ජීවිත වෙනස් කළ පොතක්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ක්‍රියා කළ, බොහෝ භාර්යාවන් සිටි කෙනෙක් පසුව සාක්ෂිකරුවෙක් වුණේ ඇයි? පෙන්තකොස්ත පූජකයෙක් ඔහුගේ ආගම වෙනස් කළේ ඇයි? තමා එතරම් වටින්නේ නැහැ කියා සිතූ කාන්තාවකට එම සිතුවිල්ල නැති කරගන්න උපකාරවත් වුණේ කුමක්ද? හෙවි මෙට්ල් සංගීතයට අතිශයින් ප්‍රිය කළ කෙනෙක් දේවසේවකයෙක් බවට පත් වුණේ ඇයි? ඒ ගැන තොරතුරු අපි සොයා බලමු.
“මම දැන් හොඳ ස්වාමිපුරුෂයෙක්.”—රිගොබේර් උවෙටෝ
උපත ලැබූ වසර: 1941
රට: බෙනින්
අතීතයේදී: සාක්ෂිකරුවන්ට විරුද්ධව ක්‍රියා කළ, බොහෝ භාර්යාවන් සිටි කෙනෙක්
මගේ අතීතය:
මම ඉපදුණේ බෙනින් රටේ කොටොනොව් නගරයේයි. උපතින් කතෝලික වුණත් මම පල්ලි ගියේ කලාතුරකින්. මට භාර්යාවන් හතරදෙනෙක් හිටියා. ඒ කාලේ භාර්යාවන් කිහිපදෙනෙක් එක්ක ජීවත් වෙන්න අපේ රටේ නීතියෙන් අවසර තිබුණා.
බෙනින්වල 1970 ගණන්වල කැරැල්ලක් පටන්ගත්තා. ජනතාවට ඒකෙන් යහපතක් වෙයි කියල හිතලා මමත් ඒකට සහයෝගය දුන්නා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැති නිසා කැරලිකරුවන් ඒ අයට කැමති වුණේ නැහැ. ඉතින් ඔවුන් සාක්ෂිකරුවන්ට පීඩා කරන්න පටන්ගත්තා. මමත් ඒකට හවුල් වුණා. වෙනත් රටවලින් ඇවිල්ලා බෙනින්වල සේවය කරපු සාක්ෂිකරුවන්ව 1976දී රටින් පිට කළා. ඒ අය ආයෙත් මේ රටට එයිද කියල මම නිතරම සෝදිසියෙන් හිටියා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු:
කැරැල්ල අවසන් වුණේ 1990දියි. ඒ එක්කම වගේ වෙනත් රටවලින් ආව සාක්ෂිකරුවන් මෙහෙ සේවය කරනවා දැක්කම මට පුදුම හිතුණා. එහෙම දෙයක් වුණේ දෙවි මේ අය එක්ක ඉන්න නිසා වෙන්න ඇති කියලා මට හිතුණා. ඒ කාලයේම තමයි මම රැකියාව කළ ස්ථානයත් වෙනස් වුණේ. එතන වැඩ කළ සාක්ෂිකරුවෙක් මාත් එක්ක බයිබලය ගැන කතා කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි ප්‍රේමණීය, යුක්තිගරුක දෙවි කෙනෙක් කියලා සඳහන් වෙලා තියෙන බයිබල් පද එයා මට පෙන්නුවා. (ද්විතීය කතාව 32:4; 1 යොහන් 4:8) ඒක මගේ හිතට කාවැදුණ නිසා යෙහෝවා දෙවි ගැන තවත් දැනගන්න මට ආස හිතුණා. ඒ නිසා මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.
මම ඉක්මනින්ම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. එතනට ආපු අය ගොඩක් වෙනස්. ඒ අය මිනිසුන්ගේ තරාතිරම් බලන්නේ නැතුව හැමෝටම එක විදිහට සලකනවා. එයාලා එක්ක නිතර නිතර ආශ්‍රය කරද්දී ඒ අය යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් බව මට හොඳටම ස්ථිර වුණා.—යොහන් 13:35.
යෙහෝවා දෙවිට සේවය කරන්න නම් පල්ලියෙන් අයින් වෙන්න ඕනේ කියලා මට තේරුණා. හැබැයි ඒක කරන්න ලේසි වුණේ නැහැ. එහෙම කළොත් අනික් අය මං ගැන මොනවා හිතයිද කියලා මම කල්පනා කළා. කාලයකට පස්සේ යෙහෝවා දෙවිගේ උදව් ඇතුව මම පල්ලියෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා.
මගේ ජීවිතයේ තවත් ලොකු වෙනසක් කරන්න මට සිද්ධ වුණා. ස්වාමිපුරුෂයෙකුට භාර්යාවන් කිහිපදෙනෙක් ඉන්න එක දෙවි අනුමත කරන්නේ නැහැ කියලා බයිබලය පාඩම් කරන කොට මම දැනගත්තා. (උත්පත්ති 2:18-24; මතෙව් 19:4-6) ඒ නිසා මගේ මුල්ම භාර්යාවව මම නීත්‍යනුකූලව විවාහ කරගත්තා. අනික් අයට ජීවත් වෙන්න සුදුසු ක්‍රමයක් හදලා දීලා ඒ අයගෙන් මම වෙන් වුණා. කාලයක් ගියාට පස්සේ ඒ අයගෙන් දෙන්නෙක් සාක්ෂිකරුවන් වුණා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු:
මගේ බිරිඳ සාක්ෂිකරුවෙක් නොවුණත් සාක්ෂිකරුවෙක් වෙන්න මම ගත්ත තීරණයට එයා විරුද්ධ වුණේ නැහැ. මම දැන් හොඳ ස්වාමිපුරුෂයෙක් කියලා එයා කියනවා.
මම හිතාගෙන හිටියේ දේශපාලනය කරලා සමාජයට යහපතක් කරන්න පුළුවන් වෙයි කියලයි. හැබැයි ඒ අදහස වැරදියි. මොකද මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දෙවිගේ රාජ්‍යයට විතරයි. (මතෙව් 6:9, 10) සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහ කියලා දුන්නට මම යෙහෝවා දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා.
‘වෙනස්කම් කරන එක ලේසි වුණේ නැහැ.’—ආලික්ස් ලේමොස් සිල්වා
උපත ලැබූ වසර: 1977
රට: බ්‍රසීලය
අතීතයේදී: පෙන්තකොස්ත පූජකයෙක්
මගේ අතීතය:
මම හැදී වැඩුණේ සාඕ පවුලෝ නගරයේ මායිමට වෙන්න තියෙන ඉටූ කියන ගමෙයි. ඒ ගම අපරාධවලට හරිම ප්‍රසිද්ධයි.
අනාචාර ජීවිතයක් ගත කළ මම නිතරම රණ්ඩුවලට පැටලුණා. මත්ද්‍රව්‍ය ජාවාරමේත් යෙදුණා. හැබැයි දිගටම එහෙම කළොත් එක්කෝ මට මැරෙන්න සිද්ධ වෙයි නැත්නම් හිරේ යන්න වෙයි කියලා මට තේරුණා. ඒ නිසා මම ඒ හැම දෙයක්ම නතර කළා. ඊට පස්සේ මම පෙන්තකොස්ත සභාවට බැඳිලා පූජකයෙක් විදිහට වැඩ කළා.
පූජකයෙක් විදිහට වැඩ කළොත් මිනිසුන්ට උදව් කරන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ නිසා මගේ ගමේ ප්‍රසිද්ධ ගුවන්විදුලි සේවයකින් මම ආගමික වැඩසටහනක් ප්‍රචාරය කළා. ඊටපස්සේ මම ඒ ප්‍රදේශයේ හුඟක් ප්‍රසිද්ධ වුණා. පල්ලි නායකයන් පල්ලියේ සාමාජිකයන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ කියලත් ඒ අය දෙවිව ගෞරවයට පත් කරන්න එතරම් උනන්දු වෙන්නේ නැහැ කියලත් මට තේරුණා. ඒ අය හැම වෙලාවෙම හිතුවේ සල්ලි එකතු කරන්න පුළුවන් ක්‍රම ගැනයි. ඒ නිසා මම පල්ලියෙන් අයින් වුණා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු:
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනික් ආගම්වලට වඩා වෙනස් කියලා ඒ අය එක්ක බයිබලය පාඩම් කරන්න ගත්ත මුල් දවස්වලම මට තේරුණා. ඔවුන්ට මගේ හිත ඇදිලා ගිය හේතු දෙකක් තියෙනවා. සාක්ෂිකරුවන් දෙවිට සහ අසල්වාසීන්ට ප්‍රේම කරනවා කියලා කියනවා විතරක් නෙවෙයි ඒක ක්‍රියාවෙනුත් පෙන්නනවා. ඒ අය දේශපාලනයට හා යුද්ධවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ. (යෙසායා 2:4) ඒ හේතු දෙක නිසා සදාකාල ජීවනයට මඟ පෙන්වන සැබෑ ආගම මේක තමයි කියලා මම තේරුම්ගත්තා.—මතෙව් 7:13, 14.
දෙවිව සතුටු කරන්න ඕනේ නම් මගේ ජීවිතයේ යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා මම තේරුම්ගත්තා. මගේ පවුලේ අයට වැඩි අවධානයක් දෙන්න ඕනේ කියලත් මීට වඩා නිහතමානී වෙන්න ඕනේ කියලත් මට තේරුණා. ඒ වෙනස්කම් කරන එක ලේසි වුණේ නැතත් යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව ඒ වෙනස්කම් කරන්න මට පුළුවන් වුණා. මගේ බිරිඳ මටත් කලින් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තත් එයා ඒක උනන්දුවෙන් කළේ නැහැ. හැබැයි මම මගේ ජීවිතයේ වෙනස්කම් කරනවා දැක්කම එයත් ඉක්මනින් දියුණු වෙන්න පටන්ගත්තා. වැඩි කල් යන්න කලින් අපි දෙන්නම අපේ ජීවිත යෙහෝවා දෙවිට කැප කරලා එකම දවසේ බව්තීස්ම වුණා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු:
දැන් මායි මගේ බිරිඳයි අපේ දරුවන්ට යෙහෝවා දෙවි ගැන කියලා දෙනවා. අපි හැමෝම ඉන්නේ සතුටින්. බයිබලයේ තියෙන දේවල් අවබෝධ කරගෙන දෙවිට ළං වෙන්න මට දුන්න උපකාරයට මම දෙවිට ස්තුතිවන්ත වෙනවා. දෙවිගේ වචනයට මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන් කියලා මගේ පෞද්ගලික අද්දැකීමෙන් මම තේරුම්ගත්තා.
“මගේ ජීවිතය කොච්චර වටිනවාද කියලා මට දැන් තේරෙනවා.”—වික්ටෝරියා ටොං
උපත ලැබූ වසර: 1957
රට: ඕස්ට්‍රේලියාව
අතීතයේදී: කටුක ළමා වියක් ගත කළ කෙනෙක්
මගේ අතීතය:
මම හැදී වැඩුණේ නිව් සවුත් වේල්ස්වල තියෙන නිව්කාසල් කියන ගමෙයි. අපේ පවුලේ දරුවෝ හත්දෙනෙක්. මම තමයි වැඩිමලා. අපේ තාත්තා හරිම දරුණුයි. ඒ වගේම මත්පැන්වලටත් ඇබ්බැහි වෙලා හිටියා. අම්මත් හරිම දරුණුයි. අම්මා මට නිතරම ගහනවා, බනිනවා. මම නරක ළමයෙක් නිසා අපායේ දුක් විඳින්න සිද්ධ වෙයි කියලා අම්මා මට නිතරම කිව්වා. ඒ නිසා මම හුඟක් භය වුණා.
සමහර දවස්වල මට ඉස්කෝලේ යන්නත් බැරි වෙන තරමටම අම්මා මට ගහනවා. අවුරුදු 11ක් වෙන කොට ආණ්ඩුවේ නිලධාරීන් මාව කන්‍යාරාමයකට දැම්මා. හැබැයි අවුරුදු 14ක් වෙද්දී මම එතනින් පැනලා ගියා. මට ආයෙත් ගෙදර යන්න ඕන වුණේ නැති නිසා මම මහ පාරේ ජීවත් වුණා.
ඒ කාලේ මම මත්ද්‍රව්‍යවලටත් මත්පැන්වලටත් ඇබ්බැහි වුණා. අසභ්‍ය දර්ශන නරඹන්නත් පුරුදු වුණා. මම ගණිකාවක් වෙලත් හිටියා. එක දවසක් මම හුඟක් භය වුණා. ඒ වෙද්දී මම නැවතිලා හිටියේ සමාජ ශාලාවක අයිතිකරුවෙකුගේ ගෙදරකයි. එදා එයාව හම්බ වෙන්න මිනිස්සු දෙන්නෙක් ආවම එයා මට කාමරයට යන්න කියලා කිව්වා. ඒත් ඒ අය කතා කරන දේ මට ඇහුණා. එයාට ඕන වුණේ ඒ දෙන්නට මාව විකුණන්නයි! ඒ අය මාව සමාජ ශාලාවක වැඩ කරන්න ජපානයට ගෙනියන්නයි හිතාගෙන හිටියේ. ඒ වෙලාවේම මම බැල්කනියෙන් පහළට පැනලා දිව්වා.
දුවගෙන යද්දී සිඩ්නිවලට ආව කෙනෙක්ව මට මුණගැහුණා. සල්ලි කීයක් හරි බලාපොරොත්තුවෙන් මම මගේ තත්වය එයාට විස්තර කළා. මට සල්ලි දෙනවා වෙනුවට එයා ඉන්න තැනට මාව අරං ගිහිල්ලා මට කන්න බොන්න දීලා හොඳට සැලකුවා. ඒ නිසා මම දිගටම එහේ හිටියා. අවුරුද්දකට විතර පස්සේ අපි දෙන්නා විවාහ වුණා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු:
සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කොට මට ලොකු සහනයක් දැනුණා. මම ඉගෙනගෙන තිබුණේ මිනිසුන්ට දුක් දෙන්නේ දෙවියන් කියලයි. දැන් මම දන්නවා ඒක කරන්නේ යක්ෂයා කියලා. දෙවියන්, මිනිසුන්ව අපායක දාලා දුක් විඳින්න සලස්වන්නේ නැහැ කියලා දැනගත්තම මට ලොකු සහනයක් දැනුණා.
සාක්ෂිකරුවන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන විදිහ දැක්කම මට පුදුම හිතුණා. සාමාන්‍යයෙන් මම අනික් අය කියන දේවලට ලේසියෙන් එකඟ වෙන්නේ නැහැ. ඒත් මම මොනවා කිව්වත් සාක්ෂිකරුවන් මට ආදරයෙනුත් ගෞරවයෙනුත් සැලකුවා.
හැබැයි මම කිසි වටිනාකමක් නැති කෙනෙක් කියලා මට තිබුණු හැඟීම නැති කරගන්න ලේසි වුණේ නැහැ. බව්තීස්ම වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සෙත් මට ඒ හැඟීම තිබුණා. මම යෙහෝවා දෙවිට ප්‍රේම කළත් ඔහුගේ ප්‍රේමය ලබන්න මම වටින්නේ නැහැ කියලා මට නිතරම හිතුණා.
මම බව්තීස්ම වෙලා අවුරුදු 15කට විතර පස්සේ මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා. සාක්ෂිකරුවන්ගේ රැස්වීමකදී ඉදිරිපත් කළ කතාවක, බයිබලයේ යාකොබ් පොතේ 1:23, 24හි ඇති අදහස පැහැදිලි කළා. ඒ පදවලට අනුව බයිබලය කැඩපතකට සමානයි. දෙවිට අපිව මොන තරම් වටිනවාද කියලා ඒකෙන් අපිට දැකගන්න පුළුවන්. මුලදී මම ඒ අදහසට එකඟ වුණේ නැහැ. මම හැම වෙලාවෙම හිතුවේ දෙවිගේ ප්‍රේමය ලබන්න මම වටින්නේ නැහැ කියලයි.
ටික දවසකට පස්සේ මගේ ජීවිතය වෙනස් කරපු බයිබල් පදයක් කියවන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ පදයේ තියෙන්නේ දෙවි කරන මේ ආරාධනාවයි. ‘ජනයෙනි, එන්න. අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු. ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි. තද රතු සායම් යෙදූ වස්ත්‍රයක් මෙන් තිබුණත් ඒවා සුදු ලොම් මෙන් වීමට සලස්වන්නෙමි.’ (යෙසායා 1:18) ඒක කියෙව්වට පස්සේ මට හැඟුණේ යෙහෝවා දෙවි මට කතා කරලා මෙහෙම කියනවා වගෙයි. “වික්ටෝරියා, එන්න. අපි ප්‍රශ්නය විසඳගමු. මම දන්නවා ඔයා අතින් වැරදි වුණා කියලා. ඔයා ඒ ගැන පසුතැවෙනවා කියලත් මම දන්නවා. මම ඔයාට ආදරේ බව මතක තියාගන්න.”
එදා රෑ මට නින්ද ගියේ නැහැ. ඒ වෙද්දිත් මම හිතාගෙන හිටියේ දෙවිගේ ප්‍රේමය ලබන්න මම වටින්නේ නැහැ කියලයි. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන කල්පනා කරන්න පටන්ගත්තට පස්සේ මට ඒ ගැන තිබුණු අදහස වෙනස් වුණා. යෙහෝවා දෙවි මං ගැන කොච්චර ඉවසලා තියෙනවද, මට කොයි තරම් ප්‍රේම කරලා තියෙනවද කියලා මට ඒ වෙලාවේ මතක් වුණා. දෙවි මං වෙනුවෙන් හුඟක් දේවල් කරලා තිබුණත් මෙච්චර දවස් මම දෙවිට මෙහෙම කියලා තියෙනවා කියලයි මට හිතුණේ. “මම කරලා තියෙන පව්කාර වැඩ එක්ක බලද්දී ඔබේ පුත්‍රයාගේ ජීවිත පූජාව ඒ පව්වලට සමාව දෙන්න තරම් ප්‍රමාණවත් නැහැ.” ඇත්තටම මම මෙච්චර දවස් යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම තේරුම් අරං තිබුණේ නැහැ. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන හොඳින් කල්පනා කළාට පස්සේ යෙහෝවා දෙවි මට කොච්චර ප්‍රේම කරනවද කියලා මට දැනුණා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු:
මට දැන් ලොකු සහනයක් දැනෙනවා. මම ලැබූ අද්දැකීම්වලින් අනික් අයටත් උපකාර කරනවා. මම ප්‍රීතිමත් පවුල් ජීවිතයකුත් ගත කරනවා. මට දැනෙන්නේ යෙහෝවා දෙවි මගේ කිට්ටු මිත්‍රයෙක් කියලයි.
‘දෙවි මගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා.’—සර්ජේ බොටාන්කින්
උපත ලැබූ වසර: 1974
රට: රුසියාව
අතීතයේදී: හෙවි මෙට්ල් සංගීතයට ප්‍රිය කළ කෙනෙක්
මගේ අතීතය:
මම ඉපදුණේ වොට්කින්ස්ක් නගරයෙයි. අපි හරිම දුප්පත්. මගේ තාත්තා හුඟක් හොඳ කෙනෙක් වුණත් එයා මත්පැන්වලට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒ නිසා අපේ ගෙදර වාතාවරණය එච්චර හොඳ තත්වයක තිබුණේ නැහැ.
මම ඉගෙනගන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. මට කිසිම දෙයක් කරන්න බැහැ කියලා මම නිතරම හිතුවා. මම කාත් එක්කවත් වැඩිය ආශ්‍රය කළේ නැහැ. ඒ නිසා අනික් අය මාව සැක කරන්න පටන්ගත්තා. මට ඉස්කෝලෙ යන එක වධයක් වුණා. එක දවසක් ඉස්කෝලෙදී හැමෝම ඉස්සරහ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මට කිව්වම මම දන්න දේවලුත් මට විස්තර කරගන්න බැරි වුණා. අටවෙනි පන්තියෙන් පාස් වුණාට පස්සේ මගේ රිපෝට් එකේ මෙහෙම ලියලා තිබුණා. “තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න නොතේරෙන, සීමිත වාග්මාලාවක් තිබෙන කෙනෙක්.” ඒක කියෙව්වට පස්සේ මම තවත් අධෛර්යය වුණා.
තරුණ කාලෙම මම මත්පැන්වලට ඇබ්බැහි වුණා. මුලදී මම හිතුවේ මත්පැන් ගත්තාම මට මං ගැන හොඳ හැඟීමක් ඇති වෙයි කියලයි. නමුත් ඒකෙන් වුණේ තත්වය තවත් දරුණු වුණ එකයි. මම ගත කළේ කිසිම තේරුමක් නැති ජීවිතයක්. සමහර දවස්වලට මම එක දිගට දවස් ගණන් ගෙදරටම වෙලා ඉන්නවා. දිවි නසාගත්තා නම් මීට වඩා හොඳයි කියලා ඒ වෙලාවලදී මට හිතුණා.
මට අවුරුදු 20ක් විතර වෙද්දී මම හෙවි මෙට්ල් සංගීතයට ප්‍රිය කරන්න පටන්ගත්තා. ඒ සංගීතය අහද්දී මට අමුතු ප්‍රබෝධයක් දැනුණා. ඒ සංගීතය අහන තවත් අය ඉන්නවද කියලා මම හෙව්වා. ඊටපස්සේ මම මගේ කොණ්ඩේ වවලා, කරාබු දාලා හෙවි මෙට්ල් සංගීත කණ්ඩායම්වල ඉන්න අය අඳින විදිහට අඳින්න පටන්ගත්තා. කාලයක් යද්දී මම පවුලේ අය එක්ක නිතරම වාද කරන්නත් හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන්නත් පටන්ගත්තා.
හෙවි මෙට්ල් සංගීතය මට සහනයක් වෙයි කියලා හිතුවත් සිද්ධ වුණේ ඒකේ අනික් පැත්තයි. මට දැනුණේ ඒ සංගීතය නිසා මම වෙනස් වෙනවා කියලයි. ඒ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අය කරන දේවල් ආරංචි වුණාම මම තවත් කලකිරුණා.
දිවි නසාගන්න ඕනේ කියලා මට ආයෙත් හිතුණා. හැබැයි එහෙම කළොත් අම්මට කොච්චර දුක හිතෙයිද කියලා හිතපු නිසා ඒක කරන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. මම අම්මට හුඟක් ආදරෙයි. අම්මත් මං වෙනුවෙන් හුඟක් දේවල් කරලා තියෙනවා. ඒ නිසා මට මැරෙන්නත් බැහැ. හැබැයි මං ජීවත් වෙන්න ආසත් නැහැ.
ඊට පස්සේ මම රුසියානු පොත් කියවන්න පටන්ගත්තා. පල්ලියක සේවය කරපු වීරයෙක් ගැන ඒ පොතක තිබුණා. මමත් දෙවියන් හා මිනිසුන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා මට හිතුණා. ඊට පස්සේ මම ජීවිතයේ පළවෙනි වතාවට දෙවියන්ට යාච්ඤා කරලා යහපත් ජීවිතයක් ගත කරන ආකාරය මට පෙන්නලා දෙන්න කියලා ඉල්ලුවා. ඒ යාච්ඤාව අතරතුර මට ලොකු සහනයක් දැනුණා. ඊට පස්සේ පුදුම දෙයක් සිද්ධ වුණා. යාච්ඤා කරලා පැය දෙකකට විතර පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් මගේ ගෙදරට ඇවිල්ලා බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මම හිතුවේ මගේ යාච්ඤාවට දෙවියන් පිළිතුරු දුන්නා කියලයි. මගේ ජීවිතය සන්තෝෂයෙන් ගත කරන්න පටන්ගත්ත පළවෙනි දවස එයයි.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු:
මං ළඟ තිබුණු හෙවි මෙට්ල් සංගීතයට සම්බන්ධ හැම දෙයක්ම මම විසි කරලා දැම්මා. ඒත් ඒක කරන එක ලේසි වුණේ නැහැ. ඒ සංගීතය ඇහෙන හැම වෙලාවකම මට මගේ අතීතය මතක් වුණා. ඒ අතීතය ගැන මතක් කරලා මට දැන් දැනෙන සතුට නැති කරගන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා ඒ සංගීතය ඇහෙන තැන්වලට මම ගියේ නැහැ. අතීතය මතක් වෙන හැම වෙලාවෙම මම යෙහෝවා දෙවිට උනන්දුවෙන් යාච්ඤා කළා. ඒ නිසා “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න මට පුළුවන් වුණා.—ෆිලිප්පි 4:7.
ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඕනේ කියලා මම දැනගත්තා. (මතෙව් 28:19, 20) මට නම් කවදාවත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. කොහොමවුණත් මම ඉගෙනගත්ත දේවල් නිසා මට ලොකු සතුටකුත් සහනයකුත් දැනුණා. මේ දේවල් අනික් අය දැනගන්න ඕනේ කියලා මම හිතපු නිසා මට මොන තරම් භයක් දැනුණත් මම ඉගෙනගත්ත දේවල් අනික් අයට කිව්වා. එහෙම කියද්දී මට මං ගැන තිබුණු විශ්වාසය වැඩි වෙන්න පටන්ගත්තා. ඒ වගේම බයිබලයේ තියෙන දේවල් ගැන මට තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු:
මම දැන් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරනවා. මගේ නංගියි අම්මයි ඇතුළු තවත් කිහිපදෙනෙකුට බයිබලය ගැන ඉගෙනගන්න උදව් කරන්න මට පුළුවන් වුණා. දෙවිට සේවය කරන ගමන් අන් අයටත් දෙවි ගැන ඉගෙනගන්න උදව් කරන එකෙන් මම ලොකු සතුටක් ලබනවා.