අපේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙද්දී අප තනි වූයේ නැත
අප ජීවත් වූයේ දකුණු ස්වීඩනයේ කුඩා නගරයකය. එහි අප ගත කළේ සුන්දර ජීවිතයකි. අපේ ජීවිතවල ප්‍රීතිය උතුරා ගියේ 1993දී සිඟිති දුව විකි අපේ ලෝකයට ඇතුල් වූ දාය. ඇය නිරෝගී, හුරුබුහුටි, ලස්සන පුංචි දැරියක් විය.
අප ගොඩනැඟූ සුන්දර ලෝකය දෙදරා යන්න පටන්ගත්තේ විකිට අවුරුදු එකහමාරක් වන විටය. ඇය නිතර නිතර අසනීප වෙන්න පටන්ගත් නිසා, අපි ඇයව රෝහලට ගෙන ගියෙමු. ළමයින්ට වැළඳෙන දරුණු පිළිකාවක් වන වසා ලියුකේමියා රෝගයෙන් අපේ දුව පෙළෙන බව වෛද්‍යවරයා පැවසූ මොහොත කෙදිනකවත් අපේ මතකයෙන් මකා දැමිය නොහැක. එය අප සිහිනයකින්වත් නොසිතූ දෙයක් විය.
අපේ සිඟිති දියණිය භයානක රෝගයකින් පීඩා විඳින බව දැනගත් විට අපට එය දරාගැනීමට නොහැකි විය. ඇය අවට ලෝකයට පුංචි හවුල්කාරියක් වෙන්න පටන්ගත්තා පමණි. ඇය මැරෙනවා කියලා කොහොම සිතන්නද? එහෙත් වෛද්‍යවරයා අපව සනසන්න උත්සාහ කරමින් පැවසුවේ, ඖෂධීය ප්‍රතිකාර සමඟ රුධිර පාරවිලයන කීපයක් දීමෙන් එයට සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකි බවය. ඔහු එසේ පවසද්දී, අපව තිගැස්සී ගියේය.
අපේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වේ
අප අපේ දුවට ගොඩක් ආදරේ නිසා ඇත්තෙන්ම අපට අවශ්‍ය වුණේ දුවට හොඳම ප්‍රතිකාරය ලබා දීමටයි. නමුත් රුධිර පාරවිලයනය අපට පිළිගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. අප දෙවිගේ වචනය තදින්ම විශ්වාස කළ අතර, එහි පැහැදිලිව පවසා තිබුණේ ක්‍රිස්තියානීන් ‘ලෙයින් වළකින්න’ අවශ්‍ය බවයි. (ක්‍රියා 15:28, 29) රුධිර පාරවිලයනය අවදානම් සහිත දෙයක් බවත් අපි හොඳින්ම දැන සිටියෙමු. ඒ විතරක් නොවෙයි රුධිර පාරවිලයනයන් නිසා දහස් ගණන්දෙනා ලෙඩ රෝගවලට හා මරණයට ගොදුරු වී ඇති බවද අපි දැන සිටියෙමු. අපට තිබූ එකම විකල්පය වූයේ රුධිර පාරවිලයනයකින් තොරව උසස්ම තත්වයේ ප්‍රතිකාර ක්‍රමයක් ලබාගැනීමයි. මෙහිදී අපගේ මේ ස්ථාවරය රැකගැනීමට අපේ ඇදහිල්ල වෙනුවෙන් පොර බදින්න අපට සිදු විය.
දැන් අප මොනවාද කරන්නේ? අපි විගස ස්වීඩනයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට කතා කර රෝහල් තොරතුරු සේවා කමිටුවෙන් උදව් ඉල්ලුවෙමු.a ඒ අය විගස ෆැක්ස් මාර්ගයෙන් රුධිර පාරවිලයනයන් නැතුව ප්‍රතිකාර කරන රෝහලක් සහ වෛද්‍යවරයෙකු ඇද්දැයි යුරෝපය පුරා විවිධ රෝහල්වලින් විමසුවෝය. ඇත්තටම එම සහෝදරයන්ගේ උණුසුම් ප්‍රේමය හා සැලකිල්ල අපව ශක්තිමත් කළේය. ඒ වේලාවේ අපට සිතුණේ අපේ ඇදහිල්ල රැකගන්න කරන මේ සටනේ අප යෙදෙන්නේ තනියම නොවේ කියාය.
පැයක්වත් ගතවීමට පෙර ජර්මනියේ හොම්බර්ග්වල රෝහලක් හා වෛද්‍යවරයෙකු සොයාගත හැකි විය. පසු දිනම අපේ පුංචි දුවව පරීක්ෂා කිරීම සඳහා කටයුතු සූදානම් කරගත් අපි ඒ සඳහා පිටත් වුණෙමු. අප හොම්බර්ග්වලට පැමිණෙද්දී එම පළාතේ සිටි යෙහෝවාගේ සාක්ෂිකාර ක්‍රිස්තියානි සහෝදරයන් හා අපේ කිට්ටු නෑයන්ද අපව මුණගැසීමට පැමිණ සිටියේය. ඒ විතරක් නොවෙයි, එහි පැමිණ සිටි රෝහල් සබඳතා කමිටුවේ සාමාජිකයෙක්ද අපව ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය. ඔහු අපත් සමඟ රෝහලටද පැමිණි අතර අපට උපරිමයෙන් සහයෝගය දුන්නේය. විදේශ රටකදී පවා අපිට උදව් කරන්න අපේ ආත්මික සහෝදරයන් සිටීම මොනතරම් සැනසිල්ලක්ද!
අපට රෝහලේදී වෛද්‍ය ග්‍රාෆ් හමු විය. විකිට රුධිරය රහිතව සෑම ප්‍රතිකාරයක්ම කරන්නම් කියා ඔහු අපට සහතික විය. ඔහු අපේ තත්වය තේරුම්ගැනීමට හැකියාවක් තිබූ යහපත් පුද්ගලයෙකු වූ නිසා එය අපට අස්වැසිල්ලක් වුණි. විකිගේ ලේවල හිමොග්ලොබින් ප්‍රමාණය 5 g/dl දක්වා පහත බැස ගියත්, රුධිර පාරවිලයනයක් රහිතව ප්‍රතිකාර කිරීම තමන් දිගටම කරගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය. කලින්ම රෝග නිර්ණය කිරීමට හැකි වූ නිසාත් ඉක්මනින්ම ප්‍රතිකාර කිරීමට පටන්ගත් නිසාත්, විකිට කරන ප්‍රතිකාරය සාර්ථක වීමට ඉඩ තිබෙන බව ඔහු පැවසීය. රුධිරය රහිතව ඖෂධීය ප්‍රතිකාර ලබා දෙන පළමු වතාව මෙය බවත් ඔහු පවසා සිටියේය. වෛද්‍ය ග්රාෆ්ගේ ධෛර්යය හා අධිෂ්ඨානය අප අවංකවම අගය කරන අතර, ඔහුට හද පත්ලෙන්ම ස්තුති කරන්නද කැමතියි.
මුදල් ප්‍රශ්න මතු වේ
විකිගේ ප්‍රතිකාරවලට යන මුදල් ගෙවන්නේ කෙසේද යන්න ඊළඟට අපට මතු වූ ප්රශ්නය විය. අවුරුදු දෙකක් පුරා කරන ප්‍රතිකාරවලට කොපමණ වියදමක් දරන්න සිදු වේද කියා අපි විමසා බැලුවෙමු. ඩොයිෂ් මාක් 1,50,000ක්යයි පැවසූ විට අපි මොහොතක් ගල් ගැසී බලා සිටියෙමු. අඩුම තරමේ එම මුදලින් කොටසක්වත් අප ළඟ තිබුණේ නැත. ඒ මදිවට, විකිට ප්‍රතිකාර කිරීම ඉතා ඉක්මනින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව තිබිණ. ප්‍රතිකාර කිරීම සඳහා ස්වීඩනයෙන් පිටත්ව ජර්මනියට පැමිණීමට සිදු වූ නිසා, අපට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් තිබුණෙත් නැත. මේ නිසා ලෙඩ දරුවා අප ළඟ සිටියත්, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඔවුන් සූදානමින් සිටියත්, අවශ්‍ය මුදල් ප්‍රමාණය අප ළඟ තිබුණේ නැත.
අපට රෝහලෙන් සහනයක් සැපයීය. මුලින්ම ඩොයිෂ් මාක් 20,000ක් ගෙවා ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව පිට අත්සන් කර ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලෙස ඔවුහු කියා සිටියහ. අප ඉතිරි කරගත් මුදලත් නෑදෑ හිතවතුන්ගේ උපකාරයත් ඇතිව ඩොයිෂ් මාක් 20,000ක් කෙසේ හෝ ගෙවාගත හැකි විය. එහෙත් ඉතිරි මුදල කෙසේ ගෙවන්ටද?
ඇදහිල්ල සඳහා ගෙන යන මේ සටන අප කරන්නේ තනිවම නොවෙයි යන කරුණ අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙන්ට විය. අපව හරි හැටි නොදන්න ආත්මික සහෝදරයෙකු ඉතිරි මුදල ගෙවීමේ වගකීම භාරගැනීමට ඉදිරිපත් විය. නමුත් එම මුදල ගෙවීමට වෙනත් සැලැස්මක් යොදාගැනීමට අපට හැකි වුණ නිසා, ඔහු කාරුණිකව ඉදිරිපත් කිරීමට සූදානම් වූ මුදල ලබාගැනීම සඳහා අවශ්‍යතාවක් ඉස්මතු වූයේ නැත.
විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර
ඖෂධීය ප්‍රතිකාරය පටන්ගෙන දවස් සති ගෙවී ගියේය. සමහර දිනයන්හිදී අපටත් දුවටත් නොයෙකුත් අපහසුතා මෙන්ම වෙහෙසකර අවස්ථාවන් අද්දකින්න සිදු විය. එහෙත් සුවවීමේ ලකුණු පෙනෙන හැම මොහොතකම අප මහත් සේ සතුටු වූ අතර, අපේ හදවත්වලට ඉමහත් සහනයක් දැනිණ. මාස අටක් වන විට ඖෂධීය ප්‍රතිකාරය අවසාන විය. විකිගේ හිමොග්ලොබින් මට්ටම 6 g/dl දක්වා පහත වැටුණු අවස්ථාවෙත් වෛද්‍ය ග්‍රාෆ් තමන් දුන් පොරොන්දුව ඉටු කළේය.
දැන් අවුරුදු හයක් ගෙවී හමාරයි. අපේ දුවගේ සුෂුම්නා තරලය අන්තිමට පරීක්ෂා කළ විට ලියුකේමියා සෛල අංශුමාත්‍රයක්වත් දකින්ට ලැබුණේ නැත. දුව තුළ රෝගිබවක් පෙනෙන්ට නොතිබෙන අතර, ඇය දැන් කාලය ගත කරන්නේ හරිම සන්තෝෂයෙනි. දුවට හොඳටම සුව වී තිබෙන නිසා කුමක් හෝ ආශ්චර්යයක් සිදු වෙලාද කියා ඇත්තටම අපට සිතේ. මේ රෝගයෙන් පෙළෙන ළමයින් බොහෝදෙනෙකු රුධිර පාරවිලයන සමඟින් ඖෂධීය ප්‍රතිකාර ගැනීමෙන් පසුව පවා මිය යන බව ඇත්තෙන්ම රහසක් නොවේ.
ඇදහිල්ල සඳහා කළ සටනින් ජයගැනීමට අපට හැකි වූයේ, නෑදෑ හිතවතුන්ගේ, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උදව් උපකාර ඇතුවයි. තවද දවසේ පැය 24 පුරාම රෝහල් තොරතුරු සේවා කමිටුව අපට උපකාරය ලබා දුන්නේය. වෛද්‍ය ග්‍රාෆ් ඇතුළු වෛද්‍ය කණ්ඩායම විකිව ගොඩගන්න තමන්ගේ හැකියාවන් උපරිමයෙන් පාවිච්චි කළහ. මේ සියලුදෙනාටම අවංකවම අපි හද පත්ලෙන් නැඟෙන ස්තුතිය පුද කරන්නෙමු.
අපේ ඇදහිල්ල ශක්තිමත් විය
කෙසේවෙතත්, ස්තුතිය වැඩියෙන් යා යුත්තේ අපගේ දෙවි යෙහෝවා වෙතටයි. ඔහුගේ ප්‍රේමනීය සැලකිල්ලට සහ ඔහුගේ වචනය වන බයිබලය තුළින් ලැබූ ප්‍රේමනීය රැකවරණයට ස්තුති කිරීම සඳහා වචන නොමැති තරම්ය. අප ලැබූ මේ දුක්මුසු අද්දැකීමෙන් බොහෝ දේවල් ඉගෙනගැනීමට හැකි වූ අතර, අපේ ඇදහිල්ලත් ශක්තිමත් වූ බව පසු ගිය කාලය දෙස හැරී බලද්දී අපට අවබෝධ වී ඇත.
දැන් ඉතින් අපේ හෘදයාංගම ආශාව වී තිබෙන්නේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගැනීමත් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමේ ඇති වටිනාකම දුවට ඉගැන්වීමත්ය. අපට දැන් අවශ්‍ය වී ඇත්තේ දුවට ආත්මික උරුමයක් දායාද කර දීමටය. එය නම් පැමිණෙන පාරාදීසමය පොළොවේ සදාතනික ජීවිතය නමැති බලාපොරොත්තුවයි.—සපයන ලද්දකි.
[පාදසටහන]
a රෝහල් තොරතුරු සේවා කමිටුව ලොව පුරා පවතින සියලුම රෝහල් සබඳතා කමිටු අධීක්ෂණය කරයි. මෙම රෝහල් සබඳතා කමිටු, සාක්ෂිකාර රෝගීන් හා වෛද්‍යවරුන් අතර සහයෝගීතාවක් ඇති කිරීමට කටයුතු කරන පුහුණුවක් ලැබ ඇති ක්‍රිස්තියානි ස්වේච්ඡා සේවකයන්ගෙන් සෑදී ඇත. රටවල් 200කට වඩා වැඩි ගණනක, රෝගීන්ට උපකාර සපයන මෙවන් කමිටු 1,400කට වඩා ක්‍රියාත්මක වේ.