අරිස්තාර්කස්—පක්ෂපාත සහයකයෙක්
අරිස්තාර්කස් කියන්නේ, පාවුල්ගේ විශ්වාසවන්ත හවුල් සේවකයන් බොහෝදෙනෙකු අතර සිටි කෙනෙක්. ඔහුගේ නම ඇසෙන විට, ඔබට කල්පනා වෙන්නේ මොනවාද? මොකක් හරි දෙයක්? මුල් ක්‍රිස්තියානි ඉතිහාසය ගොඩනැඟීමේදී ඔහු ඉටු කළ වැඩකොටස මොකක්ද කියා ඔබට කියන්න පුළුවන්ද? අරිස්තාර්කස් අපිට වඩාත් හුරුපුරුදු බයිබල් චරිතවලින් එකක් නොවූවත්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල රචනා කොට තිබෙන කතාංග ගණනාවකටම ඔහුව සම්බන්ධ කර තිබෙනවා.
එහෙමනම්, අරිස්තාර්කස් කවුද? පාවුල් සහ ඔහු අතර තිබුණේ මොන වගේ සම්බන්ධතාවක්ද? අරිස්තාර්කස් පක්ෂපාත සහයකයෙක් කියා කියන්න පුළුවන් ඇයි? එමෙන්ම ඔහුගේ ආදර්ශය පරීක්ෂා කර බැලීමෙන් අපිට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?
ක්‍රියා පොතේ සඳහන් කතා වස්තුව තුළට අරිස්තාර්කස්ගේ චමත්කාරජනක පිවිසීම සිදු වන්නේ, එපීස නගරයේ වියරු වැටුණු කලහකාරි පිරිසකගේ මොරගැසීම් හා වියවුල මැදයි. (ක්‍රියා 19:23-41) අර්තෙමිස් නම් මිථ්‍යා දේවතාවියගේ පූජනීය රිදී වස්තු සෑදීම, දෙමේත්රියස්ටත් එපීසයේ සිටි අනෙකුත් රිදීකරුවන්ටත් ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වුණා. මේ නිසා, නගරයේ සිදු වූ පාවුල්ගේ දේශනා කිරීමේ ප්රයත්නය හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මේ දේවතාවියගේ අපවිත්‍ර නමස්කාරය අත්හැර දැමූ විට, දෙමේත්‍රියස් මේ කර්මාන්තයේ යෙදී සිටි අනිත් අයව ඇවිස්සුවා. පාවුල්ගේ දේශනා කිරීමෙන්, ඔවුන්ගේ මූල්‍යමය සුරක්ෂිතකමට තර්ජනයක් එල්ල වී තිබෙනවා විතරක් නොව, එයින් අර්තෙමිස්ගේ නමස්කාරය නැති වී යෑමේ ඉඩ කඩද වැඩි වී තිබෙන බවත් ඔහු ඔවුන්ට කිව්වා.
පාවුල්ව සොයාගන්න බැරි වූ නිසා, කෝපයට පත් මේ කලහකාරි පිරිස ඔහුගේ සහයකයන් වූ අරිස්තාර්කස් හා ගායස්ව බලහත්කාරයෙන් නෘත්‍ය ශාලාවට ඇදගෙන ගියා. ඔවුන් දෙදෙනා මහත් අනතුරක සිටි නිසා, “නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින්වත් ඇතුල් නොවන ලෙස” පාවුල්ගේ මිතුරන් ඔහුගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා.
ඒ අවස්ථාව ඔබම සිතින් මවාගන්න. “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීයයි” කියමින්, වියරු වැටුණු කලහකාරි පිරිස පැය දෙකක පමණ කාලයක් දිගටම මොරගැසුවා. තමන් වෙනුවෙන් කතා කරන්න පවා නොහැකිව, ඔවුන් මේ භක්ති උන්මාදයෙන් උමතු වී සිටින මහත් සමූහයාගේ පාලනයට සම්පූර්ණයෙන්ම නතු වී තිබෙන බව දැනගැනීමෙන්, ඇත්තටම අරිස්තාර්කස්ට හා ගායස්ට අසීරු අද්දැකීමක බියක් දැනෙන්න ඇති. ඔවුන්ගේ ජීවිතය ඉතුරු වෙයිද කියා ඔවුන් කල්පනා කරන්න ඇති. සන්තෝෂයට කරුණක් නම්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වීමයි. ඇත්තෙන්ම, ලූක් තමාගේ වාර්තාවේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ, ඇතැම්විට අරිස්තාර්කස් හා ගායස් යන අයගේ සාක්ෂි ඉදිරිපත් කළාය කියා අදහස් දැක්වීමට ලූක්ගේ වාර්තාවේ විචිත්රත්වය විද්වතුන් සමහරදෙනෙකුට මඟ පෙන්වා තිබෙනවා.
අන්තිමේදී, නුවර ලේකම් මේ කෝලහාලය සමථයකට පත් කළා. ඔහු සාධාරණව තමන්ගේ නිර්දෝෂිභාවය පිළිගත් බවත්, පසුව ඔවුන් අවට තිබුණු කෝලහාලය අවසන් වූ බවත් දැනගන්න ලැබීමෙන් අරිස්තාර්කස්ට හා ගායස්ට මහත් සැනසිල්ලක් ලැබෙන්න ඇති.
ඒ හා සමාන අද්දැකීමකින් පසුව ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? පාවුල්ගේ මිෂනාරි සහයකයෙක් වීම ඔබ සඳහා නොවන බවත්, එය හරිම අනතුරුදායක දෙයක් බවත්, වඩාත් සන්සුන් ජීවිතයක් ඔබට හොඳ බවත් ඔබ තීරණය කරන්න යනවාද? අරිස්තාර්කස් එහෙම සිතුවේ නැහැ! තෙසලෝනිකයෙන් ආ කෙනෙක් හැටියට, ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා සම්බන්ධ අනතුරුදායක තත්වයන් ගැන සමහරවිට ඔහු ඒ වන විටත් දැනගෙන සිටින්න ඇති. අවුරුදු කිහිපයකට කලින් පාවුල් ඔහුගේ නගරයේ දේශනා කරද්දී, එහිදීත් කෝලාහලයක් ඇති වුණා. (ක්‍රියා 17:1-9; 20:4) අරිස්තාර්කස් පක්ෂපාතව පාවුල් ළඟින්ම සිටියා.
ග්‍රීසියේ සිට යෙරුසලම දක්වා
රිදීකරුවන්ගේ කෝලාහලයෙන් මාස කිහිපයකට පසු, පාවුල් ග්‍රීසියේ සිටි අතර, “ඔහුට විරුද්ධව යුදෙව්වරුන් උපායක් යෙදූ” විට, ඔහු යෙරුසලමට යන ගමන් මාර්ගය හරහා සිරියාවට නැවෙන් ගමන් කරන්න සූදානම් වී සිටියා. (ක්‍රියා 20:2, 3) මේ උපද්‍රව සහිත තත්වයන්වලදී පාවුල් සමඟ සිටි තැනැත්තා හැටියට අපිට දැකගන්න ලැබෙන්නේ කාවද? අරිස්තාර්කස්!
අලුතින් ඇති වූ මේ තර්ජනය නිසා පාවුල්ටත් අරිස්තාර්කස්ටත් ඔවුන්ගේ සහයකයන්ටත් තම සැලසුම් වෙනස් කරන්න සිදු වුණා; මුලින්ම මකිදෝනිය හරහාද, පසුව, අවසානයේදී පතරට පිහිටි පෙනීකියට නැව් නැඟීමට කලින් අවස්ථා කිහිපයකදීම ඔවුන් කුඩා ආසියාවේ මුහුදු තීරය දිගේද ගමන් කළා. (ක්‍රියා 20:4, 5, 13-15; 21:1-3) පෙනෙන විදිහට මේ ගමනේ අරමුණ වූයේ, මකිදෝනියේ සහ අකායේ සිටි ක්‍රිස්තියානීන් දුන් සම්මාදම්, යෙරුසලමේ සිටි අවශ්‍යතා ඇති ඔවුන්ගේ සහෝදරයන්ට බෙදා දීමයි. (ක්‍රියා 24:17; රෝම 15:25, 26) විශාල පිරිසක් එකට ගමන් කළා; මොකද සමහරවිට විවිධ සභාවලින් ඔවුන්ට මේ වගකීම පවරා තියෙන්න ඇති. ඒ වගේ විශාල කණ්ඩායමක් එකට ගමන් කිරීමෙන් මහත් ආරක්ෂාවක් ලැබෙන බවට කිසිම සැකයක් නැහැ.
ග්‍රීසියේ සිට යෙරුසලම දක්වා පාවුල් සමඟ ගමන් කිරීමේ මහත් වරප්‍රසාදයක් අරිස්තාර්කස්ට තිබුණා. කොහොම වුණත්, ඔවුන්ගේ ඊළඟ ගමන මගින් ඔවුන්ව යුදයේ සිට රෝමය දක්වා රැගෙන යෑමට නියමිතව තිබුණා.
රෝමයට යන ගමන
මේ වතාවේදී තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස්ව තිබුණා. පාවුල් කායිසාරියේදී අවුරුදු දෙකක් අත්අඩංගුවේ සිටියා; කායිසර්ට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, ඔහුව විලංගු දමා රෝමයට ගෙන යෑමට නියමිතව තිබුණා. (ක්‍රියා 24:27; 25:11, 12) පාවුල්ගේ සහයකයන්ට හැඟුණු ආකාරය සිතේ මවාගැනීමට උත්සාහ කරන්න. කායිසාරියේ සිට රෝමයට යන ගමන දිග එකක් වන අතර, කලින් පැවසිය නොහැකි ප්‍රතිවිපාක හා බැඳි මානසික පීඩනයක් දැනේවි. සහයෝගය හා උපකාරය සැපයීම සඳහා ඔහු සමඟ යන්න ඉදිරිපත් වුණේ කවුද? මිනිසුන් දෙදෙනෙකුව තෝරාගත්තා; එහෙම නැත්නම් ස්වේච්ඡා සේවකයන් හැටියට ඔවුන්ම ඉදිරිපත් වුණා. ඔවුන් තමයි අරිස්තාර්කස් හා ක්‍රියා පොතේ ලේඛකයා වන ලූක්.—ක්‍රියා 27:1, 2.
රෝමයට යන ගමනේදී, ලූක්ට හා අරිස්තාර්කස්ට එම නැවේම ගමන් කිරීමට ඉඩ කඩ ලැබුණේ කොහොමද? ඉතිහාසඥ ජූසෙප්පා රිචොටී මෙසේ අදහස් දක්වනවා: “මේ දෙදෙනා විශේෂ මඟීන් හැටියට නැවට ඇතුල් වුණා . . . එහෙම නැත්නම්, ඔවුන් පාවුල්ගේ දාසයන් විය යුතුයි කියා සිතූ සියයකට මුලාදෑනියාගේ කරුණාව නිසා ඔවුන්ව ඇතුල් කරගන්න ඇති; එසේ කළේ වහලුන් කිහිපදෙනෙකුගේ උපකාරය ලබාගැනීමට රෝම පුරවැසියෙකුට නීතියෙන් අවසර දුන් නිසයි.” ඔවුන්ගේ පැමිණ සිටීම හා ධෛර්යය පාවුල්ට මොනතරම් දිරිගැන්වීමක් වෙන්න ඇද්ද!
ලූක් හා අරිස්තාර්කස් තමන්ගේ ජීවිත පරදුවට තබා පාවුල් කෙරෙහි තිබූ තමන්ගේ ප්‍රේමය පෙන්නුවා. ඇත්තෙන්ම, අත්අඩංගුවේ පසු වන තමන්ගේ සහයකයා සමඟ තමන් ගමන් කරමින් සිටි නැව මෙලීතය නමැති දූපතේදී මුහුදුබත් වූ අවස්ථාවේදී, ඔවුන් ජීවිතයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවකට මුහුණ දුන්නා.—ක්‍රියා 27:13–28:1
පාවුල්ගේ “හවුල් හිරකාරයා”
පාවුල් පො.යු. 60-61 දක්වා කාලය අතරතුර කොලොස්සිවරුන්ට හා පිලෙමොන්ට තම ලිපිය ලියූ විට අරිස්තාර්කස් හා ලූක් ඒ වන විටත් රෝමයේ ඔහු සමඟ සිටියා. අරිස්තාර්කස්ට හා එපප්රස්ට යොමු දක්වා තිබෙන්නේ, පාවුල්ගේ ‘හවුල් හිරකරුවන්’ හැටියටයි. (කොලොස්සි 4:10, 14; පිලෙමොන් 23, 24) එනිසා, පෙනෙන විදිහට යම් කලකට අරිස්තාර්කස් පාවුල්ගේ සිර දඬුවමට පංගුකාරයෙක් වෙන්න ඇති.
පාවුල් අඩුම තරමින් අවුරුදු දෙකක්වත් රෝමයේ සිරකරුවෙක්ව සිටියත්, ඔහුට තමාගේම ගෙයක් කුලියට ගෙන රැකවල් යටතේ එහි ජීවත් වෙන්න ඉඩ දුන්නා; එහිදී ඔහු අමුත්තන්ට ශුභාරංචිය ප්‍රකාශ කළා. (ක්‍රියා 28:16, 30) අරිස්තාර්කස්, එපප්‍රස්, ලූක් හා වෙනත් අය උපකාර කරමින් හා ශක්තිය සපයමින් පාවුල්ට උපස්ථාන කළා.
“ශක්තිය සපයන ආධාරකයක්”
දේවානුභාවය ලත් බයිබල් වාර්තාවේ අරිස්තාර්කස් පෙනී සිටින එකිනෙකට වෙනස් කතාංග සලකා බැලීමෙන් පසු, මනසට එන්නේ මොන වගේ චිත්‍රයක්ද? ලේඛක ඩබ්. ඩී. තොමස් පවසන පරිදි, අරිස්තාර්කස්ව “සලකන්නේ, විරුද්ධවාදිකම්වලට මුහුණ දී ඇදහිල්ලට හානි පමුණුවා නොගෙන, ඒවාට සාර්ථකව මුහුණ දී, තම සේවය අඩු නොකිරීමට අදිටන් කරගත් මිනිසෙකු හැටියටයි. ඔහුව සලකන්නේ, යහපත් කාලවලදී, එනම් නිල්වන් අහස් කුසක සූර්යයා දීප්තිමත්ව බබළන විට පමණක් නොව, ඒත් සරදම් සහිත මෙන්ම ප්‍රචණ්ඩකාරි අවස්ථාවලදීත් දෙවිට ප්‍රේම කළ මිනිසෙක් හැටියටයි.”
අරිස්තාර්කස් මෙන්ම අනිත් අයද ඔහුට “ශක්තිය සපයන ආධාරකයක්,” (ග්‍රීක්, පෙ·රෙ·ගො·රිʹඅ) එනම් සැනසිල්ලේ උල්පතක් වූ බව පාවුල් පවසනවා. (කොලොස්සි 4:10, 11, NW) එහෙමනම් පාවුල්ව සැනසීමෙන් හා දිරිගැන්වීමෙන්, අරිස්තාර්කස් අවශ්‍යතාව ඇති කාලවලදී සැබෑ සහයකයෙක් වුණා. අවුරුදු ගණනාවක් මේ ප්‍රේරිතයා සමඟ ඇසුරු කිරීම හා මිත්‍රත්වයක් ඇති කරගැනීම, තෘප්තියක් මෙන්ම ආත්මිකව වර්ධනය ගෙන දෙන අද්දැකීමක්ද වෙන්න ඇති.
අරිස්තාර්කස් අද්දුටු ඒවාට සමාන විස්මයජනක තත්වයන්වලට අපි මුහුණ නොදෙනවා විය හැකියි. කොහොමවුණත්, අදදින ක්‍රිස්තියානි සභාවල සිටින සියලුදෙනාම, ක්‍රිස්තුස්ගේ ආත්මික සහෝදරයන්ට හා යෙහෝවාගේ සංවිධානයට ඒ හා සමානවම පක්ෂපාත වීම අවශ්‍යයි. (මතෙව් 25:34-40 සසඳන්න.) කවදා හෝ දවසක, අපි දන්නා හඳුනන සහකාර නමස්කාරකයන් තාඩන පීඩනවලට හෝ ඇතැම්විට ප්‍රේමනීය කෙනෙකුගේ වියෝව නිසා සංවේගයට පත්වීම හෝ අසනීප හෝ වෙනත් පරීක්ෂාවලට මුහුණ දිය හැකියි. ඔවුන් සමඟ සමීපව සිටීමෙන් හා උපකාරය, සැනසිල්ල මෙන්ම දිරිගැන්වීම සැපයීමෙන් අපිට ප්‍රීතිය භුක්තිවිඳිය හැකි අතර, පක්ෂපාත සහයකයන් බව ඔප්පු කරන්නත් අපිට පුළුවන්.—සසඳන්න හිතෝපදේශ 17:17; ක්‍රියා 20:35.