අධිකාරීන් සාක්ෂිකරුවන්ට ප්‍රශංසා කරයි
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වලට කිලෝමීටර් 500ක් පමණ ඈතින්, නිරිතදිගෙහි පිහිටි වරාය නගරයක් වන කාඩිෂ්වල නගරාධිපතිනිය වන ඩෝනා ටියෝෆීලා මාටීනෙස්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඵලකයක් (ඉහත පෙන්වා ඇති) පිරිනැමුවා. එහි මෙසේ ලියා තිබෙනවා: “මේ නගරය වෙනුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දක්වන සහයෝගය හා වෑයමට අගය පළ කිරීමක් වශයෙන් ඔවුන්ට කාඩිෂ් නගර සභා අධිකාරීන්ගෙන්.” මේ ගෞරවය ලැබීමට සාක්ෂිකරුවන් කළේ මොනවාද?
නගර සභා ක්‍රීඩාංගණයේ කොටසක් අලුත්වැඩියා කිරීම සඳහා සාක්ෂිකරුවන් කළ වැඩ පිළිගැනීමක් වශයෙනුයි එය පිරිනමා තිබුණේ. සති කීපයක් පුරා, කරාන්ශා පාපන්දු ක්‍රීඩාංගණයේ බිම් මහලේ වැසිකිළි අලුත්වැඩියා කිරීමට උපකාර කිරීම සඳහා සාක්ෂිකරුවන් සියගණනක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. දැන්, ක්‍රීඩාංගණය පාවිච්චි කරන හැමෝම ජල නළ පහසුකම්වලින් හා සකස් කළ බිමෙන් ප්‍රයෝජන ලබනවා.
යම් කාලයක් පුරා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කාඩිෂ් නගරවාසීන් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන තිබෙනවා. හැම අවුරුද්දකම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ වාර්ෂික දිස්ත්‍රික් සමුළුව පැවැත්වීමට නගර සභා අධිකාරීන් කරුණාවන්ත ලෙස කරාන්ශා ක්‍රීඩාංගණය ලබා දෙනවා. එබැවින්, ක්‍රීඩාංගණය හොඳ තත්වයක තබාගැනීම සඳහා උපකාර කිරීමට සාක්ෂිකරුවන් සතුටු වෙනවා.
කෙසේවුවත්, ඉඳහිට කාය ශ්‍රමය වැය කරනවාට අමතරව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනත් ආකාරයකින් මහජනයාට උපකාර කිරීම සඳහා නගරයේ අවට ප්‍රදේශවලට නිතිපතා යනවා. ඔවුන් දේවරාජ්‍යයේ “ශුභාරංචිය” ප්‍රකාශ කරනවා. ඔවුන් ප්‍රසිද්ධ දේවසේවයේ යෙදෙන්නේ මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසාව ලැබීමට නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් එසේ කරන්නේ ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමට හා ‘සියලු ජාතීන් ගෝලයන් කිරීමට’ යේසු දුන් අණට කීකරු වීමක් වශයෙනුයි. (මතෙව් 24:14; 28:19) මේ ආකාරයෙන්, ජනයාව “ධර්මිෂ්ඨකමේ මාවතෙහි” දැනුවත් කිරීම මගින් ප්‍රජාවට සේවය කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙනවා.—හිතෝපදේශ 12:28.