අපි හැමෝටම ප්‍රශංසාව අවශ්‍යයි
ඒ දවස පුංචි දැරිවියට සුන්දර දවසක් වුණා. අනිත් අවස්ථාවලදී ඇයව නිවැරදි කිරීමට අවශ්‍ය වුවත්, මේ දවසේදී ඇය ඉතා හොඳින් හැසිරුණා. කෙසේවෙතත්, එදින රාත්‍රියේ පුංචි දැරිවිය නිදාගන්න ගිය විට ඇගේ අම්මාට ඇහුණා ඈ අඬනවා. ඇයි අඬන්නේ කියා ඇසූ විට ඇය කඳුළු සලමින් මෙසේ පැවසුවා. “අද මම හොඳ ළමයෙක් වගේ හිටියේ නැද්ද?”
ඒ ප්රශ්නය ඇගේ මවට පිහියෙන් ඇන්නා වගේ වේදනාවක් ගෙන දුන්නා. දුව වරදක් කළ විගස ඇයව නිවැරදි කිරීමට ඈ පුරුදුව සිටියා. නමුත් මේ අවස්ථාවේ, ඇගේ පුංචි දැරිවිය හොඳින් හැසිරීමට දැරූ වෑයම දැක දැකත් එක වචනයකින් හරි අම්මා එය ප්‍රශංසා කර තිබුණේ නැහැ.
ප්‍රශංසාව හා බිය සැක දුරු කිරීම අවශ්‍ය වන්නේ පුංචි දැරිවියන්ට පමණක් නොවෙයි. අපි හැමෝටම උපදෙස් හා නිවැරදි කිරීම් වගේම ප්‍රශංසාවත් අවශ්‍යයි.
හද පත්ලෙන්ම අපව අගය කරන විට අපට හැඟෙන්නේ කෙලෙසද? එමගින් අපේ හදවත උණුසුම් වී, අපේ දවස එළිය වන්නේ නැද්ද? දකින කෙනෙක්, සැලකිලිමත් වන කෙනෙක් ඉන්නවා කියා එවිට අපට හැඟිය හැකියි. එසේම අප දැරූ වෑයම වටිනා එකක් බව ඉන් තවත් තහවුරු වන අතර, අනාගතයේදීද එලෙසම කිරීමට එය අප තුළ පෙලඹීමක්ද ඇති කරවයි. අවංක ප්‍රශංසාවක් කරමින් දිරිගන්වන යමක් පැවසීමට කාලය ගන්නා පුද්ගලයා වෙත අපව ඇදී යෑම පුදුමයක් නොවෙයි.—හිතෝපදේශ 15:23.
යේසුස් ක්‍රිස්තුස් ප්‍රශංසා කිරීමේ අවශ්‍යතාව අගය කළා. තලෙන්ත පිළිබඳ උපමාවේ (යේසුස්ව පිළිබිඹු කළ) ස්වාමියා විශ්වාසවන්ත දාසයන් දෙදෙනාට උණුසුම් ලෙස ප්‍රශංසා කරමින් මෙසේ පවසනවා. “යහපත්, විශ්වාසවන්ත දාසය, ඉතා අගෙයි!” [NW] මොනතරම් හද උණුසුම් කරවන්නක්ද! ඔවුන් එකිනෙකාට ඉතා වෙනස් හැකියාවන් තිබුණත්, ඉටු කර තිබුණ දේ වෙනස් වුණත් ඔවුන්ට ලැබෙන්නේ එක සමාන ප්‍රශංසාවක්.—මතෙව් 25:19-23.
එසේනම් අපි පුංචි දැරියගේ මවව මතක තබාගමු. අන් අයට නිසි ප්‍රශංසාව දීමට ඔවුන්ගේ ඇස්වලට කඳුළු එන තෙක්ම අප සිටිය යුතු නැහැ. ඒ වෙනුවට, ප්‍රශංසා කිරීමට අවස්ථාවන් සොයාගැනීමට වගබලා ගන්න අපිට පුළුවන්. ඇත්තෙන්ම, සෑම අවස්ථාවකදීම අවංකවම ප්‍රශංසා කිරීමට අපට හොඳ හේතු තිබෙනවා.