රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සැබෑ දෙවි සෙවීම විපාකදායී යමක්
පොදු යුගයට පෙර දහවන සියවසේදී, යූදාහි ගෝත්‍ර-දෙකේ රාජ්‍යය බොරු නමස්කාරයෙන් යටපත් වී තිබුණා. කෙසේනමුත්, මෙම බහුලව පැතිරුණු රූප නමස්කාරය මධ්‍යයෙහි වුවත්, දෙවි කෙරෙහි තම හෘදය යොමු කර සිටි මනුෂ්‍යයෙක් ජීවත් වුණා. ඔහුගේ නම යෙහෝෂාපාට්. ඔහු සම්බන්ධයෙන් ප්‍රොපේත යේහු මෙසේ පැවසුවා: ‘දෙවි සෙවීමට නුඹේ සිත [හෘදය, NW] යොමු කිරීම නම් වූ යහපත් කාරණා නුඹට ඇත්තේය.’ (2 ලේකම් 19:3) අදදිනත් එලෙසම, මෙම ‘කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල,’ සැබෑ දෙවි වූ යෙහෝවාව සෙවීම කෙරෙහි ‘තම හෘද යොමු කර’ තිබෙන මිලියන සංඛ්‍යාතදෙනෙක් සිටිනවා. (2 තිමෝති 3:1-5, NW) බටහිර අප්‍රිකාවේ ටෝගෝවල මතු දැක්වෙන අද්දැකීමෙන් මෙය ස්ථිර වෙනවා.
කැසිමිර් කතෝලික පාසැලකට ගිය අතර, වයස අවුරුදු නවයේදී ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබාගෙන තිබුණා. එනමුත්, කැසිමිර්ට වයස 14 වන විට, ඔහු පල්ලි යෑම නවත්වා තිබුණා. පූජාව අතපසු කිරීම හේතුවෙන් ඔහුට නිරාගින්නට එහෙමත් නැත්නම් අඩුම තරමින් ශුද්ධගිනි ස්ථානයටවත් යන්න සිදු වේවියයි සිතූ බැවින් ඔහු ජීවත් වූයේ බියෙන්.
බයිබලය සතියකට වරක් අධ්‍යයනය කළ යෞවන කණ්ඩායමකට කැසිමිර් පාසැලේදී එකතු වුණා. ඔහු තනිවම බයිබලය කියවීමටත් පටන්ගත්තා. එක් අවස්ථාවකදී, කැසිමිර් මුහුදෙන් නැඟී ආ රෞද්‍ර වන මෘගයෙක් ගැන එළිදරව් පොතෙන් කියෙව්වා. (එළිදරව් 13:1, 2) බයිබල් අධ්‍යයන කණ්ඩායමේ නායකයාගෙන් ඔහු ඒ ගැන විමසූ විට, මෘගයා සැබෑ එකෙකු බවත්, ඌ ඇත්තෙන්ම මුහුදෙන් නැඟී එනු ඇති බවත් ඔහුට පවසනු ලැබුවා. ඔහු ජීවත් වුණේ අත්ලාන්තික් මුහුදු තීරය කිට්ටුව නිසා මෙම පැහැදිලි කිරීමෙන් ඔහු කලබලයට පත් වුණා. වන මෘගයාට මුලින්ම ගොදුරුවන්නන් අතරේ ඔහුත් සිටියි කියා ඔහුට හැඟුණා.
වන මෘගයාගෙන් බේරීම සඳහා උතුරුකරයේ කාන්තාරයට පලා යෑමට හැකි වන පිණිස කැසිමිර් තම මුදල් ඉතිරි කිරීමට පටන්ගත්තා. තමා කරන්න යන දේවල් සම්බන්ධයෙන් ඔහු තම පංතියේ මිතුරෙකුට පැවසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ව සිටි ඔහුගේ පංතියේ මිතුරා එවැනි සැබෑ වන මෘගයෙක් මුහුදෙන් නැඟී නොඑන බව ඔහුට සහතික කළා. ඉන් ටික දවසකට පසු, රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට එන ලෙස කැසිමිර්ට ආරාධනා කරනු ලැබුවා. ඔහු රැස්වීම්වලට ආශාවෙන් ගිය අතර, නිතිපතා එහි යන්න පටන්ගත්තා. ඔහු නිවාස බයිබල් පාඩමක් කිරීමටත් කැමති වුණා.
කැසිමිර් ඔහුගේ පාඩමෙන් ප්‍රගතියක් ලබද්දී, පවුලෙන් විරුද්ධවාදිකම් එන්න පටන්ගත්තා. ඔහුගේ පවුලේ අය මුතුන්මිත්තන් නමස්කාරයේ යෙදුණු අතර, පූජාවලින් ඉතිරි වූ ලේ ඉවත් නොකළ මස් ආහාරයට ගත්තා. කැසිමිර් යටහත් පහත් ලෙස මස් කෑම ප්‍රතික්ෂේප කළ විට, ඔහුට තර්ජනය කර, නිවසෙන් යන්න කිව්වා. කැසිමිර් කලබල නොවූ අතර, තර්ජනය කළ පරිදි ඔහුට නිවසෙන් යන්න සිදු වුණේ නැහැ. කෙසේනමුත්, මාස තුනක් පුරාම, පවුලේ කෑම වේල් සඳහා දුන්නේ එවැනි මස් පමණයි. කැසිමිර්ට ආහාර ප්‍රමාණවත්ව නොලැබීමේ ගැටලුවක් තිබූ නමුත්, ඔහු මෙය සහ වෙනත් දුෂ්කරතාත් විඳදරාගත්තා.
කැසිමිර් දිගටම කැපවීම හා බව්තීස්මය දක්වා ආත්මික ප්‍රගතියක් ලැබුවා. පසුව, ඔහුව උපස්ථායක සේවකයෙකු හැටියට පත් කළ අතර, ඔහු ටෝගෝහි උපස්ථායක සේවක පුහුණු පාසැලේ හතරවන පංතියට සහභාගි වුණා. දැනට, ඔහු ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවයෙහි ප්‍රීතියෙන් යෙදෙමින් සිටිනවා.
ඔව්, බොහෝ අවස්ථාවලදී දාවිත් රජුගේ මෙම වචන මොනතරම් සැබෑ වී තිබෙනවාද: “නුඹ [යෙහෝවාව] සොයනවා නම් [ඔහු] නුඹට සම්බවෙනවා ඇත.”—1 ලේකම් 28:9.
[8වන පිටුවේ පින්තූර]
කැසිමිර් (දකුණෙහි) ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවයෙහි ප්‍රීතියෙන් යෙදී සිටිද්දී