රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“කලටත් අකලටත්” දේශනා කිරීම
බොස්නියාව සහ හර්ට්සගොවිනාව හරහා යුද්ධයේ සැඩ සුළං හමාගිය විට, දහස් ගණනක් පුදුමාකාර දුෂ්කරතාවන් අද්දැක්කා. එම පීඩා සහිත කාලයේදී, ජනයා තුළ ධෛර්යය සහ බලාපොරොත්තුව ජනිත කරලීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම උත්සාහයක්ම ගත්තා. කාලයක් සරයේවෝහි සේවය කළ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් විසින් ලියූ ලිපියකින් ගත් උපුටාගැනීම් කීපයක් පහත සඳහන් වෙනවා.
“මෙහි ජීවිතය හරිම දුෂ්කර වුණත්, මෙහි සිටින මිනිසුන් බයිබල් සත්‍යයට හොඳින් ප්‍රතිචාරය දක්වනවා. ප්‍රාදේශීය සාක්ෂිකරුවන් අඛණ්ඩතාව සම්බන්ධයෙන් පුදුමාකාර ආදර්ශයක් තබනවා. ද්‍රව්‍යමය වශයෙන් ඔවුන්ට තිබෙන්නේ ඉතාමත් ස්වල්පයක් වුවත්, ඔවුන්ට කදිම ජ්වලිතයක් තිබෙනවා. සභාවේ සිටින සෑම යෞවනයෙක්ම වගේ පූර්ණ-කාලීන සේවයේ නිරත වී සිටිනවා. මෙම ජ්වලිතය මගින් නවක ප්‍රචාරකයන් දිරිගැන්වීමක් ලබන අතර, තමන් සේවයේ සහභාගි වූ පළමු මාසයේ සිටම, මාසයකට පැය 60ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවය සඳහා කැප කිරීම ඔවුන්ට අසාමාන්‍ය දෙයක් නෙමෙයි.
“ගෙයින් ගෙට ගොස් දේශනා කිරීමට අමතරව, මනුෂ්‍යයන් වෙත එළඹීම සඳහා වෙනත් විවිධ ක්‍රම අපි අත්හදා බලා තිබෙනවා. උදාහරණයකට, නගරයේ තිබෙන සුසාන භූමි බොහෝමයක බයිබල් ප්‍රකාශන බෙදා දීමෙන් අපට කදිම ප්‍රතිඵල ලැබී තිබෙනවා.
“රෝහල්වලදීත් සාක්ෂියක් දී තිබෙනවා. සරයේවෝහි පිහිටි රෝහලක, හෘද විද්‍යා පීඨයේ ප්‍රධාන වෛද්‍යවරයා, ‘හෘදයාබාධ—මෙයට කුමක් කළ හැකිද?’ (ඉංග්‍රීසියෙන්) යන මාතෘකාවෙන් යුත්, 1996 දෙසැම්බර් 8 පිබිදෙව්! සඟරාව ලබාගත්තා. අනිත් වෛද්‍යවරුන්ටත් ඒවා බෙදා දීම සඳහා ඔහු තවත් පිටපත් ඉල්ලුවා. ඉන්පසු සාක්ෂිකරුවන්ට, ඔහුගේ පීඨයේ සිටින සියලුම රෝගීන්ව බැහැදකින්න අවසර දෙනු ලැබුවා. මෙලෙස, පැයකට මදක් වැඩි කාලයක් තුළදී ඇඳෙන් ඇඳට ගොස් සඟරා 100කට වැඩි ප්‍රමාණයක් බෙදා දෙනු ලැබුවා. තමන්ට ධෛර්යයක් හා බලාපොරොත්තුවක් දීම සඳහා කවුරුන් හෝ රෝහලට තමන්ව බලන්න පැමිණි පළමු වතාව එය වූ බව රෝගීන් වැඩිදෙනෙක් පැවසුවා.
“තවත් අවස්ථාවක, ළමුන්ට යෝග්‍ය ලිපි අඩංගු සඟරාත් ඇතුව රෝහලේ ළමා අංශය බැහැදකිනු ලැබුවා. ප්‍රධාන වෛද්‍යවරියත්, කියවීමේ කාමරයේ තැබීම සඳහා මගේ බයිබල් කතන්දර පොත නමැති පොතේ පිටපත් කීපයක් ලබාගත්තා. තම දරුවන්ව බලන්න පැමිණෙන දෙමව්පියන් දැන් දිනපතා ඔවුන්ට ඇසෙන්න බයිබල් කතන්දර කියවනවා. වෛද්‍යවරයාව නිවසේදී නැවත හමුවීමටත් කටයුතු සූදානම් කරගෙන තිබුණා.
“විවිධ ජාතීන්වලට අයත් නේටෝ [උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්ධානය] සොල්දාදුවන් දහස් ගණනක් සරයේවෝහි සිටිනවා. මේ අයටත් මනා සාක්ෂියක් ලැබී තිබෙනවා. සමහර අවස්ථාවලදී අපි, විවිධ භාෂාවන්ගෙන් යුත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සමඟ, සියලු ජාතීන්ට ශුභාරංචි නමැති පොත්පිංචය යොදාගනිමින් යුද රථයකින් යුද රථයකට යනවා. ඉතාලි ජාතික හමුදා බැරැක්ක තුළදී සඟරා 200කටත් වැඩි ප්‍රමාණයක් බෙදා දෙනු ලැබුවා. පුදුමයට කරුණක් නම්, ඉතාලි ජාතික සොල්දාදුවන්ගෙන් වැඩිදෙනෙක්, තමන් මීට කලින් කවදාවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ කතා කර නොතිබුණු බව පැවසීමයි. කොහොමවුණත්, සරයේවෝහිදී ඔවුන්ට අපිව මුණගැසුණා!
“එක් දිනක්, යුද රථයක් පාරේ අයිනක නවතා තිබුණා. මම මගේ කුඩෙන් රථයට තට්ටු කෙරුවා. එවිට සොල්දාදුවෙක් එළියට ආවා. ‘සමාදානයේ දූතයෝ—ඔවුන් කවුද?’ යන මාතෘකාවෙන් යුත් මුරටැඹ සඟරාවක් මම ඔහුට ඉදිරිපත් කළා. සොල්දාදුවා මං දිහා බලලා මෙහෙම ඇහුවා: ‘ඔයා යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් නෙමෙයිනේ!’ මම සාක්ෂිකරුවෙක් බව දැනගත් පසු, ඔහු මෙහෙම උත්තර දුන්නා: ‘මේක නම් මට අදහගන්නවත් බැහැ; ඕගොල්ලෝ මෙතනත් ඉන්නවා! යෙහෝවාගේ සාක්ෂිකරුවන් නැති තැනක් ලෝකයේ කොහේ හරි තියෙනවද?’”
ප්‍රේරිත පාවුල් මෙසේ උනන්දු කරනවා: “වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න.” (2 තිමෝති 4:2) ලොව පුරා සිටින තම සෙසු ඇදහිලිවන්තයන් මෙන්, සරයේවෝහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවනුත්, ඇඳකින් ඇඳකට සහ යුද රථයකින් යුද රථයකට පවා ගොස් එය කරමින් සිටිනවා!