බයිබලයෙන් කළ උපුටාගැනීම් සඳහන් පැරණිතම ලියවිලි හමු වෙයි
ඊශ්‍රායෙලයේ පුරාවිද්‍යාඥයන් මීට අවුරුදු 25කට කලින් සුවිශේෂි දෙයක් සොයාගත්තා. යෙරුසලමේ හින්නොම් මිටියාවතේ කඳු බෑවුම්වල පිහිටි සොහොන් ගෙයක තිබී ඔවුන් සොයාගත්තේ බයිබලයෙන් උපුටාගත් වගන්ති කිහිපයක් ලියා තිබූ කොළයක් තරම් තුනී රිදී තහඩු කැබලි දෙකක්. මෙම ලියවිල්ල සකස් කර තිබුණේ ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් යෙරුසලම විනාශ කිරීමටත් කලිනුයි. මේ ලියවිල්ලේ උපුටා දක්වා තිබෙන්නේ ගණන් කතාව 6:24-26හි සඳහන් ආශීර්වාදවලින් කොටසක්. මෙම තුනී රිදී ලියවිලි දෙකේම යෙහෝවා යන දෙවිගේ නාමය කිහිප තැනක සඳහන් වී තිබෙනවා. “බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලිවලින් පිටපත් කළ පැරණිතම ලියවිල්ල” ලෙස මෙම ලියවිලි පිළිගනු ලබනවා.
කෙසේවෙතත් මෙම ලියවිලි සකස් කළ දිනය ගැන සැක පහළ කරන ඇතැම් විද්වතුන් කියා සිටින්නේ ඒවා ක්‍රි.පූ. දෙවන සියවසේදී ලියා තිබෙන බවයි. මෙලෙස සැක කිරීමට එක හේතුවක් වන්නේ ඉතා කුඩා මෙම ලියවිලිවල මුල් ඡායාරූපවලින් අවශ්‍ය සෑම විස්තරයක්ම හොඳින් දැකගත නොහැකි වීමයි. මෙම ලියවිලිවල නිශ්චිත දිනය සොයාගැනීම සඳහා විද්වතුන් පිරිසක් මේ ගැන අලුතින් පර්යේෂණ කරන්න පටන්ගත්තා. මෙහි සඳහන් දේවල් පැහැදිලිව දැකගැනීම සඳහා ඔවුන් නවීනතම ඡායාරූප ශිල්ප ක්‍රම හා පරිගණක තාක්ෂණය යොදාගත්තා. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මෑතකදී ප්‍රකාශයට පත් කළා. එම විද්වතුන් පිරිස කළ නිගමනය කුමක්ද?
මෙම ලියවිලි සොයාගත් පෞරාණික ස්ථානය ගැන තොරතුරු සොයා බැලීමේදී පෙනී යන්නේ ඒවා ලියා තිබෙන්නේ යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයට යන්න කලින් කියා ඒ විද්වතුන් පවසනවා. මෙම ලියවිල්ලේ අක්ෂරවල හැඩය හා ඒවා ලියා තිබෙන ආකාරය ගැන නිරීක්ෂණය කළ අයගේ නිගමනය වන්නේ එම උපුටාගැනීම් ක්‍රි.පූ. හත්වන සියවස අගභාගයේදී කර තිබෙන බවයි. මෙම ලියවිල්ලේ සඳහන් අක්ෂර වින්‍යාසය ගැන සලකා බැලූ එම කණ්ඩායම මෙසේ නිගමනය කළා. “එහි සඳහන් අක්ෂර වින්‍යාසය අතරත් ඒවා සොයාගත් පෞරාණික ස්ථානය හා පුරාණයේ ලියූ අක්ෂරවල හැඩය අතරත් තිබෙන එකඟතාව සලකා බලද්දි මෙම ලියවිල්ල අයත් කාල වකවානුව තේරුම්ගැනීම එතරම් අපහසු නොවේ.”
කෙටෆ් හින්නොම් ලියවිලි කියාද හඳුන්වනු ලබන මෙම රිදී ලියවිලි සම්බන්ධයෙන් කළ අධ්‍යයනයෙන් හෙළි වූ මූලික කාරණය ගැන එක් සඟරාවක මෙසේ සඳහන් වෙනවා. “බොහෝ විද්වතුන්ද පැවසූ ආකාරයට මෙම රිදී ලියවිලිවල සඳහන් වන්නේ බයිබලයෙන් කළ මුල්ම උපුටාගැනීම් බව පැහැදිලියි.”—Bulletin of the American Schools of Oriental Research.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cave: Pictorial Archive (Near Eastern History) Est.; inscriptions: Photograph © Israel Museum, Jerusalem; courtesy of Israel Antiquities Authority