මුළු ලොවටම සාමය කොහෙන්ද?
මුළු ලොවම සාමය උදා වන තෙක් දෑස් අයාගෙන බලා සිටී. ඔවුන් එලෙස බලා සිටින්නේ මිරිඟුවක් දෙසද? ඇත්තටම මනස පුබුදුවාලූ එවැනි බලාපොරොත්තු අද සුන් වී ඇත. “මීට දස වසරකට කලින් සමෘද්ධිමත් අනාගතයක් ගැන ජාත්‍යන්තර වශයෙන් අදහස් දක්වනු ලැබුවත් අද සියල්ල සුනු විසුනු වී ගොස් ඇත.” මෙසේ පවසා තිබුණේ දකුණු අප්‍රිකාවේ ඩේලි මේල් ඇන්ඩ් ගාඩියන් නමැති පුවත්පතේ, මිනිස් අනාගතයේ අභියෝගාත්මක ස්වරූපය ගැන පළ වූ ලිපියකය.
දශකයකට කලින් මුළු ලොවම බලාපොරොත්තුවලින් වෙළී සිටි ආකාරය ලේඛකයන් සිහි කරවයි. ඒ වන විට සීතල යුද්ධය නිමා වී තිබූ අතර සුපිරි බලවතුන්ගේ බල අරගලය නිමාවකට පත් වී තිබිණ. සමස්ත ලෝකයට බලපාන දිළිඳුකම, ලෙඩ රෝග හා පරිසර දූෂණය වැනි දේවලට එරෙහිව සැලකිය යුතු විසඳුම් ගෙන ඒමට හැකි නව යුගයක අරුණලු දකින්නට බොහෝදෙනෙකු පෙරුම් පිරුවේය. වාර්තාවේ පවසන පරිදි “ඔවුන් නිශ්චිත වශයෙන් ඉටු කළ හැකියයි සිතූ අනාගතික සැලසුම් සියල්ල අද ඉටු නොවූ කල්පිතයක් බවට පත් වී ඇත. කලින් නොඇසූ ප්‍රදේශවල පවා අද යුද්ධ හටගෙන ඇති අතර, මෙනිසා දිළිඳුකම අවි අමෝරාගෙන නැඟී සිටින අයුරු අපට දැකගත හැකිය. දැන් නව න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු එකතු වී සිටින අතර, පෙර නොවූ විරූ ලෙස සිදු වන විනාශකාරි තත්වයන්ගෙන් බේරාගැනීම සඳහා සාර්ථක වැඩ පිළිවෙළක් දියත් කිරීමට අසමත් වී තිබෙන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය බොහෝදෙනාගේ විවේචනයට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගේ ආකල්පවල දැන් සම්පූර්ණ විපර්යාසයක් සිදු වී ඇත. ලස්සන අනාගතයක් අපේක්ෂා කරමින් සිටි ඔවුන් දැන් සිතන්නේ මිනිසා නියත වශයෙන්ම ගැඹුරු ආගාධයකට ඇද වැටෙනු ඇති බවයි.”
මිනිසා කෙතරම් ප්‍රබල මෙන්ම අවංක උත්සාහයන් දැරුවත් කිසි විටකත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත නොහැකි බව බයිබල් ශිෂ්‍යයන් හොඳින් දනී. එයට හේතුව කුමක්ද? බයිබලයේ පවසා තිබෙන පරිදි, “මුළු ලෝකයා නපුරා තුළ” පැවතීමයි. (1 යොහන් 5:19) සාතන්ගේ යටතේ පවතින තුරා මේ ලෝකය කෙදිනකවත් දෙවි අරමුණු කරන පාරාදීස තත්වයට ගෙන ඒමට නොහැකිය.
නමුත් අපට අනාගතය ගැන සර්ව ශුභවාදීව සිතන්න හොඳ හේතුවක් තිබේ. යෙහෝවා දෙවි මුළු ලොවටම සාමය උදා කර දෙන බවට පොරොන්දුවක් දී තිබීම එයට හේතුවයි. එය ඉටු කිරීමට යන්නේ අද තිබෙන පිළිවෙළට පැලැස්තර දැමීමෙන් නොව, නමුත් “ධර්මිෂ්ඨකම වාසයකරන . . . අලුත් පොළොවක්” ගෙන ඒම තුළිනි. (2 පේතෘස් 3:13) ඔව්, අපේ මේ පෘථිවිය ප්‍රීතිමත් සාමකාමී නිවහනක් බවට පත් කිරීමට දෙවිගේ රාජ්‍යයට පුළුවන. එය ඉටු වන දිනයේදී කීකරු මනුෂ්‍යවර්ගයාගේ ජීවිත ප්‍රීතියෙන් පිරී ඉතිරී යනු ඇති අතර, කිරීමට තෘප්තිමත් වැඩ බොහෝමයක් තිබෙනු ඇත. දෙවි තවදුරටත් පොරොන්දු වන්නේ, ‘ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත්, හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය’ කියායි. මෙම පොරොන්දු දී ඇත්තේ කෙදිනකවත් බොරු නොකියන විශ්වයේ උදාර මැවුම්කරු මිසක මේ ලෝකයේ සිටින චපල මිනිසුන් නොවේ.—එළිදරව් 21:4; තීතස් 1:1.