කැපවීම සමඟ තෝරාගැනීමේ නිදහස
“ක්‍රිස්තුස් අප මුදාගත්තේ එවන් නිදහස්කමක් සඳහාය.”—ගලාති 5:1, NW.
1. “කැප කිරීම,” “සමාරම්භ කිරීම” හෝ “පූජා කිරීම” වැනි වචන පරිවර්තනය කර ඇත්තේ මූලිකව කුමකට අදාළවද?
පරිශුද්ධ අරමුණකට සේවය කිරීම සඳහා වෙන්ව සිටීම හෝ වෙන් කර තැබීම යන අදහස දැක්වීමට බයිබල් ලේඛකයන් හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචන කිහිපයක් පාවිච්චි කළා. ඉංග්‍රීසි බයිබල්වල එම වචන “කැප කිරීම,” “සමාරම්භ කිරීම” හෝ “පූජා කිරීම” වැනි වචනවලින් පරිවර්තනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් පුරාණ යෙරුසලමේ තිබූ දෙවිගේ මාළිගාව සහ එහි පැවති නමස්කාරය අලළා සමහර අවස්ථාවලදී, මේ වදන් ගොඩනැඟිලි හා සම්බන්ධ කර පාවිච්චි කර තිබෙනවා. ලෞකික කාරණාවලට යොමු දැක්වීමේදී මේ වචන පාවිච්චි කරන්නේ කලාතුරකින්.
‘ඉශ්‍රායෙල්ගේ දෙවිට’ කැපවීම
2. යෙහෝවා “ඉශ්‍රායෙල්ගේ දෙවි” කියා නිවැරදි ලෙස හඳුන්වන්න පුළුවන් මන්ද?
2 පොදු යුගයට පෙර 1513දී, දෙවි ඉශ්‍රායෙල්වරුන්ව මිසරයේ වහල්භාවයෙන් මුදාගත්තා. එතැන් සිට ටික කලකට පසු, ඔවුන්ව තමන් සමඟ ගිවිසුම් සබඳතාවකට ගනිමින්, තමන්ගේ අසහාය සෙනඟ ලෙස වෙන් කර තැබුවා. ඔවුන්ට මෙසේ කියනු ලැබුවා: “දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.” (නික්මයාම 19:5; ගීතාවලිය 135:4) ඉශ්‍රායෙල්වරුන්ව තමන්ගේ අසහාය වස්තුව කරගැනීම හේතුවෙන්, “ඉශ්‍රායෙල්ගේ දෙවි” කියා යෙහෝවාව නිවැරදි ලෙස හඳුන්වන්න පුළුවන්.—යෝෂුවා 24:23.
3. ඉශ්‍රායෙල් තමන්ගේ සෙනඟ ලෙස තෝරාගැනීමෙන් යෙහෝවා පක්ෂග්‍රාහි වීමක් නොපෙන්වූයේ මන්ද?
3 ඉශ්‍රායෙල්වරුන්ව තමන්ගේ කැප වූ සෙනඟ කරගැනීමෙන්, යෙහෝවා පක්ෂග්‍රාහි වුණේ නැත්තේ, ඔහු ඉශ්‍රායෙල් නොවන්නන්ටත් ප්‍රේමනීය ලෙස සැලකූ නිසයි. ඔහු තම සෙනඟට මෙසේ උපදෙස් දුන්නා: “විදේශියෙක් නුඹලාගේ දේශයෙහි නුඹ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න. නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ [යෙහෝවාය].” (ලෙවී කථාව 19:33, 34) ශතවර්ෂ ගණනාවකට පසු, ප්‍රේරිත පේතෘස්ට දෙවිගේ දෘෂ්ටිය බලෙන්ම සිතට කාවැද්දවීම නිසා ඔහු මෙසේ පිළිගත්තා: ‘සැබවින් දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.’—ක්‍රියා 10:34, 35.
4. දෙවි සහ ඉශ්‍රායෙල් අතර තිබූ සම්බන්ධයේ කොන්දේසි මොනවාද? එමෙන්ම ඉශ්‍රායෙල් ඒවාට අනුව ජීවත් වුණාද?
4 දෙවිගේ කැප වූ සෙනඟව සිටීම කොන්දේසි සහිත වූ බවත් සලකන්න. ඔවුන් ඔහුගේ “අසහාය වස්තුව” බවට පත් වන්නේ, ඔවුන් දෙවිගේ හඬට ඉතා කිට්ටුවෙන් අවනත වී, ඔහුගේ ගිවිසුම පැවැත්වුවොත් පමණයි. කනගාටුදායක ලෙස, ඉශ්‍රායෙල්වරු මේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වුණා. පොදු යුගයේ පළමු ශතවර්ෂයේදී දෙවි විසින් එවූ මෙසියස්ව ප්‍රතික්ෂේප කළාට පසු, ඔවුන් ඔවුන්ගේ වරප්‍රසාද ලත් තත්වය නැති කරගත්තා. යෙහෝවා තවදුරටත් “ඉශ්‍රායෙල්ගේ දෙවි” වුණේ නැහැ. එමෙන්ම ස්වාභාවික ඉශ්‍රායෙල්වරු තවදුරටත් දෙවිගේ කැප වූ සෙනඟ වුණෙත් නැහැ.—මතෙව් 23:23 සසඳන්න.
‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ කැපවීම
5, 6. (අ) මතෙව් 21:42, 43හි වාර්තා කර ඇති ඔහුගේ අනාවැකි වචනවලින් යේසුස් අදහස් කළේ කුමක්ද? (ආ) ‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ ආරම්භය සිදු වුණේ කවදාද සහ කෙසේද?
5 යෙහෝවාට දැන් කැප වූ සෙනඟක් නැතුව ගියා කියා මෙයින් අදහස් කරන්න යනවාද? නැහැ. ගීතිකාකාරයාගෙන් උපුටාගනිමින් යේසුස් ක්‍රිස්තුස් මෙසේ පුරෝකථනය කළා: “ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය [ස්වාමීන්] කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද? එබැවින් නුඹලාට මම කියමි—[දෙවිගේ] රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.”—මතෙව් 21:42, 43.
6 “ඵල උපදවන ජාතිය” ක්‍රිස්තියානි සභාව බව ඔප්පු වුණා. යේසුස් තම තාවකාලික භූමික ජීවිතයේදී, එහි මුල් අපේක්ෂිත සාමාජිකයන්ව තේරුවා. නමුත්, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, එහි මුල් සාමාජිකයන් වන ගණනින් 120දෙනෙකුට පමණ තම ශුද්ධාත්මය වැගිරීම මගින් ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වේ යෙහෝවා දෙවිමයි. (ක්‍රියා 1:15; 2:1-4) ප්‍රේරිත පේතෘස් පසුව ලිවූ ලෙස, අලුතින් පිහිටෙවූ සභාව ඉන්පසු, ‘තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද [දෙවිගේ විශේෂ උරුමයක් සඳහා සෙනඟක්ද, NW]’ වුණා. තෝරාගනු ලැබුවේ කුමන හේතුවක් සඳහාද? ‘අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට ඔවුන්ව කැඳවාගත් තැනැත්තාගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිසය.’ (1 පේතෘස් 2:9) දෙවිගේ ආත්මයෙන් අලේප කර ඇති ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්, එවිට ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ වන කැප වූ ජාතියක් බවට පත් වුණා.—ගලාති 6:16.
7. දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන් භුක්ති විඳින්න සිටියේ මොනවාද? එමනිසා වළකින්න කියා ඔවුන්ට කීවේ කුමකින්ද?
7 ශුද්ධ වූ ජාතියේ සාමාජිකයන් “විශේෂ උරුමයක් සඳහා සෙනඟක්” වුණත්, ඔවුන් සිටින්නේ වහලුන් වීමට නෙවෙයි. ඒ වෙනුවට, කැප වූ ස්වාභාවික ඉශ්‍රායෙල් ජාතිය උරුම කරගත් නිදහසට වඩා නිදහසක් ඔවුන් විසින් භුක්ති විඳින්න නියමිතයි. මේ අලුත් ජාතියේ අපේක්ෂිත සාමාජිකයන්ට යේසුස් මෙසේ පොරොන්දු වුණා: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.” (යොහන් 8:32) ව්‍යවස්ථා ගිවිසුමේ අවශ්‍යතාවලින් ක්‍රිස්තියානීන් නිදහස් විය යුතුයි කියා ප්‍රේරිත පාවුල් කරුණු දැක්වූවා. මේ සම්බන්ධයෙන් ගලාතියේ සිටින සෙසු ඇදහිලිවන්තයන්ට ඔහු මෙසේ දැනමුතුකම් දුන්නා: “ක්‍රිස්තුස් අප මුදාගත්තේ එවන් නිදහස්කමක් සඳහාය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.”—ගලාති 5:1, NW.
8. ව්‍යවස්ථා ගිවිසුම යටතේ අද්දැක්කාට වඩා, ක්‍රිස්තියානි විධිවිධානය, පුද්ගලයන්ට මහත් නිදහසක් ඉදිරිපත් කළේ කිනම් ආකාරයෙන්ද?
8 පුරාණ ස්වාභාවික ඉශ්‍රායෙල්ට වෙනස්ව, දෙවිගේ ඉශ්‍රායෙල් මේ දවස දක්වාම එහි කැපවීමේ සුදුසුකම්වලට ඉතා කිට්ටුවෙන් කීකරු වී තිබෙනවා. මෙය පුදුම වීමට කාරණයක් නොවන්නේ, එහි සාමාජිකයන් කීකරු වීමට කැමැත්තෙන්ම තෝරාගන්නා නිසයි. අනිත් අතට, ස්වාභාවික ඉශ්‍රායෙල්හි සාමාජිකයන් උපතෙන්ම කැප වුණත්, දෙවිගේ ඉශ්‍රායෙල්හි සාමාජිකයන් තෝරාගැනීමෙන් එසේ වුණා. තවදුරටත්, ක්‍රිස්තියානි විධිවිධානය, ඔවුන්ට තෝරාගැනීමේ නිදහස නොදී පුද්ගලයන්ව කැප කිරීම නියම කළ යුදෙව් ව්‍යවස්ථා ගිවිසුමට වෙනස්ව නැඟී සිටියා.
9, 10. (අ) කැපවීම සම්බන්ධයෙන් වෙනසක් සිදුවීමට යෑම ගැන යෙරෙමියා ඇඟවූයේ කෙසේද? (ආ) අදදින සිටින සියලුම කැප වූ ක්‍රිස්තියානීන්, දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන් නොවන බව ඔබ පවසන්න යන්නේ මන්ද?
9 කැපවීම පිළිබඳ වෙනසක් සම්බන්ධයෙන් ප්‍රොපේත යෙරෙමියා ලියද්දී මෙසේ පුරෝකථනය කළා: “බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි [යෙහෝවා කියන්නේය]. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි [යෙහෝවා කියන්නේය]. නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමග කරන ගිවිසුම මේයයි [යෙහෝවා කියන්නේය]. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ [හෘදවල] ලියන්නෙමි; මම ඔවුන්ගේ [දෙවි] වන්නෙමි, ඔව්හුද මාගේ සෙනග වන්නෝය.”—යෙරෙමියා 31:31-33.
10 දෙවිගේ ව්‍යවස්ථාව “ඔවුන් තුළම” තිබීමෙන් හරියට “ඔවුන්ගේ [හෘදවල]” ලියා තිබුණා හා සමානව, දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන් තම කැපවීමට අනුව ජීවත් වීමට පෙලඹෙනවා. ඔවුන්ගේ පෙලඹීම තේරීමෙන් නොව, නමුත් උපතින් කැප වූ ස්වාභාවික ඉශ්‍රායෙලිතයන්ගේ පෙලඹීමට වඩා ශක්තිමත්. අදදින, දෙවිගේ කැමැත්ත කරන්න තිබෙන ප්‍රබල පෙලඹීම දෙවිගේ ඉශ්‍රායෙල් මගින් නිරූපණය වන අතර, ලොව වටා සිටින මිලියන පහකට වඩා වැඩි සෙසු නමස්කාරකයන් විසින් බෙදාගෙන තිබෙනවා. ඔවුන් ඒ හා සමානව, දෙවිගේ කැමැත්ත කිරීමට තම ජීවිත කැප කර තිබෙනවා. දෙවිගේ ඉශ්‍රායෙල් සෑදී තිබෙන අයට මෙන් මේ අයට ස්වර්ගීය අපේක්ෂාවක් නැති වුණත්, දෙවිගේ ස්වර්ගීක රාජ්‍ය පාලනය යටතේ මේ පොළොව මත සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුවෙහි ඔවුන් ප්‍රීති වෙනවා. ‘අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට ඔවුන්ව කැඳවාගත් තැනැත්තාගේ උත්කෘෂ්ටතාවන් දැක්වීම’ සඳහා වන ඔවුන්ගේ පැවරුම ඉටු කිරීමට ඉතිරි සාමාජිකයන් කිහිපදෙනාට ක්‍රියාශීලීව සහය දැක්වීම මගින් ඔවුන් ආත්මික ඉශ්‍රායෙල් සඳහා අගය කිරීම පෙන්වනවා.
දෙවිගෙන් ලද නිදහස්කම ඥානවන්තව පවත්වාගන්න
11. මිනිසාව මැව්වේ කිනම් හැකියාවක් සමඟද? එමෙන්ම එය පාවිච්චි කළ යුත්තේ කෙසේද?
11 දෙවි මනුෂ්‍යවර්ගයාව මැව්වේ නිදහස්කම අගනා ලෙස සැලකීම සඳහායි. ඔහු නිදහස් කැමැත්තේ ධාරිතාවක් ඔවුන්ට දුන්නා. පළමු මනුෂ්‍ය යුවළ ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහස පාවිච්චි කළා. කෙසේවෙතත්, අඥාන ලෙස සහ ප්‍රේමයෙන් තොර ආකාරයෙන් කළ තේරීම තමන් මතත්, තම පැවතෙන්නන් මතත් විනාශය ගෙනාවා. තමන්ගේ ඇතුළාන්ත පෙලඹීම් හෝ ආශාවන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට බුද්ධිමත් මැවිලිවලට යෙහෝවා කිසිදා බල කරන්නේ නැති බවට මෙය පැහැදිලිව නිරූපණය කරනවා. “සතුටු සිතින් දෙන්නාට [දෙවි] ප්‍රේමකරන” නිසා, ඔහුට පිළිගත හැකි එකම කැපවීම, ප්‍රේමය මත රඳාපවතින, සතුටු සිතින් කැමැත්තෙන් කළ, තෝරාගැනීමේ නිදහස මත පදනම් එකක් විය යුතුයි. (2 කොරින්ති 9:7) වෙන ඕනෑම ආකාරයක එකක් පිළිගැනීමට නොහැකියි.
12, 13. තිමෝති සුදුසු දරු පුහුණුවේ ආදර්ශයක් වන්නේ කෙසේද? එමෙන්ම ඔහුගේ ආදර්ශය බොහෝ තරුණ අයව මඟ පෙන්වා තිබෙන්නේ කුමක් වෙතටද?
12 මේ අවශ්‍යතා පූර්ණ ලෙස හඳුනාගැනීමේදී, දෙවිට වූ කෙනෙකුගේ කැපවීමට පක්ෂව යෙහෝවාගේ සාක්ෂිකාරයන් සිටින නමුත්, ඔවුන් කිසිම විටක කිසිම කෙනෙකුට, ඔවුන්ගේ දරුවන්ට පවා එවැනි කැපවීමක් කිරීමට බල කරන්නේ නැහැ. බොහෝ පල්ලිවලට වෙනස්ව, යෙහෝවාගේ සාක්ෂිකාරයන් බිළිඳුන් හැටියට තමන්ගේ පැවතෙන්නන්ව බව්තීස්ම කරන්නේ නැහැ. මන්ද, එසේ කිරීමේදී පෞද්ගලික තේරීමකින් තොරව ඔවුන්ව කැප කිරීමක් වෙතට බල කළ හැකි නිසයි. අනුගමනය කළ යුතු ශුද්ධ ලියවිලි ආදර්ශය වන්නේ, තරුණ මිනිසා වූ තිමෝතිගේ ආදර්ශයයි. තිමෝති වැඩිහිටියෙක්ව සිටියදී, පාවුල් මෙසේ කිව්වා: “නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්, ක්‍රිස්තුස් [යේසුස්] කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.”—2 තිමෝති 3:14, 15.
13 බිළිඳු වයසේ පටන් ඔහුට ඒවා උගන්වා තිබූ නිසා තිමෝති ශුද්ධ ලියවිලි දැනගෙන සිටීම කැපීපෙනෙනවා. ඔහුට ඒත්තුගැන්නුවා මිස, අම්මා සහ ආච්චි ක්‍රිස්තියානි ඉගැන්වීම් විශ්වාස කිරීමට බල කළේ නැහැ. (2 තිමෝති 1:5) ප්‍රතිඵලයක් හැටියට, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීමේ ප්‍රඥාව තිමෝති දුටු අතර, මෙසේ ක්‍රිස්තියානි කැපවීමේ පෞද්ගලික තේරීම සිදු කළා. වර්තමාන කාලයේදීත්, තම දෙමාපියන් යෙහෝවාගේ සාක්ෂිකාරයන් වන දසදහස් ගණන් තරුණ පුරුෂයන් සහ ස්ත්‍රීන් මේ ආදර්ශය අනුගමනය කර තිබෙනවා. (ගීතාවලිය 110:3) අනිත් අය එසේ කර නැහැ. එය පෞද්ගලික තේරීමක්.
තෝරාගන්නේ කාගේ දාසයෙක් වීමටද?
14. රෝම 6:16හි, සම්පූර්ණ නිදහස්කම ගැන අපට කියන්නේ කුමක්ද?
14 කිසිම මනුෂ්‍යයෙක් සම්පූර්ණයෙන්ම නිදහස් නැහැ. ඵලවිපාක නොසලකා හැරිය නොහැකි ගුරුත්වාකර්ෂණය වැනි භෞතික නීති මගින් සියලුදෙනාම අවහිර වී සිටිනවා. ආත්මික ආකාරයකිනුත්, කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම නිදහස් නැහැ. පාවුල් මෙසේ හේතු සාධක දක්වනවා: “නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නාවූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරුවන එකට දාසයන් වන බව නොදනිවුද?”—රෝම 6:16.
15. (අ) දාසයන් වීම ගැන මිනිසුන්ට හැඟෙන්නේ කෙසේද? නමුත් බොහෝදෙනෙක් අවසානයේදී කරන්නේ කුමක්ද? (ආ) අපි අපෙන්ම කිනම් උචිත ප්‍රශ්න අසාගත යුතුද?
15 කෙනෙකුගේ දාසයෙක් වීම යන්න බොහෝ මිනිසුන්ට අප්‍රසන්න හැඟීමක් ලබා දෙනවා. කෙසේවෙතත් අදදින ලෝකයේ යථාර්ථය වන්නේ, බොහෝවිට මනුෂ්‍යයන් තමන්වම බොහෝ ආකාරවලින් පොලඹවාගෙන බලපෑමට ලක් කරගෙන, අවසානයේදී, නිරායාසයෙන්ම අනිත් අයට ඕනෑ දේ කිරීමයි. උදාහරණයක් හැටියට, ප්‍රචාරක කර්මාන්තය සහ විනෝදාස්වාදී ලෝකය, මනුෂ්‍යයන්ට අනුගමනය කිරීමට ප්‍රතිපත්ති පිහිටුවමින්, ආකෘතියක් තබන්ට උත්සාහ ගන්නවා. දේශපාලන සහ ආගමික සංවිධාන තම තමන්ගේ අදහස් සහ ඉලක්ක මුදුන් පමුණුවාගැනීමට මිනිසුන්ගේ සහයෝගය ලබාගන්න අතර, එසේ කරන්නේ සැමවිටම ඒත්තුගන්වන තර්කයෙන් නෙවෙයි, නමුත් බොහෝවිට සාමුහික හැඟීමකින් හෝ පක්ෂපාතිත්වයක හැඟීමකට ආයාචනා කිරීමෙන්. ‘අපි කීකරු වන අයට දාසයන් වෙනවා’ කියා පාවුල් සඳහන් කළ නිසා, අපි එක් එක්කෙනා අපෙන්ම මෙසේ අසාගැනීම හොඳයි: ‘මම කාගේ දාසයෙක්ද? මගේ තීරණ සහ මගේ ක්‍රියාකලාපය මත වැඩියෙන්ම බලපෑමක් ඇති කරන්නේ කවුද? ආගමික නායකයන්ද, දේශපාලන නායකයන්ද, මූල්‍යමය බලවතුන්ද එහෙම නැත්නම් විනෝදාස්වාදිකයන්ද? මම කීකරු කාටද—දෙවිටද, මිනිසුන්ටද?’
16. ක්‍රිස්තියානීන් දෙවිගේ දාසයන් විය යුත්තේ කිනම් අයුරින්ද? එමෙන්ම එවැනි දාසකම පිළිබඳ සුදුසු දෘෂ්ටිය කුමක්ද?
16 දෙවිට කීකරු වීම පෞද්ගලික නිදහස අසාධාරණ ලෙස කෙලෙසීමක් කියා ක්‍රිස්තියානීන් සලකන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ආදර්ශක වන යේසුස් ක්‍රිස්තුස් ක්‍රියාත්මක කළ ලෙස එය කැමැත්තෙන් පවත්වන අතර, පෞද්ගලික ආශාවන් සහ ප්‍රමුඛත්වයන් දෙවිගේ කැමැත්ත යටතට ගෙනෙනවා. (යොහන් 5:30; 6:38) ඔවුන් “ක්‍රිස්තුස්ගේ මනස” [NW] වර්ධනය කරගන්න අතර, සභාවේ හිස හැටියට ඔවුන් ඔහුට යටත් වෙනවා. (1 කොරින්ති 2:14-16; කොලොස්සි 1:15-18) මෙය බොහෝදුරට, විවාහ වන ස්ත්‍රියක්, තමන් ආදරය කරන පුරුෂයාට කැමැත්තෙන්ම සහයෝගය දක්වනවා හා සමානයි. ඇත්තෙන්ම, ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ කණ්ඩායමව, විවාහයේදී ක්‍රිස්තුස්ට පොරොන්දු දුන් නිර්මල, කන්‍යා ස්ත්‍රියක් හැටියට කතා කර තිබෙනවා.—2 කොරින්ති 11:2; එපීස 5:23, 24; එළිදරව් 19:7, 8.
17. යෙහෝවාගේ සාක්ෂිකාරයන් සියලුදෙනාම තෝරාගෙන ඇත්තේ කවරෙකු වීමටද?
17 යෙහෝවාගේ සෑම සාක්ෂිකාරයෙක්ම, තමාට ස්වර්ගික හෝ භූමික අපේක්ෂාවක් තිබුණත්, දෙවිගේ කැමැත්ත කිරීම සහ පාලකයා හැටියට දෙවිට කීකරු වීම සඳහා පෞද්ගලික කැපවීමක් කර තිබෙනවා. මනුෂ්‍යයන්ගේ වෙනවාට එරෙහිව දෙවිගේ දාසයෙක් වීම, කැපවීම, සෑම ක්‍රිස්තියානියෙක් සඳහාම පෞද්ගලික තීරණයක් වී තිබෙනවා. මෙය ප්‍රේරිත පාවුල්ගේ උපදේශයට එකඟයි: “නුඹලා මිලේට ගන්නාලද්දහුය; මනුෂ්‍යයන්ගේ වහල්ලු නොවෙන්න.”—1 කොරින්ති 7:23.
අපගේ ජීවිතවලින් ප්‍රයෝජන ගැනීමට ඉගෙනීම
18. සාක්ෂිකාරයෙක් වීමට ඉඩ ඇති කෙනෙක් බව්තීස්මයට සුදුසුකම් ලබන්නේ කවදාද?
18 පුද්ගලයෙක් යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් බවට සුදුසුකම් ලබන්න කලින්, ඔහු ශුද්ධ ලියවිලිමය සුදුසුකම් අත් කරගත යුතුයි. සාක්ෂිකාරයෙක් වීමට හැකියාව ඇති කෙනෙක් ක්‍රිස්තියානි කැපවීමේ බැඳීම ඇත්තෙන්ම තේරුම්ගන්නවාද කියා වැඩිමහල්ලන් ඉතා හොඳින් නිශ්චය කරගත යුතුයි. ඔහුට සැබවින්ම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වෙන්න ඕනෑද? ඊට අයත් දේවල් සමඟ ජීවත් වීමට ඔහු කැමැත්තක් දක්වනවාද? එසේ නොවේ නම්, බව්තීස්මයට සුදුසු වෙන්න යන්නේ නැහැ.
19. දෙවිගේ කැප වූ සේවකයෙක් බවට පත්වීමට තීරණය කරන කෙනෙකුව විවේචනය කිරීමට හේතුවක් නැත්තේ මන්ද?
19 කෙසේවෙතත්, කෙනෙක් සියලුම අවශ්‍යතාවන් අත් කරගත්තා නම්, දෙවි සහ ඔහුගේ දේවානුභාවය ලත් වචනය මගින් තමන්ව බලපෑමට ලක් කරන්න ස්වේච්ඡාවෙන්ම පෞද්ගලික තීරණයක් ගැනීම ගැන ඔහුව විවේචනය කරන්නේ මන්ද? මිනිසුන්ගෙන් බලපෑම් ලබනවාට වඩා දෙවිගෙන් එසේ වීමේ අඩුවක් තිබෙනවාද? එසේ නැත්නම් ඉන් අඩු ප්‍රයෝජනයක් ලැබෙනවාද? යෙහෝවාගේ සාක්ෂිකාරයන් එසේ සිතන්නේ නැහැ. ඔවුන් යෙසායා විසින් ලියා ඇති දෙවිගේ වචනයට හෘදයාංගමව එකඟ වෙනවා: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය.”—යෙසායා 48:17.
20. මිනිසුන් බයිබල් සත්‍යයන් මගින් නිදහස ලබන්නේ කිනම් ආකාරවලින්ද?
20 සදාකාලයටම වද දෙන ගිනිමය නිරය වැනි බොරු ආගමික මූලධර්ම විශ්වාස කිරීමෙන්, බයිබල් සත්‍යය මිනිසුන්ව නිදහස් කරනවා. (දේශනාකාරයා 9:5, 10) ඒ වෙනුවට, මළවුන්ට ඇති සැබෑ අපේක්ෂාව වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලයේ පදනම තුළින් හැකි කරවූ නැවත නැඟිටීම සඳහා එය ඔවුන්ගේ හෘද කෘතඥතාවෙන් පුරවන්න යනවා. (මතෙව් 20:28; ක්‍රියා 24:15; රෝම 6:23) නිරන්තරවම අසමත් වන දේශපාලනික පොරොන්දු මත රඳා සිටීමේ කාන්සාවෙන් බයිබල් සත්‍යය මිනිසුන්ව මුදනවා. ඒ වෙනුවට, යෙහෝවාගේ රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පාලනය කරනවා විතරක් නොව ළඟදීම මුළු පොළොව කෙරෙහිම පාලනය කරනවා යන දැනුමෙන් ඔවුන්ගේ හෘද ප්‍රීතියෙන් පිටාර ගලන්න සලස්වනවා. අසම්පූර්ණ මාංසයට ප්‍රියජනක වුණත්, දෙවිට අගෞරව කරන, මිනිස් සබඳතාවලට බරපතළ හානි සිදු කරන, ලෙඩ ඇති කරන සහ අකල් මරණ ඇති කරන පුරුදුවලින් බයිබල් සත්‍යය මිනිසුන්ව නිදහස් කරනවා. කෙටියෙන් කියනවා නම්, දෙවිගේ දාසයෙක් වීම මිනිසුන්ගේ දාසයෙක් වීමට වඩා ඉතාමත් ප්‍රයෝජනවත්. ඇත්තෙන්ම දෙවිට කැපවීම “මේ කාලයේදී . . . [සහ] අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද” පොරොන්දු වෙනවා.—මාර්ක් 10:29, 30.
21. දෙවිට කැපවීම යෙහෝවාගේ සාක්ෂිකාරයන් සලකන්නේ කෙසේද? එමෙන්ම ඔවුන්ගේ පැතුම කුමක්ද?
21 පුරාණ ඉශ්‍රායෙල්වරුන් මෙන් අදදින යෙහෝවාගේ සාක්ෂිකාරයන් උපතෙන් කැප වූ ජාතියේ කොටසක් බවට පත්ව නැහැ. සාක්ෂිකාරයන් කැප වූ ක්‍රිස්තියානීන්ගේ සභාවේ කොටසක්. සෑම බව්තීස්ම ලත් සාක්ෂිකාරයෙක්ම තමන්ගේ තෝරාගැනීමේ නිදහස පාවිච්චි කර කැපවීමක් කර තිබෙනවා. ඇත්තෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට කැපවීම, දෙවිට සේවය කිරීමේ කැමැත්තකින් සලකුණු වූ දෙවි සමඟ ඇති උණුසුම් පෞද්ගලික සම්බන්ධයකට දායක වෙනවා. මේ ප්‍රීතිමත් සම්බන්ධය පවත්වාගැනීමට ඔවුන් හෘදයාංගමව ආශා කරන අතර, යේසුස් ක්‍රිස්තුස් ඔවුන්ව නිදහස් කළ නිදහස්කම සදාකාලයටම අල්ලාගන්නවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ තමන්ගේ “අසහාය වස්තුව” වීමට ඉශ්‍රායෙල්ව තෝරාගැනීමේදී දෙවි පක්ෂග්‍රාහි නොවූයේ මන්ද?
◻ ක්‍රිස්තියානි කැපවීම, නිදහස්කම නැතිවීමකට අයත් වන්නේ නැහැ කියා ඔබ පවසන්නේ මන්ද?
◻ යෙහෝවා දෙවිට කැපවීමේ ඇති ප්‍රයෝජන මොනවාද?
◻ මිනිසුන්ගේ දාසයෙක් වීමට වඩා යෙහෝවාගේ සේවකයෙක් වීම වඩාත් හොඳ මන්ද?
[15වන පිටුවේ පින්තූරය]
පුරාණ ඉශ්‍රායෙල්හි දෙවිට කැපවීම උපත සම්බන්ධ කාරණයක් වුණා
[16වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි කැපවීම, තෝරාගැනීම සම්බන්ධ කාරණයක්