වැඩත් විවේකයත් සමබර කරගැනීම
“විවේකය ඉතා ලස්සන වස්ත්‍රයක්. හැබැයි ඒක හැමදාම අඳින්න හොඳ නැහැ.” විවේක ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිර්නාමික ලේඛකයෙකුගේ මෙම වදන්වලින් මනාව පැහැදිලි වෙනවා. කොහොම වුණත්, ඵලදායී වැඩවල නිරත වීම අතපසු නොකර, විවේකය සම්බන්ධයෙන් සමබර වීම අවශ්‍ය බව ඔහු පෙන්නුම් කරනවා.
දේවානුභාවය ලැබූ බයිබල් ලේඛක සාලමොන්ද මෙම කාරණය සාකච්ඡාවට ලක් කළා. අප මඟහැරිය යුතු අන්ත දෙක මොනවාද කියා මෙම ප්රඥාවන්න රජ හඳුන්වා දුන්නා. මුලින්ම ඔහු කිව්වේ, “අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම මාංසය කන්නේය” කියායි. (දේශනාකාරයා 4:5) ඔව්, අලසකම අපව දුගීකමේ දොරකඩට ගෙනා හැකියි. ඇත්තෙන්ම දුගීකමේ ප්‍රතිඵලයක් වශයෙන්, අලසයෙකුගේ සෞඛ්‍යයට, සමහරවිට ජීවිතයට වුණත් අනතුරු සිදු විය හැකියි. අනික් අන්තය ගත් කල, ඇතැම් අය අන් හැම දෙයක්ම පරදුවට තබමින්, වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඔවුන්ගේ නිමක් නැති උත්සාහය සාලමොන් විස්තර කරන්නේ, ‘නිෂ්ඵලකමක් සහ හිස් වූ උත්සාහයක්’ හැටියටයි.—දේශනාකාරයා 4:4.
එසේ නම්, සාලමොන් සමබර වීම නිර්දේශ කළේ හොඳ හේතු ඇතුවයි. ඔහු කිව්වේ, “වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉඳීම හොඳය” කියායි. (දේශනාකාරයා 4:6) පුද්ගලයෙක් ‘තමාගේ වැඩෙන් සැප භුක්ති විඳිය’ යුතුයි. ඉන් අදහස් කරන්නේ, තමා උපයාගෙන ඇති දේ භුක්ති විඳීමට ඔහු විටින් විට කාලය ගත යුතු බවයි. (දේශනාකාරයා 2:24) ඇත්තෙන්ම හැම මොහොතකම රැකියාවක වෙහෙසෙනවාට වඩා, අප ජීවිතයෙන් භුක්ති විඳිය යුතු දේවල් තිබෙනවා. අපගේ පවුල වෙනුවෙන් කාලය මිඩංගු කිරීම වටින්නේ නැද්ද? අපගේ මූලික යුතුකම රැකියාවක් කිරීම නොව නමුත් දෙවිට සේවය කිරීම බව සාලමොන් අවධාරණය කළා. (දේශනාකාරයා 12:13) එසේ නම්, වැඩ කිරීම ගැන සමබර අදහසක් දරන අය අතර ඔබත් සිටිනවාද?