සෙප්ටූඅජින්ට්හි ටෙට්‍රාග්‍රැමටනය
යෙහෝවා යන දිව්‍ය නාමය නියෝජනය වන්නේ ටෙට්‍රාග්‍රැමටනය ලෙස හඳුන්වන හෙබ්‍රෙව් අක්ෂර יהוה (ය්හ්ව්හ්) හතරකිනි. සෙප්ටූඅජින්ට් පිටපත්වල ටෙට්‍රාග්‍රැමටනය (අක්ෂර සතර) සඳහන් වී නොතිබුණු බව බොහෝ කලක් පුරා විශ්වාස කෙරුණි. සමහරුන්ගේ තර්කය නම් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවලට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් උපුටා දැක්වීමේදී දිව්‍ය නාමය ග්‍රීක් භාෂාවෙන් යොදා නොතිබුණු බවයි.
සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ දිව්‍ය නාමය අන්තර්ගත වී තිබුණු බවට පසුගිය අවුරුදු සියය පුරා සොයාගත් තොරතුරුවලින් පැහැදිලි වෙයි. එක් මූලාශ්‍රයක පවසන්නේ මෙසේය. “මෙම පරිශුද්ධ නාමය නිවැරදිව රක්ෂා කර තබාගැනීමට හෙලනික යුදෙව්වන්ට කොතරම් ජ්වලිතයක් තිබුණද යත්, ඔවුන් හෙබ්‍රෙව් බයිබලය ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමේදී ටෙට්රාග්රැමටනයේ අකුරු ඒ ආකාරයෙන්ම ග්‍රීක් පාඨ අතරට හඳුන්වා දෙන ලදි.”
වම් පසේ ඇති පිංතූරයෙන් පෙන්නුම් කර තිබෙන්නේ ආරක්ෂා වී තිබෙන පැපිරස් ලියවිලි කොටස් කිහිපයෙන් එකකි. ඊජිප්තුවේ ඔක්සිරින්කස්හිදී ලැබුණු අංක 3522 ලෙස යොදා තිබුණු පැපිරස් කොටස් පො.යු. පළමුවෙනි ශත වර්ෂය දක්වා දිවයන පැරණි ලියවිල්ලකි.a මෙහි ප්‍රමාණය සෙන්ටිමීටර 7 x 10.5කි. මෙම කුඩා කොටසේ යෝබ් 42:11, 12 යන වගන්ති සඳහන් වී තිබේ. මෙහි ටෙට්‍රාග්‍රැමටනය රවුමකින් ලකුණු කර ඇති අතර එය ලියා තිබෙන්නේ ඉපැරණි හෙබ්‍රෙව් අක්ෂරවලිනි.b
එසේ නම් මුල් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල දිව්‍ය නාමය සඳහන් වී තිබුණාද? විශාරද ජෝර්ජ් හවර්ඩ් මෙසේ පවසයි. “මුල් ක්‍රිස්තියානි සභාවේ භාවිත කළ ශුද්ධ ලියවිලිවල, එනම් ග්‍රීක් බයිබලයේ (සෙප්ටූඅජින්ට්) පිටපත්වල ටෙට්‍රාග්‍රැමටනය ලියවී තිබුණු නිසා නව ගිවිසුමේ ලේඛකයන් පරණ ගිවිසුමෙන් උපුටා දැක්වීමේදී ටෙට්‍රාග්‍රැමටනය එලෙසින්ම භාවිතා කර තිබුණායයි සිතීම සාධාරණයි.” ඉන් ටික කාලෙකට පසු පිටපත් කරන්නෝ දිව්‍ය නාමය වෙනුවට කිරියොස් (ස්වාමීන්) හෝ තියොස් (දෙවි) යන ආදේශ නම් යෙදූහ.
[පාදසටහන්වල]
a ඔක්සිරින්කස්හිදී ලැබුණු පැපිරස් ගැන තවත් විස්තර දැනගැනීමට 1992 පෙබරවාරි 15 මුරටැඹෙහි 26-28 දක්වා පිටු බලන්න (සිංහලෙන් නොමැත).
b ඉපැරණි ග්‍රීක් ලියවිලිවල සඳහන් දිව්‍ය නාමය පිළිබඳ තවත් උදාහරණ සලකා බැලීමට ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමුසටහන් සහිතව, උපග්‍රන්ථය 1ඇ (appendix 1C) බලන්න (සිංහලෙන් නොමැත).
[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of the Egypt Exploration Society