1934 මාර්තු 4වෙනිදා වතුර බව්තීස්මයෙන් යෙහෝවා දෙවිට මගේ කැපවීම සංකේතවත් කළා.
අවුරුදු දෙකකට පස්සේ, මට ස්විට්සර්ලන්තයේ ඉතාලි භාෂාව කතා කරන නගරයක් වන ලුගානෝවල කොණ්ඩා මෝස්තරකරුවෙක් හැටියට වැඩ කරන්න ලැබුණා. මම ඉතාලි භාෂාව දැනගෙන හිටියේ යන්තමින් වුණත්, ගිය ගමන්ම වගේ මම එහි දේශනා කරන්න පටන්ගත්තා. තවත්, මම දේවසේවයේ ගිය මුල්ම ඉරිදා, මං ගෙනිච්ච පොත්පිංච 20ක් බෙදුවා. කල් යද්දී, මුරටැඹ පාඩම් කරන්න කණ්ඩායමක් හදාගැනීමට උනන්දුව දැක්වූ පුද්ගලයන් කීපදෙනෙක්ව එකතු කරගන්න මට පුළුවන් වුණා. අන්තිමේදී මේ අයගෙන් කීපදෙනෙක්ම බව්තීස්ම වුණ අතර, 1937 පෙබරවාරිවලදී, ලුගානෝවල අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් පිහිටෙව්වා.
මාස දෙකකට පස්සේ, 1937 අප්‍රියෙල්වලදී, මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු කළ ලිපියක් මට ලැබුණා. එය බෙතෙල්හි සේවය කිරීමට ආරාධනාවක්; රටක තියෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා පහසුකම් හැඳින්වූයේ ඒ නමිනුයි. මම ඒ මොහොතෙම ආරාධනය පිළිගත්තා; ඒක මට කවදාවත් පසුතැවෙන්න සිදු නොවුණ තීරණයක්. මෙලෙස මම අවුරුදු 60ක මේ පූර්ණ කාලීන දේවසේවයේ වෘත්තිය පටන්ගත්තා.
කලබල සහිත කාලවල බෙතෙල් සේවය
එතකොට ස්විස් බෙතෙල් එක තිබුණේ ස්විට්සර්ලන්තයේ අගනුවර වූ බර්න් නගරයෙයි. එහි අපි පොත්, පොත්පිංච සහ සඟරා භාෂා 14කින් මුද්‍රණය කළ අතර, මේවා මුළු යුරෝපය පුරාම බෙදාහරිනු ලැබුවා. ඒ දවස්වල අපිට හැම වෙලාවෙම වෑන් රථයක් ලබාගන්න බැරි වුණ නිසා, සමහර අවස්ථාවලදී, මම විල්බැරැක්කයකින් දුම්රියපොළට මුද්‍රිත පොත් පත් අරං ගියා. බෙතෙල්හි මගේ මුල්ම පැවරුම ලැබුණේ අකුරු ඇමුණුම් අංශයටයි; එහිදී අපි මුද්‍රණය සිදු කෙරුණු ඊයම් මුද්‍රණ අකුරු ඇමුණුවා. වැඩි කල් නොගොස් මම පිළිගැනීමේ අංශයේ වැඩ කරන්න පටන්ගත් අතර, මම බෙතෙල් පවුල සඳහා බාබර් ලෙසත් සේවය කළා.
වර්ෂ 1939 සැප්තැම්බර්වල IIවෙනි ලෝක සංග්‍රාමය ඇරඹුණු අතර, නාට්සි බලවත් ප්‍රහාරය යුරෝපය පුරා භීතිය පැතිරෙව්වා. ස්විට්සර්ලන්තය යුද වැදෙන ජාතීන්ට අතරමැදිව තිබූ පැති නොගත් රටක්. මුලින්ම, අපි කිසිම බාධාවකින් තොරව අපේ ක්‍රිස්තියානි වැඩකටයුතු කරගෙන ගියා. නමුත්, 1940 ජූලි 5වෙනිදා දවල් දෙකට විතර මම ප්‍රවේශ ශාලාවේ මගේ අංශයේ වැඩ කරමින් ඉන්දැද්දී, බයිනෙත්තුවක් සවි කර ඇති රයිෆලයක් අතැති සොල්දාදුවෙක් එක්ක සාමාන්‍ය වැසියෙක් ආවා.
“ට්ස්යූච කෝ?” වැසියා සැරෙන් ඇහැව්වා. ඒ කාලෙදී ස්විට්සර්ලන්තයේ අපේ දේශනා වැඩේ ශාඛා අවේක්ෂකව සිටියේ ෆ්රාන්ස් ට්ස්යූචයි.
“ඕගොල්ලො ඇවිල්ලා කියලා මම එයාට දන්වන්නද?” මම ඇහැව්වා. ඒ මොහොතෙම ඔවුන් මාව ඇදලා අරං, ට්ස්යූචගේ කාර්යාලයට ඔවුන්ව ගෙනියන්නයි කියලා බල කරමින් පඩි පෙළ දිගේ මාව උඩට ඇදගෙන ගියා.
හතළිස්දෙනෙක්ගෙන් විතර සමන්විත අපේ මුළු බෙතෙල් පවුලටම කෑම කාමරයට එකතු වෙන්න කියලා නියෝග කළා. කාටවත් ගැළවිලා යන්න උත්සාහ කරන්න බැරි වෙන විදිහට ගොඩනැඟිල්ලට පිටින් මැෂින් තුවක්කු හතරක් තබා තිබුණා. ඇතුලේ, සොල්දාදුවන් 50ක් විතර ගොඩනැඟිල්ල සෝදිසි කරන්න පටන්ගත්තා. බලාපොරොත්තු වුණ විදිහට, යෙහෝවාගේ සාක්ෂිකරුවන් යුධ සේවයට විරුද්ධව කටයුතු කරන බවට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. කෙසේවුවත්, පොත් පත් විශාල ප්‍රමාණයක් රාජසන්තක කර, යුධහමුදා රථ පහකින් අරගෙන ගියා.
රජයේ අධිකාරීන් විසින් මුරටැඹ වාරණය කිරීමට ඉඩ දීම අපි ප්‍රතික්ෂේප කළ විට, ස්විට්සර්ලන්තයේ එය මුද්‍රණය කිරීම අත්හිටෙව්වා. ඒ හේතුවෙන් බෙතෙල්හි සේවය සඳහා අවශ්‍ය වුණේ අඩු කාර්යමණ්ඩලයක් නිසා, පවුලේ තරුණ සාමාජිකයන්ට බෙතෙල් අත්හැර ගොස් පුරෝගාමීන් වෙන්න උනන්දු කළා; පූර්ණ-කාලීන දේශනා වැඩයේ හවුල් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමිනුයි.
යුධ සමයේ පුරෝගාමී සේවය
මම 1940 ජූලිවලදී ස්විට්සර්ලන්තයේ ලුගානෝ අසල ඉතාලි භාෂාව කතා කරන ප්‍රදේශයට ආපහු ගියා; බෙතෙල් එකට එන්න ඉස්සෙල්ලා මම පදිංචි වෙලා හිටියේ එහෙ. මේ තද කතෝලික බලප්රදේශයත් ඒ වන විට ඒකාධිපතිවාදයේ බලවත් බලපෑම යටතේ තිබුණා; එය මගේ පුරෝගාමී පැවරුම් ප්රදේශයයි.
මගේ දේශනා වැඩය නැවැත්විය යුතුයි කියා බල කරන පොලිසිය මාව නැවැත්තුවේ නැති දවසක් නැති තරම්. දවසක් මම වත්තක ගේට්ටුව ළඟ ස්ත්‍රියක් එක්ක කතා කර කර ඉන්නකොට, සාමාන්‍ය ඇඳුමක් ඇඳ සිටි මනුස්සයෙක් මගේ පිටිපස්සෙන් ඇවිත් මාව ඇදගෙන ගිහින් මුර සංචාර රථයකට නග්ගලා, ලුගානෝවලට අරං ගියා. එහිදී ඔහු මාව පොලිසියට භාර දුන්නා. මගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ, අපිට දේශනා කරන්න කියලා යෙහෝවා දෙවි අණ කරලා තියෙනවා කියලා මම පැහැදිලි කළා.
“මේ පොළොවේ, අපියි අණ දෙන්නේ” ආඩම්බර ලීලාවෙන් නිලධාරියා පැවසුවා. “දෙවිට පුළුවන් ස්වර්ගෙදි අණ දෙන්න!”
විශේෂයෙන්ම යුධ සමයේදී, “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” යන යේසුගේ අවවාදය අපි පිළිපැදීම ඉතා වැදගත් වුණා. (මතෙව් 10:16) මේ නිසා මගේ පොත් පත්වලින් වැඩිහරියක් මගේ කමිසයේ ඇතුල් සාක්කුවල හැංගුවා. ඒ වගේම එකක්වත් නැති වෙන්නේ නැති බවට ස්ථිර කරගන්න, මම දණහිසෙන් පහළට තදට හිටින විදිහට රැළි දැමූ කොට කලිසමක් ඇන්දා.
කල් යත්ම, එන්ගඩින් නිම්නයේ පදිංචියට යන්න මට උපදෙස් ලැබුණ අතර, එහිදී පොලිසිය එක්ක දිගටම බළලා සහ මීයගෙ සෙල්ලම වගේ තත්වයක් උදා වුණා. මෙය නැඟෙනහිර ස්විස් ඇල්ප්ස්වල තියෙන අලංකාර නිම්නයක් වන අතර, ශීත කාලයේදී ලොකු හිම කැටවලින් බිම වැහිලා යනවා; ඒ නිසා හිමේ ලිස්සන්න දාන ලී කෑලි දෙක, බලප්‍රදේශයේ තැනින් තැනට යන්න මට උපකාරවත් වුණා.
ශීත ඍතුවකදී ඒවා දාගෙන ගමන් කරන කොට උණුසුම් අත්-මේස් ගොඩක් වටිනවා. නිතර පාවිච්චිය නිසා ඒවා ඉක්මනින්ම ගෙවිලා යන්න පටන්ගත්තා. අතේ ගොතපු ස්වෙටරයකුත්, උණුසුම් අත්-මේසුත් තිබුණ පාර්සලයක් නොසිතුව විදිහට දවසක් තැපෑලෙන් ලැබීම මට කොයිතරම් සතුටක් වුණාද! ඒවා මට ගොතලා තිබුණේ කලින් මම හිටිය බර්න් සභාවේ ක්‍රිස්තියානි සහෝදරියක්. දැන් පවා මම ඒ ගැන හිතන කොට මා තුළ ස්තුතිපූර්වක හැඟීමක් ඇති වෙනවා.
ප්‍රීතිමත් වරප්‍රසාද ගොඩක්
ස්විට්සර්ලන්තයේ තත්වයන් 1943දී ස්ථාවර තත්වයකට පත් වෙන්න පටන්ගත්ත නිසා මාව නැවත බෙතෙල් එකේ සේවය සඳහා කැඳෙව්වා. කිලෝමීටර් 100ක් විතර ඈතින් ලොසැන්වල තිබෙන ප්‍රංශ භාෂාව කතා කරන සභාවේ ඇති වුණ යම් ගැටලු නිසා, දෙවිගේ සංවිධානය ගැන සුදුසු දෘෂ්ටියක් ඇති කරගන්න ප්‍රචාරකයන්ට උපකාර කිරීම සඳහා නිතිපතා ඒ නගරයට යන්න මට පැවරුවා.
පස්සේ කාලෙකදී, ස්විට්සර්ලන්තයේ සියලුම ප්‍රංශ සභාවලට යන චාරිකා අවේක්ෂකයෙක් හැටියට මම කාලයක් සේවය කළා. සතියේ මුලදී, මම බෙතෙල් එකේ සේවය කළා; නමුත් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා ආත්මික උපකාරය දීමට වෑයම් කරමින් සෑම සතියකම එක් එක් සභාවේ කාලය ගත කළා. ඊට අමතරව, 1960දී බර්න්වල ප්‍රංශ භාෂාව කතා කරන සභාවක් පිහිටෙව්වාම මම ඒකේ මුලසුන භාර අවේක්ෂක වුණා. තූන් නගරයේ දැන් බෙතෙල් එක තියෙන අලංකාර ස්ථානයට බෙතෙල් එක ගෙනියන තුරු, 1970 වෙනකම්ම මම මේ සේවයේ යෙදුණා.
තූන්වල ඉතාලි භාෂාව කතා කරන සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් සිටීම මට සතුටක් වුණ අතර, ඔවුන් එක්ක මම වැඩ කරන්න පටන්ගත්තා. කල් යත්ම සභාවක් පිහිටුවනු ලැබූ අතර මම එහි මුලසුන භාර අවේක්ෂක හැටියට අවුරුදු ගණනක් සේවය කළා, යෞවන සහෝදරයන් එම වගකීම දරන්න සුදුසුකම් ලබන තුරු.
විශේෂයෙන්ම ප්‍රීතිමත් වරප්‍රසාදයක් ලෙස මම සැලකුවේ යෙහෝවාගේ ජනයාගේ ජාත්‍යන්තර සමුළුවලට යෑමයි. උදාහරණයක් හැටියට, 1950දී නියූ යෝක්හි යැංකි ක්‍රීඩාංගනයේ, දිව්‍යාණ්ඩු තන්ත්රය වැඩිදියුණු කිරීමේ අමතක නොවන එක්රැස්වීම තිබුණා. නියූ යෝක් බෘක්ලින්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බැහැදැකීම මා තුළ නොමැකෙන මතකයක් ඉතිරි කළා. ඊළඟ අවුරුද්දේ, එංගලන්තයේ ලන්ඩන්වල පැවති පිරිසිදු නමස්කාරය එක්රැස්වීමේදී “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේය” යන යේසුගේ වදන් හුවා දැක්වූ, සහෝදර මිල්ටන් ජී. හෙන්ෂල්ගේ කතාවත් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. (ලූක් 19:40) සහෝදර හෙන්ෂල් මෙහෙම ඇහැව්වා, “ගල්වලට මොරගසන්න සිද්ධ වෙයි කියලා ඔබ හිතනවාද?” දසදහස් ගණනක් පැවසූ “නෑ!” කියන ගර්ජනාව මට තාමත් ඇහෙනවා.
මම 1937දී නැවතත් බෙතෙල් එකට ගියහම, අපිට ලැබෙන්නේ සුළු දීමනාවක් විතරයි කියලා දැනගත්ත මගේ තාත්තා, “පුතා, ඔයා වයසට ගියහම ජීවත් වෙන්නේ කොහොමද?” කියලා කනස්සල්ලෙන් ඇහැව්වා. ගීතිකාකාර දාවිත්ගේ වචන උපුටා දක්වමින් මම මෙහෙම උත්තර දුන්නා: “ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” (ගීතාවලිය 37:25) මේ වචන මා සම්බන්ධයෙන් ඇත්තටම ඉෂ්ට වෙලයි තියෙන්නේ.
අවුරුදු 80කට ඉස්සෙල්ලා බ’ටා වයිබල් එක්ක තාත්තා විවාහ වීමත්, ඇගේ ආදර්ශය හා මඟ පෙන්වීම මගින් යෙහෝවා ගැනත්, ඔහුගේ ගුණාංග ගැනත් දැනගන්න ලැබීමත් මට කොයිතරම් සතුටක්ද! පවුලේ අනිත් සාමාජිකයන් ඇයට නින්දා කළත්, 1983දී ඇගේ මරණය දක්වාම ඇය යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළා. ඇගේ දෙවි යෙහෝවාට සේවය කිරීම ගැන ඇය කවදාවත් පසුතැවුණේ නෑ; තනිකඩව සිටීමත්, යෙහෝවාගේ සේවයට මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කිරීමත් ගැන මං කවදාවත් පසුතැවුණෙත් නෑ.
[25වන පිටුවේ පින්තූරය]
බෙතෙල් එකේ වැඩ කරද්දී