කිසිදා නොමියෙන සැඟවුණු අලංකාරය
“අද කාලේ තරුණ අයට නම් ඉතිං ලස්සන තරම් තවත් දෙයක් නෑ.” මෙය වර්තමානයේ තරුණ තරුණියන්ගේ ආකල්පය සම්බන්ධයෙන් වැඩිවියේ පසු වන ක්‍රිස්තියානියෙකුගේ අදහසයි.
ඇත්තෙන්ම, පිටාතර අලංකාරය කෙරෙහි මිනිසා අසීමිත ලොල්කමක් දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුගේ ඇතුළාන්ත ස්වභාවය දැකගැනීමට ඔවුන් අසමත් වී තිබේ. එනමුදු, අපගේ මැවුම්කරුගේ අවධානයට ලක් වන්නේ අපගේ ඇතුළාන්තය මිසක පිටාතරය නොවෙයි. මෙනයින් ඔහු කෙනෙකුගේ නියම ස්වරූපය හඳුනාගන්නේ කෙසේද කියා පෙන්නුම් කිරීම පිළිබඳව කදිම ආදර්ශයක් තබන ලදි. මේ පිළිබඳව දෙවිම පැවසූ වදන් බයිබලයේ වාර්තා වී ඇත්තේ මෙලෙසයි. ‘යෙහෝවා මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලයි. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනුම බලන්නේය. නමුත් යෙහෝවා සිත බලන්නේය.’—1 සාමුවෙල් 16:7.
මිනිසාගේ සැබෑ අලංකාරයේ හිමිකරු යෙහෝවාය. පුද්ගලයෙකුගේ උතුම් ගුණාංග මොනවාද කියා තීරණය කිරීමේදී මුල් තැන හිමි කරගන්නේ ආත්මික ගුණාංග බව දෙවිගේ වචනය වන බයිබලයේ තවදුරටත් පවසයි. එහි සඳහන් වන්නේ, “රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ [යෙහෝවා] කෙරෙහි භය ඇති ස්ත්‍රියටය” යනුවෙනි. (හිතෝපදේශ 31:30) ඇත්තෙන්ම පිටාතර අලංකාරය ඇතුළාන්ත විරූපීභාවය වසාලයි. (එස්තර් 1:10-12; හිතෝපදේශ 11:22) එමෙන්ම බාහිර අලංකාරය කාලයත් සමඟ වියැකී යයි. එනමුත් ඇතුළාත්ත අලංකාරය, එනම් සිතෙහි ඇති යහගුණ දිනෙන් දින දළුලා වැඩෙමින් සදාකාලයටම පවතියි.
සිතෙහි ඇති යහගුණ වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, ආත්ම දමනය යන දේවල් වර්ධනය කරගැනීම කොතරම් ඥානවන්තද! කොතරම් අලංකාරද! (ගලාති 5:22, 23) එලෙස, අපටත් කිසිදා නොමියෙන ඇතුළාන්ත අලංකාරයකට උරුමකම් කිව හැකියි.—1 පේතෘස් 3:3, 4.