ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීම
‘පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, යෙහෝවාගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති දැඩි කරන්න.’—එපීස 6:4.
1. පවුල සම්බන්ධයෙන් දෙවිට තිබුණේ කුමන අරමුණද? ඒ වෙනුවට සිදු වූ දේ විස්තර කරන්න.
“නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න.” (උත්පත්ති 1:28) ආදම් සහ ඒවට පැවසූ එම වදන් සමඟින් යෙහෝවා දෙවි පවුල් ඒකකය ආරම්භ කළේය. (එපීස 3:14, 15) ඒ මුල් යුවළට තිබූ අපේක්ෂාවන් මොනවාද? ඔවුන්ගෙන් ජනිත වන මිනිස් සංහතියෙන් පිරුණු ලොවක් දැකගැනීමත්, පාරාදීස පොළොවේ ප්‍රීතියෙන් ජීවත් වීමත්, තම උත්තරීතර මැවුම්කරුට එක්සත්ව නමස්කාර කරන පරිපූර්ණ පුද්ගලයන්ගෙන් සෑදුණු සර්වලෝක පවුලක් බිහි කිරීමත් ඒ අතර විය. එනමුත් ආදම් සහ ඒව පාපයට ඇද වැටුණෝය. පොළොව දේවභයැති මනුෂ්‍යයන්ගෙන් පිරවීමේ බලාපොරොත්තුව සුන් වී ගියේය. (රෝම 5:12) එතැන් පටන් පවුල නමැති සංස්ථාව කෙමෙන් කෙමෙන් පිරිහී, වෛරයෙන් හා ප්‍රචණ්ඩකාරිත්වයෙන් පිරුණු, ජන්ම ස්නේහයෙන් තොර වාතාවරණයක් ගොඩනැඟුණු අතර, මේ “අන්තිම දවස්වල” එම තත්වයන් විශේෂයෙන්ම උග්‍ර වී ඇත.—2 තිමෝති 3:1-5; උත්පත්ති 4:8, 23; 6:5, 11, 12.
2. ආදම්ගේ ජනිතයන්ට තිබුණේ කවර හැකියාවන්ද? එනමුත්, ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීමට අවශ්‍ය වනු ඇත්තේ කුමක්ද?
2 ආදම්ව සහ ඒවව මවනු ලැබුවේ දෙවිගේ ස්වරූපයෙනි. ආදම් පව් කළත්, දරුවන් බිහි කිරීමේ ප්‍රස්තාව යෙහෝවා ඔහුට ලබා දුන්නේය. (උත්පත්ති 1:27; 5:1-4) ආදම්ට මෙන් ඔහුගේ දරුවන්ටත්, සදාචාර ප්‍රමිති වටහාගැනීමේ මෙන්ම යහපත හා අයහපත අතර වෙනස තේරුම්ගැනීමේ හැකියාව තිබිණ. තම මැවුම්කරුට නමස්කාර කළ යුතු අන්දම ගැනත්, මුළු හෘදයෙන්, ආත්මයෙන්, මනසින් සහ ශක්තියෙන් ඔහුට ප්‍රේම කිරීමේ වැදගත්කම ගැනත් ඉගෙනගැනීමේ හැකියාවද ඔවුන්ට තිබිණ. (මාර්ක් 12:30; යොහන් 4:24; යාකොබ් 1:27) මීට අමතරව, ‘යුක්තිය ඉෂ්ට කරන ආකාරය, කරුණාව පෙන්වීමට නැඹුරු වන ආකාරය හා දෙවි වෙත යටහත් ලෙස හැසිරෙන ආකාරය’ සම්බන්ධයෙන් පුහුණුවක් ලැබීමටද ඔවුන්ට හැකිකම තිබුණේය. (මීකා 6:8) කෙසේවෙතත්, ඔවුන් පව්කාරයන් වූ නිසා ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීම කෙරෙහි සෑහෙන අවධානයක් දිය යුතුව තිබිණ.
කාලය කෙසේ හෝ සොයාගන්න
3. ක්‍රිස්තියානි දරුවන්ව ඇති දැඩි කිරීමට දෙමාපියන් ‘කාලය කෙසේ හෝ සොයාගන්නේ’ කෙසේද?
3 අප ජීවත් වන මෙම සංකීර්ණ, අන්තරා සහිත කාලවල ‘යෙහෝවාට ප්‍රේම කරන’ හා සැබවින්ම ‘නපුරට වෛර කරන’ දරුවන් ඇති දැඩි කිරීමට නම්, සෑහෙන වෑයමක් දැරිය යුතු වේ. (ගීතාවලිය 97:10) මෙම අභියෝගාත්මක පැවරුම ඉටු කිරීමේදී, ඥානවන්තව ක්‍රියා කරන දෙමාපියෝ ඒ සඳහා ‘කාලය කෙසේ හෝ සොයාගනිති.’ (එපීස 5:15-17, NW) දෙමාපියෙකු වශයෙන් ඔබට, මෙය කළ හැක්කේ කෙසේද? මුලින්ම, ප්‍රමුඛතා නියම කරගත යුතුය. එනම්, “වැදගත්කමින් වැඩි දේවල්” කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මෙයට ඔබේ දරුවන්ට ඉගැන්වීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම ඇතුළත්ය. (පිලිප්පි 1:10, 11, NW) දෙවනුව, ඔබ ගත කරන ජීවිතය හැකි තරම් සරල කරගන්න. ඇත්තෙන්ම අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් පසෙක දැමීමට ඔබට සිදු විය හැක. එසේ නැතහොත්, නඩත්තුව සඳහා සෑහෙන කාලයක් කා දමන ඇතැම් දේවල් විකුණා දැමීමටද සිදු විය හැක. ක්‍රිස්තියානි දෙමාපියෙකු වශයෙන් දේවභයැති දරුවන් ඇති දැඩි කිරීමට ඔබ මෙලෙස දරන ප්රයත්නය ගැන ඔබ කිසිදාක පසුතැවෙන්නේ නැති බවට සැකයක් නැත.
4. පවුලක සමඟිය පවත්වාගත හැක්කේ කෙසේද?
4 ඔබේ දරුවන් සමඟ කාලය ගත කිරීම, විශේෂයෙන් ආත්මික කටයුතුවලදී එකට කාලය ගත කිරීම ප්‍රයෝජනදායකය. මන්ද පවුල තුළ සමඟිය පවත්වාගැනීමට එය හොඳ මඟක් වන නිසාය. එකට කාලය ගත කිරීම සඳහා සැලැස්මක් අවශ්‍යයි. ඒ සඳහා කාලසටහනක් පිළියෙළ කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකි වේ. අප මින් අදහස් කරන්නේ, එකම නිවසේ, තනි තනියම තමන්ගේ වැඩ කරගැනීම නොවේ. දරුවන්ට තම දෙමාපියන්ගේ පෞද්ගලික අවධානය අවශ්‍යයි. ඔවුන් මල් මෙන් විකසිත වන්නේ එවිට පමණි. ඔවුන් සඳහා ඔබේ ප්‍රේමය සහ සැලකිල්ල නොමදව පෙන්වන්න. දෙමාපියන්ගෙන් ඉටු විය යුතු මෙම කාර්යය මෙතරම්ම වැදගත් නිසා, දරුවන් බිහි කිරීමට තීරණය කරන්න පෙර පවා, ඒ වගකීම ගැන ගැඹුරින් මෙනෙහි කර බැලීම වැදගත් වේ. (ලූක් 14:28) එවිට දරුවන් ඇති දැඩි කිරීම වෙහෙසට පත් කරවන රාජකාරියක් හැටියට ඔවුන් සලකන්නේ නැත. එය ඔවුන් සලකන්නේ යෙහෝවාගෙන් ලද අනගි වරප්‍රසාදයක් ලෙසයි.—උත්පත්ති 33:5; ගීතාවලිය 127:3.
අවවාදයෙන් සහ ආදර්ශයෙන් ඔබේ දරුවන්ට උගන්වන්න
5. (අ) යෙහෝවාට ප්‍රේම කරන්න දරුවන්ට උගන්වන්න නම්, මුලින්ම සිදු විය යුත්තේ කුමක්ද? (ආ) ද්විතීය කථාව 6:5-7හි දෙමාපියන්ට දී ඇති උපදෙස් මොනවාද?
5 යෙහෝවාට ප්‍රේම කරන්න ඔබේ දරුවන්ට උගන්වන්න නම්, මුලින්ම ඔබට යෙහෝවා සඳහා ගැඹුරු ප්‍රේමයක් තිබිය යුතුයි. දෙවි සඳහා ගැඹුරු ප්‍රේමයක් තිබෙන විට, ඔහු දෙන මඟ පෙන්වීම් විශ්වාසවන්තව අනුගමනය කිරීමට එය ඔබ තුළ පෙලඹීමක් ඇති කරවයි. ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද දරුවන්ව ඇති දැඩි කිරීම’ එවන් එක් මඟ පෙන්වීමකි. (එපීස 6:4) දෙමාපියන් තම දරුවන් සඳහා හොඳ ආදර්ශයක් තැබිය යුතු බවටත්, ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත යුතු බවටත්, ඔවුන්ට ඉගැන්විය යුතු බවටත් දේවවචනය දෙමාපියන්ට උපදෙස් දෙයි. මේ සම්බන්ධයෙන් ද්විතීය කථාව 6:5-7හි මෙසේ පැවසේ. ‘නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. මා විසින් අද නුඹට අණ කරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මඟ යන කලද නුඹ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.’ දෙවිගේ ආඥා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් ඉගැන්විය හැක්කේ නිතර නිතර අවවාද කිරීමෙන් සහ නැවත නැවත මතක් කර දීමෙනි. මෙසේ කිරීමෙන්, යෙහෝවා සඳහා ඔබට මොනතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා ඔබේ දරුවන්ට දැනෙනවා ඇත. ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සමඟ කිට්ටු සම්බන්ධයක් ගොඩනංවාගැනීමට ඔවුන් පෙලඹෙනවා නිසැකය.—හිතෝපදේශ 20:7.
6. දරුවන්ට ඉගැන්වීමේදී අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන කාරණය දෙමාපියන්ට සිතට ගත හැක්කේ කෙසේද?
6 දරුවන් ඉගෙනගැනීමට දක්වන්නේ මහත් කැමැත්තකි. සවන් දීමෙන් සහ නිරීක්ෂණයෙන් විගස දේවල් උරාගන්නා ඔවුහු, ඔබගේ ආදර්ශය අනුකරණය කිරීමට නැඹුරු වෙති. ඔබට ද්‍රව්‍යවාදී ඉලක්ක නැති බව ඔවුන්ට පෙනෙනවා නම්, යේසුස්ගේ උපදෙස් අනුගමනය කිරීම සඳහා එය ඔවුන්ට ප්‍රබල රුකුලක් වේ. එලෙස, ද්‍රව්‍යමය දේවල් ගැන කනස්සලු නොවී, ‘දෙවිගේ රාජ්‍යය පළමු කොට සොයන්න’ යන කාරණය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇත. (මතෙව් 6:25-33) යෙහෝවාට ගෞරවය කිරීමටත්, ඔහු සපයන ආත්මික දේවල් සඳහා අගයක් දැක්වීමටත් ඔබේ දරුවන්ට ඉගැන්විය හැක්කේ බයිබලයේ තිබෙන සත්‍යයන්, දෙවිගේ සභාව සහ පත් කරන ලද වැඩිමහල්ලන් ගැන වර්ධනය ගෙන දෙන, හිතකර අදහස් ඔවුන් සමඟ බෙදාගැනීමෙනි. කියන දේ සහ කරන දේ අතර ඇති වෙනස දැකීමට දරුවන් ඉතා දක්ෂ නිසා, ඔබේ දරුවන්ට වාචිකව අවවාද කිරීම පමණක් මදිය. ඔබේ හැසිරීමෙන් සහ ආකල්පයෙන් ඔබට ආත්මික දේවල් සඳහා ගැඹුරු අගයක් තිබෙන බව පිළිබිඹු කළ යුතුය. දෙමාපියන්ගේම යහපත් ආදර්ශය යෙහෝවා සඳහා හෘද පූර්ණ ප්‍රේමයක් තම දරුවන් තුළ ඇති කර තිබෙන බව දකිද්දී එය මොනතරම් ප්‍රීතියක් වේවිද!—හිතෝපදේශ 23:24, 25.
7, 8. කුඩා කල සිටම දරුවන්ට පුහුණුවක් දීමේ වැදගත්කම කුමන ආදර්ශයෙන් කැපීපෙනේද? තවද සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නා විට, ස්තුතිවන්ත විය යුත්තේ කාටද?
7 කුඩා කල සිටම දරුවන්ව පුහුණු කිරීමේ වැදගත්කම වෙනිසුවෙලාවෙන් ලැබූ අද්දැකීමකින් පෙනී යයි. (2 තිමෝති 3:15) එහි ෆෙලික්ස් සහ මියර්ලින් නමැති තරුණ විවාහක යුවළක් සිටියි. ඔවුහු පුරෝගාමී සේවයෙහි නිරත වෙති. ෆෙලිටෝ නම් ඔවුන්ගේ පුතා ඉපදුණු විට, යෙහෝවාගේ සැබෑ නමස්කාරකයෙකු වශයෙන් ඔහුව ඇති දැඩි කිරීම සඳහා හැකි උපරිමය කිරීමට ඔවුහු අධිෂ්ඨාන කරගත්තෝය. මියර්ලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොතක් වන මගේ බයිබල් කතන්දර පොත ෆෙලිටෝට ඇසෙන පරිදි ශබ්ද නඟා කියවන්න පටන්ගත්තාය. ඉතා ළාබාල වියේදී පවා, එම පොතේ පින්තූරවල සිටි මෝසෙස් වැනි පුද්ගලයන්ව හඳුනාගැනීමේ හැකියාවක් ෆෙලිටෝට තිබුණු බව පෙනී ගියේය.
8 ෆෙලිටෝ ඉතා කුඩා කාලයේදීම තනියෙන් සාක්ෂි දැරීමට පටන්ගත්තේය. ඔහු රාජ්‍ය ප්‍රචාරකයෙකු වීමට වූ තම ඉලක්කය අත් කරගත් අතර, ඉන් වැඩි කලක් යෑමට මත්තෙන් බව්තීස්ම වූයේය. කල් යත්ම ඔහුව ස්ථාවර පුරෝගාමියෙකු ලෙස පත් කරන ලදි. ඔහුගේ දෙමාපියෝ මෙසේ පවසති. “පුතා ලබා තියෙන දියුණුව වෙනුවෙන් අපි යෙහෝවාටත් ඔහු දුන් උපදෙස්වලටත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ.”
ඔබේ දරුවන්ගේ ආත්මික වර්ධනයට දායක වන්න
9. අප විශ්වාස වූ නුවණ ඇති දාසයා සපයන ආත්මික උපදෙස්වලින් ප්‍රයෝජන ගත යුත්තේ මන්ද?
9 දරුවන් ඇති දැඩි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් සපයන සඟරා පොත් පත් සිය ගණනක්ද, අන්තර් ජාලයේ වෙබ් අඩවි දහස් ගණනක්ද ඇත. නියූස්වීක් සඟරාවේ දරුවන් සම්බන්ධයෙන් පළ වූ විශේෂ ලිපියක මෙසේ පවසා තිබිණ. “බොහෝ අය ලබා දෙන උපදෙස් එකිනෙකට පටහැනිය. සමහරවිට විශ්වාස කළ හැකියයි සිතන තොරතුරුවලින් කෙනෙකුව සහමුලින්ම නොමඟ යවන බවක් පෙනේ. එවිට කෙනෙකු කොතරම් අසරණ වනවාද කියා සිතාගත හැකිය.” එසේ නම්, අපගේ පවුල්වල ආත්මික උන්නතිය තකා උපදෙස් සම්භාරයක් යෙහෝවා විසින් සපයනු ලැබීම ගැන අපට කොතරම් ස්තුතිවන්ත විය හැකිද! විශ්වාස වූ නුවණ ඇති දාසයා තුළින් සපයනු ලබන මේ උපදෙස්වලින් ඔබ උපරිම ප්‍රයෝජන ලබාගන්නවාද?—මතෙව් 24:45-47.
10. සාර්ථකව කෙරීගෙන යන පවුලේ බයිබල් පාඩමක්, දෙමාපියන් සහ දරුවන් යන දෙපිරිසටම ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
10 ඉතා වැදගත් අවශ්‍යතාවක් වන්නේ, සියලුදෙනාටම පහසුබවක් දැනෙන වාතාවරණයක නිතිපතා පවුලේ බයිබල් පාඩම පැවැත්වීමයි. පාඩම තුළින් හොඳ උපදෙස් සැපයීමටත්, සියලුදෙනාටම ඉන් ආස්වාදයක් සහ දිරිගැන්වීමක් ලබා දීමටත් හොඳ සූදානමක් අවශ්‍ය වේ. තම දරුවන්ගෙන් අදහස් විමසන ප්‍රශ්න ඇසීමෙන් ඔවුන්ගේ මනස් සහ හදවත්වල ඇති දේවල් දැනගැනීමට දෙමාපියන්ට පුළුවන. පවුලේ පාඩම සාර්ථකව කෙරීගෙන යනවාද නැද්ද යන්න දැනගත හැක්කේ, පවුලේ සාමාජිකයන් සියල්ලන්ම එය පවත්වන වේලාව එළඹෙන තුරු පුල පුලා බලා සිටිනවාද යන කාරණයෙනි.
11. (අ) දෙමාපියන්ට තම දරුවන්ට උපකාර කළ හැක්කේ කවර ඉලක්කයන් තබාගැනීමටද? (ආ) එක්තරා ජපන් ජාතික සිසුවියක් තම ඉලක්කය අත් කරගැනීමට වෙර දැරීමෙන් ලැබූ ප්‍රතිඵල මොනවාද?
11 ආත්මික වශයෙන් ශක්තිමත් පවුලක් ගොඩනැඟීමට දායක වන තවත් දෙයක් නම් ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ ඉලක්ක තබාගැනීමය. මෙවන් ඉලක්ක තබාගැනීමට දෙමාපියන් තම දරුවන්ට උපකාර කළ යුතුය. දිනපතා බයිබලය කියවීම, නිතිපතා ශුභාරංචිය ප්‍රකාශ කරන ප්‍රචාරකයෙකු වීම, කැප වී බව්තීස්මය කරා දියුණු වීම යනාදි ඉලක්කයන්ද ඔබේ දරුවන්ට ලුහුබැඳිය හැකිය. පුරෝගාමියෙකු හෝ බෙතෙල් සේවකයෙකු හෝ මිෂනාරිවරයෙකු වශයෙන් පූර්ණ-කාලීන සේවයෙහි නිරත වීම තවත් ඉලක්කයක් විය හැක. ප්‍රාථමික පාසැලේ සිසුවියක් වූ ජපන් ජාතික අයූමිගේ ඉලක්කය වූයේ තම පංතියේ සෑම කෙනෙකුටම සාක්ෂි දැරීමයි. ඇගේ ගුරුවරිය සහ සෙසු සිසුවියන් තුළ උනන්දුවක් ජනිත කරවීමේ අදහසින්, පාසැල් පුස්තකාලයේ බයිබලය මත පදනම් ප්‍රකාශන කිහිපයක් තැබීමට ඇය අවසර ලබාගත්තාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇය ප්‍රාථමික පාසැලේ සිටි වසර හය තුළ බයිබල් පාඩම් 13ක් කිරීමට සැලසුම් යොදන ලදි. එසේ පාඩම් කළ එක්කෙනෙකු සහ එම බයිබල් ශිෂ්‍යයාගේ පවුලේ කිහිපදෙනෙකු බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් බවට පත් විය.
12. දරුවන්ට ක්‍රිස්තියානි රැස්වීම්වලින් මහත් ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?
12 අපගේ ආත්මික සෞඛ්‍ය තත්වය හොඳ මට්ටමක තබාගැනීම සඳහා නිතිපතා රැස්වීම්වලට යෑමද අවශ්‍යය. ‘සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම් අත්නාරින’ ලෙස ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට අවවාද කළේය. බාල මහලු දෙපිරිසම නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් ඉමහත් ප්‍රයෝජන නෙළාගන්නා නිසා, රැස්වීම් අත්හැරීම අපගේ පුරුද්ද කර නොගනිමු. (හෙබ්‍රෙව් 10:24, 25; ද්විතීය කථාව 31:12, 13) හොඳින් සවන් දීමටද දරුවන්ට ඉගැන්විය යුතුය. රැස්වීම්වලදී අදහස් දක්වා ඒවාට උනන්දුවෙන් සහභාගි වීම තුළින් වැඩියෙන් ප්‍රයෝජන නෙළාගත හැකි නිසා, ඒවා සඳහා සූදානම් වීම අත්‍යවශ්‍යය. මුලදී කුඩා දරුවෙකු වචනයක් දෙකක් කීමෙන්, නැතහොත් ඡේදයේ කොටසක් කියවීමෙන් උත්තරයක් දිය හැක. කල් යත්ම, දරුවාටම උත්තරය සොයාගෙන තමාගේම වචනවලින් අදහස් දැක්වීමට පුහුණු කිරීම ප්‍රයෝජනදායකය. නිතිපතා අර්ථවත් අදහස් ඉදිරිපත් කිරීමෙන් දෙමාපියන් වශයෙන් ඔබ හොඳ ආදර්ශයක් තබනවාද? එමෙන්ම, පවුලේ සෑම සාමාජිකයෙකුටම බයිබලයක්, ගීතිකා පොතක් හා සාකච්ඡාව සඳහා භාවිත කරන ප්රකාශනයෙහි පිටපතක් තිබීම යෝග්‍යය.
13, 14. (අ) දෙමාපියන් තම දරුවන් සමඟ සේවයෙහි එකට වැඩ කළ යුත්තේ මන්ද? (ආ) ක්ෂේත්‍ර සේවයෙන් ප්‍රීතිය සහ ප්‍රයෝජන ලබාගැනීමට දරුවන්ට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?
13 ඥානවන්ත දෙමාපියෝ තම දරුවන්ගේ තුරුණු ශක්තිය යෙහෝවාගේ සේවය සඳහා යොමු කරති. එසේ කරන්නේ දේශනා කිරීම තම ජීවිතයේ වැදගත් අංගයක් කරගැනීමට ඔවුන්ට උපකාර සැපයීමෙනි. (හෙබ්‍රෙව් 13:15) ‘සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ, ලජ්ජා වෙන්ට ඕනෑ නැත්තාවූ’ දේවසේවකයෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය කරන පුහුණුව දරුවන්ට ලබා දිය හැක්කේ ඔවුන් සමඟ දෙමාපියන් සේවයෙහි හවුල් වීමෙන් පමණි. (2 තිමෝති 2:15) ඔබ එසේ කරමින් සිටිනවාද? එමෙන්ම ඔබේ දරුවන්ට ක්ෂේත්‍ර සේවයේ යෙදීම සඳහා සූදානම් වීමට ඔබ උපකාර කරනවාද? ඔබ එසේ කරනවා නම්, ඔවුන් සේවයෙන් තෘප්තිය, ප්‍රීතිය සහ යහපත් ප්‍රතිඵල ලබනවාට සැකයක් නැත.
14 දෙමාපියන් තම දරුවන් සමඟ සේවයෙහි එකට වැඩ කිරීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද? දරුවන්ට තම දෙමාපියන්ගේ හොඳ ආදර්ශය දැක අනුකරණය කළ හැකි නිසාය. ඒත් සමඟම, තම දරුවන්ගේ ආකල්පය, හැසිරීම සහ හැකියාවන් නිරීක්ෂණය කිරීමට දෙමාපියන්ට පුළුවන. ඔබේ දරුවා සමඟ සේවයෙහි විවිධ පැතිවල හවුල් වීමටද වගබලා ගන්න. හැකි නම්, ඔබේ දරුවන්ට තමාටම කියා සේවයේ ගෙන යා හැකි බෑගයක් ලබා දෙන්න. එමෙන්ම, එය පිළිවෙළකට සහ පිරිසිදුව තබාගැනීමට ඔවුන්ට උගන්වන්න. ඔබේ දරුවන්ට නිරන්තර පුහුණුවක් සහ දිරිගැන්වීමක් ලබා දීමෙන් දේවසේවය සඳහා සැබෑ අගයක් ගොඩනැංවීමට හැකිය. එවිට දේශනා සේවය දෙවි සහ අසල්වාසියා සඳහා තම ප්‍රේමය පෙන්වීමට මඟක් ලෙස සැලකීමට දරුවන් නැඹුරු වනවා ඇත.—මතෙව් 22:37-39; 28:19, 20.
ආත්මිකත්වය රැකගන්න
15. පවුලක ආත්මිකත්වය පවත්වාගැනීම ඉතා වැදගත් වන හෙයින්, මෙය කළ හැකි ක්‍රම කිහිපයක් සඳහන් කරන්න.
15 පවුලේ ආත්මිකත්වය රැකගැනීම අත්‍යවශ්‍යය. (ගීතාවලිය 119:93) මෙය කළ හැකි එක මාර්ගයක් නම්, හැකි සෑම අවස්ථාවකදීම ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ ආත්මික කාරණා ගැන සාකච්ඡා කිරීමයි. ඔබ ඔවුන් සමඟ දිනපදය සාකච්ඡා කරනවාද? ඔබ ක්ෂේත්රයෙහි ලැබූ අද්දැකීම් ඔවුන් සමඟ බෙදාගැනීමට පුරුදු වී සිටිනවාද? එසේ නැතහොත් ‘ඔබ මඟ යන කල’ අලුත්ම මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තොරතුරු සාකච්ඡා කරනවාද? ‘ඔබ නින්දට යන කල හා නැඟිටින කල’ කරන යාච්ඤාවලදී සෑම දිනයක් වෙනුවෙන් හා ඔබ ලබා ඇති බහුල ආශීර්වාද වෙනුවෙන් යෙහෝවාට ස්තුති කරන්න ඔබට මතක් වෙනවාද? (ද්විතීය කථාව 6:6-9) ඔබ කරන සෑම දෙයකදීම දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය දැකගැනීමට ඔබේ දරුවන්ට හැකි වන විට, සත්‍යය තමාගේම දෙයක් කරගැනීමට මෙය ඔවුන්ට ඉවහල් වනු නියතය.
16. පෞද්ගලිකව ගවේෂණය කිරීමට දරුවන්ට දිරිගැන්වීමෙහි තිබෙන ප්‍රයෝජනය කුමක්ද?
16 ඇතැම් අවස්ථාවලදී, පැනනඟින ගැටලු හෝ තත්වයන් හේතුවෙන් දරුවන්ට නිසි මඟ පෙන්වීමක් අවශ්‍ය වේ. ඔවුන් කළ යුත්තේ කුමක්ද කියා පවසනවා වෙනුවට, පෞද්ගලිකව යම් ගවේෂණයක් කර කාරණය සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය දැනගත හැකි ආකාරය ඔවුන්ට පෙන්වා දීම වඩාත් සුදුසු නොවේද? ‘විශ්වාසවන්ත දාසයා’ තුළින් සපයා ඇති සියලුම මෙවලම් සහ ප්‍රකාශන හොඳින් භාවිත කළ හැකි ආකාරය ඔබේ දරුවන්ට ඉගැන්වීම, ඔවුන්ට යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධයක් වර්ධනය කරගැනීමට උපකාරවත් වෙයි. (1 සාමුවෙල් 2:21ආ) ඔවුන් සොයාගත් දේ පවුලේ අනිකුත් සාමාජිකයන් සමඟ බෙදාගනිද්දී, පවුලේ ආත්මික තත්වය තවත් වර්ධනය වනවාට සැකයක් නැත.
යෙහෝවා මත මුළුමනින්ම රඳා සිටින්න
17. ක්‍රිස්තියානීන් වශයෙන් දරුවන්ව ඇති දැඩි කිරීමේදී තනි දෙමාපියන් අධෛර්යයට පත් නොවිය යුත්තේ මන්ද?
17 තනි-මාපිය පවුල් ගැන කුමක් කිව හැකිද? දරුවන් ඇති දැඩි කිරීමේදී මොවුන්ට අමතර අභියෝගයන්වලට මුහුණ දීමට සිදු වේ. කෙසේවෙතත්, අධෛර්යය වීමට හේතුවක් නැත. ඔබ තනි දෙමාපියෙකු නම්, ඔබටත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැක. තනි දෙමාපියන් බොහෝදෙනෙකු දෙවි කෙරෙහි විශ්වාසය තබමින් හා ඔහුගේ උපදෙස් කීකරුව ක්‍රියාත්මක කරමින්, ආත්මික වශයෙන් ඉතා ශක්තිමත් යෞවනයන්ව ඇති දැඩි කර තිබේ. (හිතෝපදේශ 22:6) ක්‍රිස්තියානි තනි දෙමාපියන් යෙහෝවා මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය යුතුය. ඔහු උපකාරය සපයන දෙවි කෙනෙකු බවට වූ නිසැකකම ඇතුව සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.—ගීතාවලිය 121:1-3.
18. දෙමාපියන් තම දරුවන්ගේ කවර මානසික සහ ශාරීරික අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අවධානය දිය යුතුද? කෙසේවෙතත් මුල් තැන දිය යුත්තේ කුමකටද?
18 ‘සිනාසෙන්ට කාලයක් සහ නටන්ට කාලයක්’ ඇති බව ඥානවන්තව ක්‍රියා කරන දෙමාපියෝ වටහාගනිති. (දේශනාකාරයා 3:1, 4) දරුවෙකුගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට විවේකය හා සමබර ලෙස විනෝද වීමද අත්‍යවශ්‍යය. දරුවෙකුට යෙහෝවා සමඟ ශක්තිමත් සම්බන්ධයක් වර්ධනය කරගැනීමට රුකුල් දෙන ඒකාන්ත ආකල්පයක් ඇති කිරීමට විශේෂයෙන්ම උපකාරවත් විය හැකි දෙයකි, වර්ධනය ගෙන දෙන සංගීතයට සවන් දීම. දෙවිට ප්‍රශංසා ගී ගැයීමෙහි හවුල් වීම මෙහිදී විශේෂ තැනක් ගනී. (කොලොස්සි 3:16) යෞවන විය යනු දේවභයැති වැඩිහිටියෙකු වීම සඳහා තමාව සූදානම් කරගත යුතු කාලයකි. එවිට අප ජීවිතයේ භුක්ති විඳින සන්තෝෂය සදහටම පාරාදීස පොළොවේදීද භුක්ති විඳීමට ප්‍රස්තාව ලැබෙනවා ඇත.—ගලාති 6:8.
19. දරුවන් ඇති දැඩි කිරීමට දෙමාපියන් දරන වෑයමට යෙහෝවා ආශීර්වාද කරන බවට දෙමාපියන්ට නිසැක විය හැක්කේ මන්ද?
19 සියලුම ක්‍රිස්තියානි පවුල් ශක්තිමත් ආත්මික ඒකක වශයෙන් සාර්ථක වනවා දැකීම යෙහෝවාගේ අවංක ආශාවයි. අප සැබවින්ම දෙවිට ප්‍රේම කරනවා නම් හා ඔහුගේ වචනයට කීකරු වන්න අපගේ උපරිමය කරමින් සිටිනවා නම්, ඔහු අපගේ ප්රයත්නයන්ට ආශීර්වාද කරන අතර, ඔහු ලබා දෙන මඟ පෙන්වීම අනුගමනය කිරීමට අවශ්‍ය ශක්තියද අපට සපයනවා නියතය. (යෙසායා 48:17; පිලිප්පි 4:13) ඔබේ දරුවන්ට උගන්වා නිසි පුහුණුවක් ලබා දීමට ඔබට දැන් උදා වී ඇති ප්‍රස්තාව සීමා සහිත, නැවත උදා නොවන එකක් බව මතක තබාගන්න. දේවවචනයේ අඩංගු උපදෙස් අනුගමනය කිරීමට ඔබේ උපරිමය කරන්න. ප්‍රතිඵලය? ආත්මික වශයෙන් ශක්තිමත් පවුලක් ගොඩනැඟීමට ඔබ දරන උත්සාහයට යෙහෝවාගේ ආශීර්වාදය නොඅනුමානවම ලැබීමය.
අප ඉගෙනගත්තේ කුමක්ද?
• දරුවන්ට පුහුණුවක් ලබා දීමේ කාර්යය සඳහා කාලය කෙසේ හෝ සොයාගැනීම ඉතා වැදගත් වන්නේ මන්ද?
• දෙමාපියන් හොඳ ආදර්ශයක් තැබිය යුත්තේ මන්ද?
• දරුවන්ගේ ආත්මික වර්ධනයට දායක විය හැකි වැදගත් ක්‍රම සමහරක් නම් කරන්න.
• පවුලක ආත්මිකත්වය පවත්වාගත හැක්කේ කෙසේද?
[24, 25වන පිටුවේ පින්තූර]
ආත්මික වශයෙන් ශක්තිමත් පවුල් නිතිපතා එකට දේවවචනය අධ්‍යයනය කරති, ක්‍රිස්තියානි රැස්වීම්වලට යති, දේවසේවයෙහි සහභාගි වෙති