දෙවිගේ නාමය දැන සිටීම වැදගත් වන්නේ ඇයි?
සාමාන්‍යයෙන් ඕනෑම රටක උසස් නිල දරන අය සිටිනවා. ඔවුන්ව “අතිගරු ජනාධිපති” හෝ “අතිඋත්තමයාණන්” වැනි ගෞරව නාමවලින් අමතනවා. කොහොමවුණත් එවැනි උසස් නිලයක් දරන කෙනෙක් ඔහුගේ නමින්ම ඔහුව අමතන්න කියා ඔබට පැවසුවොත් ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? ඔබ ඒ ගැන ආඩම්බර වෙන බවට සැකයක් නැහැ.
මේ මුළු විශ්වයම නිර්මාණය කළ දෙවිවත් බයිබලයේ විවිධ පදවි නාමවලින් හඳුන්වා තිබෙනවා. “නිර්මාතෘ,” “විශ්වයේ පාලකයානන්” සහ “සියලු බලැති දෙවි” ඉන් කිහිපයක්. කොහොමවුණත් දෙවිට පෞද්ගලික නාමයක්ද තිබෙනවා. දෙවිම පවසා තිබෙන්නේ “මාගේ නාමය යෙහෝවා” කියායි. (යෙසායා 42:8) දෙවි තම පෞද්ගලික නාමයෙන්ම ඔහුව ඇමතීමට තම සේවකයන්ට අවස්ථාව දීමෙන් පැහැදිලි වන්නේ දෙවි ඔවුන්ව වටිනා අය ලෙස සලකන බවයි.
තමාව නමින්ම අමතනවාට යෙහෝවා දෙවි කැමති නිසා පුරාණයේ සිටි ඔහුගේ සේවකයන් ඔහුව නමින් ඇමතූ අවස්ථාවන් ගණනාවක් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට මෝසෙස් එක් අවස්ථාවකදී “අනේ යෙහෝවා දෙවියනි” කියා දෙවිව ඇමතුවා. (නික්මයාම 4:10) තවත් අවස්ථාවක සාලමොන් රජ දෙවිගේ මාලිගාව කැප කළ අවස්ථාවේ යාච්ඤාවෙන් දෙවිව ඇමතුවේ “යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි” කියායි. (1 රාජාවලිය 8:22, 23) එමෙන්ම යෙසායා ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් දෙවිට යාච්ඤා කළ විට “යෙහෝවා දෙවියනි, ඔබ අපගේ පියාණන්ය” කියා පැවසුවා.—යෙසායා 63:16.
දෙවිගේ පෞද්ගලික නාමය දැන සිටීමත් එම නාමයේ අර්ථය අවබෝධ කරගෙන සිටීමත් ඉතා වැදගත්. ඊට හේතුව දෙවි තම සේවකයන්ට දී තිබෙන මෙම පොරොන්දුවෙන් පැහැදිලි වෙනවා. “මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.” (ගීතාවලිය 91:14) ඒ අනුව දෙවිගේ ආරක්ෂාව ලැබීමට නම් අපි දෙවිගේ නාමය දැනගත යුතුයි. එසේනම් දෙවිගේ නාමයේ අර්ථය කුමක්ද? එය දැනගැනීමට අප කළ යුත්තේ කුමක්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.