ඔබේ අත්තිවාරම සවිමත්ද?
යම් ගොඩනැඟිල්ලක කල් පැවැත්ම බොහෝ සෙයින් රඳා පවතින්නේ එහි අත්තිවාරමේ ශක්තිය මතයි. ඇතැම් අවස්ථාවලදී බයිබලයේ පවා මෙම සත්‍යය සංකේතමය ආකාරයකින් හුවා දක්වා තිබෙනවා.
නිදසුනක් වශයෙන් යෙසායා නම් අනාගතවක්තෘවරයා යෙහෝවා දෙවිව හඳුන්වන්නේ “පොළොවේ අත්තිවාරම් ලූ” තැනැත්තා හැටියටයි. (යෙසායා 51:13) පොළොවේ අත්තිවාරම කීමෙන් අදහස් කරන්නේ පොළොවේ චලනය හා පිහිටීම පාලනය කරන වෙනස් නොවන භෞතික නීතියයි කියා සැලකිය හැකියි. මෙම නීති පනවා තිබෙන්නේ දෙවියි. (ගීතාවලිය 104:5) ඒ වගේම මිනිස් සමාජය ගැන කතා කරමින් තවත් ආකාරයක “අත්තිවාරම්” ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඉන් අඟවන්නේ මිනිස් සමාජයේ පැවැත්ම සඳහා ස්ථාපිත කර තිබෙන යුක්තිය, නීතිය හා පිළිවෙළයි. මෙම අත්තිවාරම් හෙවත් සමාජයක තිබිය යුතු යුක්තිය, නීතිය හා පිළිවෙළ, අයුක්තියෙන්, දූෂණයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් “විනාශ වූවොත්” මුළු සමාජ පද්ධතියම කඩා වැටෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.—ගීතාවලිය 11:2-6; හිතෝපදේශ 29:4.
තවද යේසුස්ගේ මේ වදන් කෙනෙකුට පෞද්ගලිකවද අදාළ කරගත හැකියි. තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව අවසන් කරමින් යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ මෙහෙමයි. “මාගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙකුවම, පර්වතය මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමාන කරනු ලැබේ. වැසි වැස, ගංවතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. නමුත්, එය පර්වතය මත පිහිටා තිබුණු බැවින් බිඳ වැටුණේ නැත. තවද, මාගේ මේ වචන අසා ඒවා පිළි නොපදින සෑම කෙනෙකුවම, වැලි මත තම ගෙය ගොඩනැඟූ නුවණ නැති මිනිසෙකුට සමාන කරනු ලැබේ. වැසි වැස, ගංවතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. එය බිඳ වැටිණ. එහි කඩා වැටීමද මහත් විය.”—මතෙව් 7:24-27.
ඔබ ඔබේ ජීවිතය ගොඩනඟමින් සිටින්නේ කෙබඳු ආකාරයේ අත්තිවාරමක් මතද? දෙවිට අගෞරව කරන මිනිසුන්ගේ දර්ශනවාදී මතිමතාන්තර නමැති වැල්ල මතද? එම වැල්ල මත ගොඩනඟන ගෙවල් කඩා වැටෙනවා නියතයි. එසේ නොව, යේසුස් ක්‍රිස්තුස්ගේ කියමන්වලින් සමන්විත වූ දැඩි පර්වතයක් වැනි අත්තිවාරමක් මත ඔබේ ජීවිතය ගොඩනඟන්නට ඔබ කැමතිද? එසේනම් ඔබේ ජීවිතයට එල්ල වන කුණාටු වැනි කරදර බාධක පීඩාවලින් ජයගන්නට එම අත්තිවාරම ඔබට මහෝපකාරී වනු ඇති අතර එය ශක්තිමත් අත්තිවාරමක්යයි පැවසිය හැකියි.