‘ඔබේ මතු කාලයෙහි ඔබ ප්‍රඥාවන්තව සිටින්න’
“මනුෂ්‍යයන් හුඟදෙනෙකු තම ජීවිතයේ මුල් අවධිය ගත කරන ආකාරය මඟ පාදන්නේ අභාග්‍යසම්පන්න සැඳෑ සමයකටයි.” එසේ පැවසුවේ 17වන සියවසේ විසූ ප්‍රංශ ජාතික නිබන්ධකයෙකු වූ ෂොන් ද ලා බෘයේර්. ඇත්තම කියනවා නම් යම් තරුණයෙකුට තමන් ඉදිරියෙහි විවෘතව තිබෙන තේරීම්වලින් කොයි එක තෝරාගන්නද කියා තීරණය කිරීමට තරම් හැකියාවක් නොමැති නම් ඔහුට උරුම වන්නේ දොම්නස සහ කලකිරීම පමණයි. එමෙන්ම තරුණයෙකු තමාගේ මුරණ්ඩුකම නිසා අනුවණ ලෙස කටයුතු කරයි නම් ඔහුගේ පසුකාලීන ජීවිතයෙහි සතුට ඉගිළී යනු ඇත. මෙම ක්‍රියාකලාපයන් දෙකෙන්ම කොයිකෙත් අවසන් ප්‍රතිඵලය වන්නේ වේදනාවෙන් බර ජීවිතයකි.
එවන් ශෝචනීය අවසානයකින් ගැළවෙන්නේ කෙසේද? යෞවන කාලයේ තිබෙන දෙගිඩියාව සම්බන්ධයෙන් දෙවිගේ වචනයෙහි තරුණයන්ට උපදෙස් දී තිබේ. එහි පවසන්නේ, “නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උත්තරීතර, NW] මැවුම්කාරයා සිහි කරන්න. මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය. මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළං වන්නේය” යනුවෙනි. (දේශනාකාරයා 12:1) ඔබ යෞවනයෙකු නම් ඔබේ යෞවන කාලය තුළදීම ‘ඔබේ උත්තරීතර මැවුම්කාරයා’ ගැන ඉගෙනීමට අදිටන් කරගන්න.
යෞවන කාලය සාමාන්‍යයෙන් දුර දිග නොබලා කටයුතු කරන කාලයකි. එය මඟහරවා ගැනීමට බයිබලය යෞවනයන්ට උපකාරවත් වන්නේ කෙසේද? එහි මෙසේ පවසා තිබේ. “නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.” (හිතෝපදේශ 19:20) යෞවන කාලයේදී හෝ ඕනෑම වයස් සීමාවකදී හෝ නොසැලකිලිමත්කමින් නැතහොත් කැරලිකාර අන්දමින් ක්‍රියා කරමින් දේවප්‍රඥාව එපා කිරීම, වේදනාකාරී ප්‍රතිඵල විඳීමට හේතුවක් වන බව බයිබලයේ පැහැදිලිව පවසයි. (හිතෝපදේශ 13:18) දිව්‍ය මඟ පෙන්වීමට අවනත වීමෙන් සිදු වන්නේ, ‘දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද වැඩිවීමයි.’ එනම් තෘප්තිමත් පිරිපුන් ජීවිතයක්.—හිතෝපදේශ 3:2.