දෙමාපියෙකු වීමේ අභියෝගයට මුහුණ දීම
අදදින දරුවන්ව, විශේෂයෙන් නහඹරයන්ව ඇති දැඩි කිරීම කිසිසේත් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මත්පැන් හා මත්ද්‍රව්‍ය අත්හදා බැලීම ‘යෞවනයන් අතරේ සාමාන්‍ය දෙය’ වී තියෙනවා කියා කැනඩාවේ, මොන්ට්රියෝල්හි ද ගැසට් පුවත්පත කියයි. දෙමාපියන් “[තම] දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස් වීම්වලට සාවධානව සිටීමේ වගකීම” එහි අවධාරණය කරනවා.
මෙවැනි යොවුන් වියේ ගැටලු ඇති බව දැනහඳුනා ගැනීමට නම් දෙමාපියන් සාවධාන විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? අමෙරිකානු, ළමා හා නව යොවුන් මනෝචිකිත්සක ශාස්ත්‍රාලය හඳුන්වා දෙන අනතුරු අඟවන ලක්ෂණ සමහරක් නම්, නිතරම වාගේ අධික වෙහෙසට පත්ව සිටීම, පෞද්ගලිකත්වයේ හෝ චරිත ස්වභාවයේ වෙනස් වීම්, තනිවම තම කාමරයට වී පෙරට වඩා වැඩි කාලයක් ගත කිරීම, දබරකාරි හැසිරීම සහ නීති විරෝධි ක්‍රියාකාරකම්වල පටලැවීම යනාදියයි.
ඉතින් දෙමාපියන්ට මෙවැනි හානිකර අත්හදා බැලීම්වලිනුත් ඒවායේ අහිතකර ඵල විපාකවලිනුත් තම දරුවන්ව ආරක්ෂා කළ හැක්කේ කොහොමද? ළමා වියේදී හොඳ අදහස් හුවමාරුවක් හා අන්‍යොන්‍ය ගෞරවයක් දැඩි කැපවීමකින් යුතුව වර්ධනය කෙරුවොත් පසු කාලවලදී ඇති විය හැකි ගැටලු බොහෝදුරට අඩු කරගත හැකියි කියා මගිල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජෙෆ්රි එල්. ඩරෙවෙන්ස්කි විශ්වාස කරයි. යෞවනයන් තුළ වැඩි වැඩියෙන් ස්වාධීනත්වය ලැබීමට ආශාව මතු වුණත් නහඹරයන්ට “දෙමාපියන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම, සහය, සුරක්ෂිතභාවය හා ප්‍රේමය” තවමත් නිසැකවම අවශ්‍ය බව ද ගැසට් පුවත්පත වැඩිදුරටත් කියයි. මේ නිරීක්ෂණය බයිබලයේ හිතෝපදේශයක් ප්රතිනාද කරනවා වගෙයි. එහි මෙසේ පවසයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” (හිතෝපදේශ 22:6) හොඳ ආදර්ශයන් වීමටත්, මිතුරන් වීමටත්, අදහස් හුවමාරු කරන්නන් වීමටත්, ගුරුවරුන් වීමටත් දෙවිගේ වචනය දෙමාපියන්ට කදිම උපදෙස් සපයනවා.—ද්විතීය කථාව 6:6- 7.