සියලුම පැවිද්දන් ඔවුන් උගන්වන දේ විශ්වාස කරනවාද?
ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා මියැදුණා විතරයි. ඇගේ පුරුෂයා කෙළින්ම ස්වර්ගයට යන්න තරම් හොඳ මදි බවත් නිරාගින්නට හෙළන්න තරම් නරක නැති බවත් ඇගේ පූජකයා පැහැදිලි කරනවා. එනිසා පූජකයා පැවසූ දෙයට අනුව ඔහු ස්වර්ගයට යමට සුදුසුකම් ලබන තෙක් දඬුවම් විඳිමින් සිටිනවා. පූජකයාගේ යාච්ඤා කිරීම හේතුවෙන් ඇගේ පුරුෂයා ඉක්මනින්ම ශුද්ධගිනිස්ථානයෙන් නිදහස් වේයයි සිතා, ඒ සඳහා ඇය පූජකයාට මුදල් ගෙවනවා. ඇගේ අවංක විශ්වාසයන් පූජකයාටත් තිබෙනවාය යන හැඟීමෙන් වැන්දඹුව සෑහීමට පත් වෙනවා.
මරණයෙන් පසු අච්චු ලැබීම, පූජකයා ඇත්තටම විශ්වාස කළේ නැති බව වැන්දඹුව දැනගත්තොත් ඇය කලකිරීමකට පත් වෙයි කියා ඔබ සිතනවාද? පැවිද්දන් විශාල සංඛ්‍යාවක් ඔවුන් උගන්වන දෙයින් වැඩිහරියක් විශ්වාස කරන්නේ නැති බව දැනගැනීමෙන් බොහෝදෙනෙක් කැලඹීමට පත් වෙනවා. “පැවිද්දන්ගේ දුරාචාරය පිළිබඳ ප්‍රශ්නයටත් වඩා භයානක පැවිදි ප්‍රශ්නයක්” ලෙස හඳුන්වන ගැටලුව ගැන අදහස් දක්වමින්, ජාතික කතෝලික වාර්තාකරු (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කරනවා: “පොදුවේ ගත් කල දෙවිගේ පැවැත්ම හෝ දඬුවම් සහ යහපත් විපාක සම්බන්ධයෙන් තිබෙන මූලධර්මය හෝ නැවත නැඟිටීම . . . පිළිබඳ විශ්වාසය අතහැර දමා තිබෙන පැවිද්දන් ඕනෑ තරම් ඔවුන් අතර සිටිනවා. එමෙන්ම පැවිදි සංස්කෘතිය තුළ මෙම අවිශ්වාසය අනිවාර්ය අංගයක් ලෙස සැලකෙන අතර, මෙය හරියට වාතාශ්‍රයට මුසු වූ දුමාරයක් වගෙයි.”
වෙනත් පල්ලිත් ඒ හා සමාන උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණපානවා. එංගලන්ත සභාවේ පූජකයන් හා සම්බන්ධ සමීක්ෂණයකදී, බොහෝදෙනෙක් “යේසු කන්යාවකගෙන් ඉපදීම, යේසුගේ ප්රාතිහාර්යයන් සහ මෙසියස්ගේ දෙවන පැමිණීම වගේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ මූලිකම අංගයන් විශ්වාස නොකරන බව” අනාවරණය වූවායයි ඕස්ට්‍රේලියාවේ කැන්බරා ටයිම්ස්හි වාර්තා වෙනවා.
අවංක හෘද සාක්ෂියක් ඇතුව, තමාවත් විශ්වාස නොකළ විශ්වාස ලක්ෂණයක් දේවගැතියෙක් කටක් ඇරලා කියන්නේ කොහොමද කියා ආගමික කතුවරයෙක් වන ජෝර්ජ් ආර්. ප්ලේගෙන්ස් විමසුවා. “මම විශ්වාස කරමි” යන විශ්වාස ලක්ෂණයේ වචන කීපය තමා කිසි ගානක් නැතුව වෙනස් කර කියනවා කියා එක් දේවගැතියෙක් පැවසුවා. ඔහු මෙසේ පවසනවා: “ ‘සර්වබලධාරි පිතා වන දෙවියන් කෙරෙහි . . . ඔවුහු විශ්වාස කරති’ යයි පවසමින් මම යාච්ඤාව පටන්ගන්නවා.” එයාකාර කුහකකම “රටේ තියෙන ලොකුම ප්‍රෝඩාව” ලෙස ප්ලේගෙන්ස් හඳුන්වනවා.
කනගාටුදායක ලෙස, පොදුවේ ගත් කල ආගම්වල සිටින බහුතරයක් පූජකයන් තුළ පවතින විශ්වාස භංගත්වය සහ බොරු මවාපෑම්වලින් කලකිරීමට පත්ව සිටිනවා. නමුත් අද ආගම්වල තිබෙන එකම කලඹවන අංගය එය පමණක් නොවෙයි. පල්ලි යන්නන් බොහෝදෙනෙකුට බයිබලය දෙවිගේ වචනය හැටියට උගන්වා තිබෙනවා. දිගු කාලයක් පුරා පිළිගත් පල්ලි මූලධර්මයන් බයිබලයේ උගන්වන්නේ නැති බව දැනගැනීම ඔවුන්ව මවිතයට පත් කරවයිද? ඊළඟ ලිපියේ එක් උදාහරණයක් සලකා බලන්න යනවා.