රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
නැමීබියාවේ දිව්‍යාණ්ඩුමය වර්ධනය
දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය නැමීබියාවට මුලින්ම ලැබුණේ 1920 ගණන්වල අගභාගයේදීය. එදා පටන් අවංක සිත් ඇති අය සිය ගණනක් දෙවිගේ ගැළවීමේ පණිවිඩය අසා එය පිළිගෙන තිබෙනවා. යෙහෝවා අතිශයින් ආශා කරන අයව තම ගාලට එක්රැස් කරන අන්දම මතු දැක්වෙන අද්දැකීම්වලින් මනාව පෙන්වයි.—හග්ගයි 2:7.
◻ නැමීබියාවේ ඊසාන දිගින් පිහිටි ගමක වාසය කරන පෝලස්, තම අස්වැන්නෙන් එදා වේල පමණක් පිරිමසාගන්නා දුප්පත් ගොවියෙක්. දිනෙක ඔහු අගනගරය වූ වින්ඩ්හුක් බලා ගමන් කළ අවස්ථාවේදී ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පළමු වතාවට මුණ ගැසුණා. සත්‍යය මෙයයි කියා ඔහුට විගසම වැටහුණා. ඔහු නැවත ගෙදර ගියේ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත අරගෙනයි. ඔහුට යෑමට හැකි කිට්ටුම රාජ්‍ය ශාලාව තිබුණේ රුන්ඩු නම් නගරයේ. ඔහු එතැනට ගොස් සාක්ෂිකරුවන්ව හමු වූ අතර ඔහුව බලන්න එන්න කියා ඔවුන්ගෙන් යටහත්ව ඉල්ලා සිටියා.
කොහොමවුණත් එතැන ඉඳලා ඔහුගේ නිවසට සෑහෙන දුර නිසා හැම සතියකම පෝලස් එක්ක බයිබල් පාඩමක් පවත්වන්න බැරි වුණා. ඒත් ඔහු අධෛර්යය වුණේ නෑ. ඔහු තනියෙන්ම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි ඔහු ඉගෙනගත්ත දේවල් උනන්දුවෙන් අනිත් අයටත් කියන්න පටන්ගත්තා. ටික කාලයක් ගියාට පස්සේ බයිබලය පාඩම් කරන්න කැමති කිහිපදෙනෙක් බයිබලය ගැන සාකච්ඡා කිරීමට නිතිපතා රැස් වෙන්න පටන්ගත්තා. එක් දවසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමක් රුන්ඩු නගරයෙහි පවත්වන්න යනවා කියලා ඔවුන්ට ගුවන් විදුලියෙන් අහන්න ලැබුණා. ඔවුන් අමාරුවෙන් ඉතිරි කරගෙන තිබුණ සුළු මුදල එකතු කරගෙන කොහොමහරි වාහනයක් කුලියට ගන්න අවශ්‍ය මුදල් සොයාගත්තා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ මුල්ම වතාවට ආශ්‍රය කරන්න හැකිවීම ඔවුන්ට මොනතරම් ප්‍රීතියක්ද! සුදුසුකම් ඇති සහෝදරයන්ට ගොස් මෙම කණ්ඩායම නිතිපතා හමුවීමට එතැනදීම කටයුතු සූදානම් කළා. පෝලස් ජීවත් වන නගරයේ අද ප්‍රචාරකයන් හයදෙනෙක් ඉන්නවා.
◻ දෙවිගේ නම ගැන යොහානාගේ කුතුහලය ඇවිස්සුණේ අමුතුම විදිහකටයි. එය වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඇතැම් අය දොස් කියනවා අහන්න ලැබුණ විටකදියි. “යෙහෝවාගේ නම මට මුල්ම වතාවේ අහන්න ලැබුණහම ඒක මගේ මනසේ හොඳින් කෙටුණා. එතකොට තමයි යෙහෝවා කියන්නේ කවුද කියන එක ගැන මම හිතන්න ගත්තේ. ඒ කාලයේ මම මගේ සැමියා එක්ක නැමීබියාවේ මුහුදු වෙරළේ වෝල්විස් බොක්ක අසල තමයි ජීවත් වුණේ. දවසක් දා අපි ටවුමට ගියහම සාක්ෂිකරුවන් පාරේ හිටගෙන මුරටැඹ සඟරාව බෙදමින් ඉන්නවා දැක්කා. මට අහන්න ප්‍රශ්න හුඟාක් තිබුණ නිසා මං සඟරාවක් අරගෙන බයිබල් පාඩමකුත් ඉල්ලුවා. වාහනේ කැඩී තිබුණ නිසා එන්න බැරි වෙයි කියලා ඒගොල්ලෝ මට කිව්වහම මට කඳුළු නවත්තගන්න බැරි වුණා. මේ සිද්ධියට පස්සේ වැඩි කාලයක් ගත වෙන්න ඉස්සෙල්ලා මගේ සැමියා අන්තරා වුණා. ඊට පස්සේ මම කීට්මන්ස්හූප් කියන ස්ථානයේ පදිංචියට ගියා. එහෙ වැඩ කරන්න පැවරී තිබුණ විශේෂ පුරෝගාමියෙක්ගෙන් (පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙක්ගෙන්) මම සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය කියන පොත ලබාගත්තා. මුල ඉඳන්ම කියවූ දේවල්වල සත්‍යතාව මට හොඳින් තේරුණා.
“පසුව දේශනා කිරීමේ වැඩයේ හවුල් වෙන්න කියලා ආරාධනාවක් ලැබුණත් නොදන්න අයට කතා කිරීම ගැන මට පුදුම භයක් ඇති වුණා. ගෙයින් ගෙට යන අතරවාරයේදී මාව දේශනා සේවයේ යොදවනවා වෙනුවට මට මැරෙන්න ඉඩ දෙන්න කියලා මම යෙහෝවාගෙන් ඉල්ලුවා. වීථි සේවය කරපු මුල්ම වතාවේ මං ගිහිල්ලා කාටවත් පේන්නේ නැති වෙන්න පොඩි අතුරු පාරක හැංගිලා හිටියා. කොහොමහරි මාව පහු කරගෙන යන කෙනෙක්ට සඟරාවක් පෙන්නන්න ඕනෑමයි කියලා මං අධිෂ්ඨාන කරගත්තා. ඊට පස්සේ තමයි මට මොකක් හරි දෙයක් කියාගන්න පුළුවන් වුණේ. එදා යෙහෝවාගේ උපකාරයෙන් බයිබලය මත පදනම් වූ මගේ බලාපොරොත්තුව මිනිසුන් ගණනාවක් එක්ක බෙදාගන්න මට පුළුවන් වුණා.
“දැන්, අවුරුදු 12කට පස්සේ ද්‍රව්‍යමය අතින් මට යමක් කමක් එතරම්ම නැති වුණත් මගේ පුරෝගාමී සේවය මට තිබෙන අනර්ඝ වස්තුවක් හැටියට මම සලකනවා. ඒ විදිහට රාජ්‍යයේ සත්‍යය අනිත් අය සමඟ බෙදාගැනීමෙන් මම භුක්ති විඳින්නේ වෙන කිසිම දේකට සමාන කරන්න බැරි ප්‍රීතියක්.”