‘ඔවුහු පතුලට කිඳුණෝය’
“ගැඹුරු ජලයෝ ඔවුන් වසාගනිති. ඔවුහු ගලක් මෙන් පතුලට කිඳුණෝය.”
මෝසෙස් හා ඉශ්‍රායෙලිතයන් සතුටින් ඉපිල මෙවැනි ගීයක් ගැයීමට හේතු පාදක වූයේ ඔවුන්ට රතු මුහුදෙන් එගොඩ වීමට හැකිවීමත් ඔවුන් පසු පස හඹා ආ සතුරු සේනාව වන මිසරයේ ඵාරාවෝ සහ ඔහුගේ හමුදාව විනාශ වීමත්ය.—නික්මයාම 15:4, 5.
එම පුදුම දනවන දර්ශනය දුටු කෙනෙකුට එයින් උගන්වනු ලබන පාඩම සක්සුදක් සේ පැහැදිලිය. එනම් කිසිවෙකුට යෙහෝවාගේ අධිකාරියට විරුද්ධ වී හෝ එයට අභියෝග කර ජීවත් විය නොහැකි බවයි. කොහොම නමුත්, ඉන් මාස කිහිපයකට පසු ප්‍රසිද්ධ චරිත වන කෝරා, දාතාන්, අබීරාම් හා ඔවුන්ට සහය දැක්වූවන් 250දෙනෙක් යෙහෝවා විසින් මෝසෙස්ට හා ආරොන්ට හෙබවීමට අවසර දෙනු ලැබූ අධිකාරියට විවෘතව අභියෝගයක් එල්ල කළහ.—ගණන් කථාව 16:1-3.
යෙහෝවාගේ මඟ පෙන්වීමට අනුව මෝසෙස් ඉශ්‍රායෙලිතයන්ට අනතුරු ඇඟවූයේ කැරලිගැසූවන්ගේ කූඩාරම්වලින් ඉවත් වෙන ලෙසය. දාතාන් හා අබීරාම් ඇතුළු ඔවුන්ගේ පැත්තට සහයෝගය දුන් සිය ගෙවැසියන් වෙනස් වීමට අකමැති වූහ. මේ මනුෂ්‍යයන් “යෙහෝවාට අගෞරවයක් වන ආකාරයට කටයුතු කළ” බව යෙහෝවා දෙවි ඔහුගේම ක්‍රමයකට ජනයන්ට එළිදරව් කරයි කියා මෝසෙස් සමූහයාට නිවේදනය කළේය. එම අවස්ථාවේදී යෙහෝවා ඔවුන් යට තිබුණු භූමිය දෙකට පැළෙන්න සැලැස්සුවේය. “මෙසේ ඔවුහුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පතුලට කිඳුණෝය. පොළොව ඔවුන් වසාගත්තාය.” කෝරාට හා අනෙකුත් කැරලිකරුවන්ට සිදු වූයේ කුමක්ද? “යෙහෝවා කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පු කළ දෙසිය පනස්දෙනා දවා දැමීය.”—ගණන් කථාව 16:23-35, NW; 26:10.
ඵාරාවෝත් ඔහුගේ හමුදාවත් කාන්තාරයේදී කැරලිගැසූ සියලුදෙනාත් විනාශ වීමට හේතු වූයේ ඔවුන් යෙහෝවා සතු අධිකාරිය හඳුනා නොගැනීම හා යෙහෝවා දෙවි ඔහුගේ මනුෂ්‍යයන් කෙරෙහි සැලකිල්ල දක්වන බව නොදැන සිටීමය. මෙම අන්තරා සහිත කාලවල යෙහෝවාගේ ආරක්ෂාව පතන සියලුදෙනා ඔහු පිළිබඳව ඉගෙනගැනීමත් ඔහු “මහෝත්තමයාණන්” හා “සර්වපරාක්‍රම දෙවි” බැවින් ඔහුට කීකරු වීමත් අවශ්‍යයි. මෙසේ කිරීමෙන් යෙහෝවා දෙන පොරොන්දුව ගැන ඔවුන්ට සහතික විය හැකියි. ‘ඔබේ පැත්තක දහසක්ද, ඔබේ දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය. එහෙත් එය ඔබට ළං නොවන්නෝය. ඔබේ ඇස්වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. මක්නිසාද යෙහෝවා මාගේ රක්ෂස්ථානය කියා ඔබ කීවේය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය.’—ගීතාවලිය 91:1, 7-9.