ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 8/1 28-31 පි.
  • බලාපොරොත්තුසහගත දවසක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බලාපොරොත්තුසහගත දවසක්
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි “කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය”
  • “ඔබ තුළ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි”
  • “ඔබේ පැවරුම අගය කරන්න”
  • තවත් විශේෂ සිදුවීම් තුනක්
  • අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා
  • ඔවුන්ව ගිලියද් පාසැල කරා රැගෙන ගියේ සිතේ මුළු කැමැත්තයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාර්ථක ශිෂ්‍යයන්ගේ සිට සාර්ථක මිෂනාරිවරුන් දක්වා
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිනිසුන්ව “ගෝලයන් කිරීම” සඳහා යවනු ලැබූ අය
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුන්දර දිනයක උපාධි ලැබීම
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 8/1 28-31 පි.

130වන ගිලියද් පාසැල

බලාපොරොත්තුසහගත දවසක්

වර්ෂ 2011 මාර්තු 12වන දින 130වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ පැවරුම් ලබා දෙන අවස්ථාවට ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියන් සමඟ තවත් 8,500කට අධික පිරිසක් සහභාගි වුණා. පැමිණ සිටි සියලුදෙනා දෑස් දල්වාගෙන බලා සිටියේ ඊළඟට සිදු වන්නේ කුමක්ද කියායි. තව සුළු මොහොතකින් මෙම පාසැලෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යයන් බයිබලයේ ඇති තොරතුරු අන් අයට කියා දීමට ලොව පුරා විවිධ රටවලට යෑම සඳහා පැවරුම් ලැබීමට නියමිතයි. ඒ නිසා එදා දවස ගැන පමණක් නොව අනාගතය ගැනත් ඔවුන්ට බලාපොරොත්තු රාශියක් තිබුණා.

යෙහෝවා දෙවි “කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය”

යෙසායා 30:18හි ඇති අදහසට අනුව රැගෙන තිබූ ඉහත තේමාවෙන් යුත් කතාව ඉදිරිපත් කළේ වැඩසටහනේ සභාපති සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්රි ජැක්සන් විසිනුයි. ඔහුගේ කතාවෙන් සියලුදෙනාම දිරිගැන්වීමක් ලැබුවා. මාස ගණනාවක් පුරා මෙම පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යයන්ට ප්‍රශංසා කළ ඔහු එදින සිදු වීමට නියමිත දේවලින්ද ඔවුන් ප්‍රීති වන බව පැවසුවා. අනාගතය වෙනුවෙන් ශිෂ්‍යයන්ට තබාගත හැකි බලාපොරොත්තු ගැන යෙසායා 30:18 සිට 21 දක්වා ඇති තොරතුරු යොදාගෙන ඔහු කරුණු තුනක් කාවැද්දුවා.

මුලින්ම ඔහු පැවසුවේ “යෙහෝවා දෙවි ඔබේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන බවට ඔබ තුළ විශ්වාසයක් ඇති කරගන්න” කියායි. යෙසායා 30:19හි ඇති මෙම අදහස ඔහු එම කතාවේදී පැහැදිලි කළා. “ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය.” යෙහෝවා දෙවි අප එක් එක් කෙනාගේ යාච්ඤාවලට සවන් දෙන බව ඔහු පැවසුවා. ඒ වගේම ඔහු මෙසේද සඳහන් කළා. “අපගේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි, ‘අර පුද්ගලයා වගේ ශක්තිමත්ව ඉන්න ඔබට බැරි ඇයි’ කියා අපගෙන් අහන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු අප හැමෝම කරන යාච්ඤාවලට ඉතා ඕනෑකමින් සවන් දී ඒවාට පිළිතුරු දෙනවා.”

සහෝදර ජැක්සන් සඳහන් කළ දෙවෙනි කාරණය වන්නේ අප සියලුදෙනාටම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවයි. “අපට සැපපහසු ජීවිතයක් ලබා දෙන බව දෙවි පොරොන්දු නොවුණත් අපට අවශ්‍ය උපකාරය ලබා දෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා” කියා ඔහු පැවසුවා. ඊශ්‍රායෙල්වරුන් වෙනත් ජාතීන් යටතේ සිටින අවස්ථාවලදී ඔවුන්ට නිතරම දුක් කරදරවලට හා පීඩාවලට මුහුණ දීමට සිදු වන බව යෙසායා 30:20හි දෙවි පවසා තිබෙනවා. ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යයන්ටත් විවිධ අභියෝග හා ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවත් සමහර ඒවා ඔවුන් අපේක්ෂා නොකළ ඒවා විය හැකි බවත් ඔහු පැවසුවා. ඒ වුණත් ඒ සෑම අභියෝගයකටම හොඳින් මුහුණ දීමට දෙවි ඔවුන්ට උපකාර කරන බව ඔහු සඳහන් කළා.

තුන්වෙනි කරුණ ලෙස සහෝදර ජැක්සන් යෙසායා 30:20, 21හි ඇති තොරතුරු සඳහන් කරමින් පැවසුවේ “ඔබට මඟ පෙන්වීම් බලාපොරොත්තු විය හැකි නිසා එම මඟ පෙන්වීම් සොයන්න” කියායි. දෙවි බයිබලය හා ඒ මත පදනම් ප්‍රකාශන මාර්ගයෙන් අපට මඟ පෙන්වන විට සෑම ක්‍රිස්තියානියෙක්ම ඒවාට හොඳින් සවන් දිය යුතු බව ඔහු පැවසුවා. ඒ නිසා දිනපතා බයිබලය කියවන්න කියා ඔහු සෑම ශිෂ්‍යයෙකුටම උනන්දු කළා.

“ඔබ තුළ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි”

“යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි” කියා බයිබලයේ සඳහන් අදහස පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස් ඊළඟට විස්තර කළා. (2 ලේකම් 19:7) ඔහු එම පදය විස්තර කරමින් පැවසුවේ ගරුබිය කීමෙන් අදහස් කරන්නේ දෙවි අපට දඬුවම් කරයි යන හැඟීම නිසා ඇති වන බිය නොවෙයි. ඒ වෙනුවට එය දෙවිට දක්වන ගැඹුරු ගෞරවය හා ඔහුව අසතුටු කරන්න තිබෙන දැඩි අකමැත්තයි. ඒ නිසා හරි දේ කිරීමට අප තුළ මහත් ආශාවක් තිබෙනවා. සහෝදර මොරිස් ශිෂ්‍යයන්ට උනන්දු කළේ, “ඔබේ පැවරුම ඉටු කරන විට ඒ ආකාර ගරුබියක් ඔබ තුළ තබාගන්න” කියායි. දෙවි කෙරෙහි එවැනි ගරුබියක් ඇති කරගන්න පුළුවන් කොහොමද? එසේ කළ හැකි ක්‍රම දෙකක් ඔහු සඳහන් කළා.

එක් ක්‍රමයක් වන්නේ “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි” කියා බයිබලයේ සඳහන්ව ඇති උපදෙස අදාළ කරගැනීමයි කියා ඔහු පැවසුවා. (යාකොබ් 1:19) ශිෂ්‍යයන් මාස පහක කාලයක් පුරා බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙන නිසා ඔවුන් සියල්ල දන්නවා කියා පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතු බව ඔහු පැවසුවා. “වැදගත්ම දේ ඇහුම්කන් දීමයි. ඔබ යන සභාවේ සිටින අයට ඇහුම්කන් දෙන්න. සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අයට කීකරු වෙන්න. ඔවුන්ගේ රට සහ සංස්කෘතිය ගැන ඔවුන් පවසන දේට ඇහුම්කන් දෙන්න. ඔබ යමක් දන්නේ නැත්නම් ‘මම දන්නේ නැහැ’ කියා පවසන්න ලැජ්ජ වෙන්න එපා. ඔබ ඉගෙනගන්න තරමට ඔබ දැනගෙන ඉන්නේ ටිකක් බව ඔබ තේරුම්ගන්නවා” කියා ඔහු පැවසුවා.

දෙවෙනි කරුණ ලෙස සහෝදර මොරිස් පෙන්නුවේ හිතෝපදේශ 27:21හි සඳහන් මෙම අදහසයි. “රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ. එසේම, අන්‍යයන්ගෙන් ලබන ප්‍රශංසාව මගින් මිනිසෙකු කෙබඳු පුද්ගලයෙකුදැයි හෙළි වනු ඇත.” රිදී සහ රත්තරන්වල දිස්නය හා වටිනාකම වැඩි කිරීමට ඒවා පවිත්‍ර කරන්න අවශ්‍යයි. ඒ වගේම අන් අය අපට ප්‍රශංසා කරන විට අප වටිනා පුද්ගලයන් බව අපටම හැඟෙනවා. එවැනි අවස්ථාවලදී නිහතමානී වී දෙවි ලබා දී තිබෙන අප සතු හැකියාවන් ගැන දෙවිට ස්තුති කළ යුතුයි. මන්ද දෙවිගේ ප්‍රමිති රකින්න අප ගෙන තිබෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරන්න අන් අය අපට ප්‍රශංසා කරද්දී අපට පහසු වෙනවා. කොහොමවුණත් ප්‍රශංසාව ලැබෙද්දී අප අහංකාර වී දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය පලුදු කරගන්නත් පුළුවන්. ඒ නිසා අන් අය අපට ප්‍රශංසා කරද්දී දේවගරුබිය වැඩි කරගැනීමට එය අවස්ථාවක් කරගන්න.

“ඔබේ පැවරුම අගය කරන්න”

වැඩසටහනේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගයි පියර්ස් විසිනුයි. ඉහත තේමාව යටතේ ඔහු ඉදිරිපත් කළ කතාවේදී ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ අයව මිෂනාරිවරුන් ලෙස හඳුන්වන්නේ ඇයි කියා සඳහන් කළා. මිෂනාරිවරයෙක් කියන්නේ යම් කාර්යයක් සඳහා යවනු ලබන කෙනෙකු බවත් විවිධ සංවිධාන විවිධ කාර්යයන් කිරීම සඳහා පුද්ගලයන්ව යවනු ලබන බවත් ඔහු පැවසුවා. එසේ යවනු ලබන අය නොයෙකුත් සහන කටයුතු සඳහාත් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට දේශපාලන විසඳුම් ලබා දීම සඳහාත් අවධානය යොමු කරනවා. නමුත් ඔබව යවනු ලබන්නේ වෙනස් කාර්යයක් කිරීම සඳහා බව ඔහු පැවසුවා.

යේසුස්ගේ කාලයේ සිටි සමහර අයව යේසුස් සුව කළ ආකාරය ගැන ශිෂ්‍යයන් බොහෝ දේ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා කියා පැවසූ ඔහු ඒ සඳහා උදාහරණ කිහිපයක් සඳහන් කළා. යේසුස් දැරියකව සුව කළ අවස්ථාවේදී ඇගේ දෙමාපියන් “ඉමහත් ප්‍රීතියකින් ඉපිල” ගියා. (මාක් 5:42) ඒ වගේම අන්ධ අය ආශ්චර්යවත් ලෙස සුවය ලැබූ විට ඔවුන් මහත් සේ ප්‍රීති වුණා. යේසුස් එවැනි ආශ්චර්යවත් ක්‍රියා කිරීමට ප්‍රධාන හේතුවක් වුණේ අනාගතයේදී ඔහු කරන්න යන්නේ කුමක්ද කියා පෙන්වා දීමටයි. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන “මහත් සමූහයක්” අනාගතයේදී කිසිම අසනීපයක් නැති කාලයක ජීවත් වීමට නියමිතයි. (එළිදරව් 7:9, 14) ඒ වගේම ඒ කාලයේදී නැවත නැඟිටින අයත් ඔවුන්ට තිබූ සෑම අසනීපයකින්ම සුවයක් ලබනවා. ඒ කාලය මොන තරම් ප්‍රීතිමත් එකක් වේවිද කියා කථිකයා පැවසුවා.

කෙසේවෙතත් මිනිසුන්ට ඊට වඩා සුවයක් ලැබිය හැකි බව ඔහු විස්තර කළා. යේසුස් සුව කළ අය නැවත අසනීප වූ බවත් නැවත නැඟිටුණු අය නැවත මිය ගිය බවත් ඇස් පෙනීම ලැබූ අන්ධයන් නැවතත් මරණයේදී ඔවුන්ගේ ඇස් පියවූ බවත් ඔහු සඳහන් කළා. නමුත් යේසුස් සැබෑ දෙවිව දැන හඳුනා ගැනීමට මිනිසුන්ට උපකාර කිරීමෙන් ඒ අයට මහත් සහනයක් අත් කර දුන් බව ඔහු පැවසුවා. මෙම පාසැලෙන් පුහුණුව ලැබූ අයටත් ඒ කාර්යයම කිරීමට තිබෙනවා. දෙවිව දැන හඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට මෙම පාසැලෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යයන් මිනිසුන්ට උපකාර කළ යුතුයි. එසේ දෙවිව දැන හඳුනා ගත් අයට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ලැබෙනවා. යෙහෝවා දෙවි කැමති වන්නේ මිනිසුන් ඒ ආකාර සහනයක් අද්දකිනවාටයි. “ඔබගේ පැවරුම සාර්ථක වන්නේ එවිට පමණක්” බව සහෝදර පියර්ස් පැවසුවා.

තවත් විශේෂ සිදුවීම් තුනක්

එක්සත් ජනපද ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වන රොබට් රේන්ස් “අද දවස හොඳ දවසක් වේවිද” යන ප්‍රශ්නය සාකච්ඡා කළා. ඔහු ශිෂ්‍යයන්ට උනන්දු කළේ සෑම දවසක්ම හොඳ දවසක් කරගැනීමට උත්සාහ කළ යුතු බවයි. ඒ සඳහා කාලය හොඳින් භාවිත කිරීම, කනස්සල්ලට පත් වන අවස්ථාවලදී බයිබලයෙන් උපකාර ලබාගැනීම සහ යාච්ඤා කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසුවා.

“පැරණි දේ අලුත් කරන්න ඔබට හැකිද” යන ප්‍රශ්නය අසමින් ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන මාක් නූමැර් ඔහුගේ කතාව ආරම්භ කළා. ඔහු සාකච්ඡා කළේ 1 යොහන් 2:7, 8හි ඇති අදහසයි. යේසුස්ගේ ගෝලයන් පරාර්ථකාමී ලෙස අන් අයට ප්‍රේම කළ යුතුයි යන ආඥාව ‘පැරණි ආඥාවක්’ ලෙසත් “අලුත් ආඥාවක්” ලෙසත් එහි සඳහන් කර තිබෙනවා. (යොහන් 13:34, 35) එය පැරණි ආඥාවක් කියා හඳුන්වන්නේ යේසුස් තම ගෝලයන්ට එම ආඥාව දී දශක කිහිපයක් ගත වී තිබූ නිසා බව කථිකයා සඳහන් කළා. ඒ වගේම එය අලුත් ආඥාවක් වීමට හේතුවත් ඔහු පැහැදිලි කළා. එනම් කලින් අද් නොදුටු විවිධ අභියෝගවලට ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන නිසා ඔවුන් ඒ තත්වයන්ට අනුව අන් අයට ප්‍රේම කිරීමට හැකි විවිධ ක්‍රම අලුතෙන් ඉගෙනගැනීමට අවශ්‍ය වුණා. මිෂනාරිවරුන්ද අලුත් අභියෝගවලට මුහුණ දෙන නිසා අන් අයට ප්‍රේම කිරීමට හැකි විවිධ ක්‍රම සෙවිය යුතු බව කථිකයා සඳහන් කළා. එය කළ හැකි ප්‍රධාන ක්‍රමය කුමක්ද?

“යම් අවස්ථාවලදී අන් අය හැසිරෙන ආකාරයට ඔබ අකමැති නම් ඔබත් ඒ ආකාරයට හැසිරෙන්න එපා” කියා සහෝදර නූමැර් පැවසුවා. ඔබ එසේ හැසිරුණොත් ඔබ ඔබටම කරගන්නේ හානියක්. එසේ නොකර එවැනි අවස්ථාවලදී ප්‍රේමය පෙන්විය හැකි අලුත් ක්‍රම සෙව්වොත් අපට අන්ධකාර ලෝකයේ “සැබෑ ආලෝකය” විය හැකියි.

ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන මයිකල් බර්නෙට් “ඔබේ බර උසුලන්න” යන මාතෘකාවෙන් කතාවක් ඉදිරිපත් කළා. බර උසුලාගෙන යෑමට අප්‍රිකාවේ සිටින සමහර අය කරන දෙයක් ඔහු උදාහරණයක් ලෙස සඳහන් කළා. ඔවුන් රෙද්දක් ඔතා එය වළල්ලක ආකාරයට සකස් කර හිස මත තබා රැගෙන යෑමට අවශ්‍ය බර ඒ මත තබනවා. ඔවුන් එය හඳුන්වන්නේ කාටා කියායි. හිස මත තිබෙන බර සමබරව රැගෙන යෑමටත් අපහසුතාවකින් තොරව ඇවිදීමටත් ඒ නිසා ඔවුන්ට හැකි වෙනවා. ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ අයටත් තමන්ගේ පැවරුම් තුළ වගකීම් රාශියක් දරන්න සිදු වෙනවා. ඒ සඳහා ඔවුන්ටද එම වගකීම් දරන්න උපකාරයක් ලැබී තිබෙනවා. ඒ ඔවුන් ගිලියද් පාසැලෙන් ලැබූ පුහුණුවයි. ඔවුන් ඉගෙනගත් දේ අදාළ කරගන්නා විට ගැටලු අවම කරගෙන සමබරව ඔවුන්ගේ පැවරුම ඉටු කිරීමට ඔවුන්ට හැකි වන බව කථිකයා පැවසුවා.

අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා

ශිෂ්‍යයන් ගිලියද් පාසැලේ පුහුණුව ලබන කාලයේදී ශුභාරංචිය ප්‍රකාශ කිරීමේද හවුල් වුණා. උපදේශකයෙක් වන විලියම් සැමුයල්සන් ‘කිසි විවේකයක් නොගන්න’ යන මාතෘකාවෙන් ඉදිරිපත් කළ කතාවට ඔවුන් එහිදී ලැබූ අද්දැකීම්ද ඇතුළත් කළා. (දේශනාකාරයා 11:6) ගුවන් යානයේදී, අවන්හල්වලදී හා ඉන්ධන පිරවුම්හලට යන විටදී ශුභාරංචිය ප්‍රකාශ කළ ආකාරය ඔවුන් නිරූපණය කර පෙන්නුවා. ඔවුන් ගෙයින් ගෙට, මඟ තොටේදී හා ලිපි මාර්ගයෙන්ද ශුභාරංචිය ප්‍රකාශ කළා. ඇත්තෙන්ම ඔවුන් විවේකයක් නොගෙන එම සේවයේ හවුල් වූ නිසා බොහෝ ප්‍රතිඵල ලැබුණා.

වෙනත් රටවල සේවය කර බොහෝ අද්දැකීම් ලැබූ සහෝදරයන් තුන්දෙනෙකු සමඟ කෙනෙත් ස්ටෝවල් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. බැරී හිල් ඉක්වදෝරයේ සහ ඩොමිනිකන් රටේ සේවය කර තිබෙනවා. ඉඩී මොබ්ලේ, අයිවරි කොස්ට්වලත් ටැබ් හොන්ස්බර්ගර් හයිටි, සෙනිගාල් හා බෙනින් යන රටවලත් සේවය කර තිබුණා. ඔවුන් සියලුදෙනා සහභාගි වුණේ ‘යෙහෝවා දෙවිට සේවය කිරීමෙන් ආශීර්වාද ලබාගත හැකිද’ යන මාතෘකාවෙන් යුත් කතාවටයි. (මලාකි 3:10) සහෝදර හිල් ඔහුගේ අද්දැකීමේදී පැවසුවේ ඔහු සහ ඔහුගේ භාර්යාවට ඉක්වදෝරයේ දේශගුණයට හුරු වෙන එක අමාරු වූ බවයි. ඔවුන්ට රස්නය, දූවිලි සහ මඩ සහිත කාලවල සේවය කරන්න සිදු වුණා. පහසුකම් සහිත නාන කාමරවලට හුරු වී සිටි ඔවුන්ට බොහෝ කාලයක් බාල්දිවලින් වතුර ඇද නාන්න සිදු වුණා. ඒ කොහොමවුණත් ඔවුන් ඔවුන්ගේ පැවරුම අත්හරින්න හිතුවේවත් නැහැ. ඔවුන් නිතරම හිතුවේ එම පැවරුම යෙහෝවා දෙවි ලබා දී තිබෙන ආශීර්වාදයක් ලෙසයි. “ඒ පැවරුමෙන් අපි ලොකු සතුටක් ලැබුවා” කියා ඔහු පැවසුවා.

වැඩසටහන අවසානයේදී සියලු ශිෂ්‍යයන්ගේ අගය ප්‍රකාශ කරමින් ඔවුන් ලියූ ලිපියක් ශිෂ්‍යයෙක් විසින්ම පැමිණ සිටින අයට ඇසෙන්න කියෙව්වා. එහි මෙවැනි දෙයක් සඳහන් වුණා. “දෙවි කෙරෙහි අපට තියෙන විශ්වාසය දැන් තවත් ශක්තිමත් වෙලයි තියෙන්නේ. දිගටම ඒ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අවශ්‍යයි කියා අපි දන්නවා.” සියලුම ශිෂ්‍යයන්ට විවිධ රටවලට පැවරුම් ලැබුණා. සහෝදර ජැක්සන් වැඩසටහන අවසන් කරමින් ශිෂ්‍යයන්ට ස්ථිර ලෙස පැවසුවේ යෙහෝවා දෙවි ඔවුන්ට අවශ්‍ය උපකාරය ලබා දෙන බවට විශ්වාසයක් තබාගන්න කියායි. විශේෂයෙන්ම ඔවුන් අභියෝගවලට මුහුණ දෙන විට එවැනි විශ්වාසයක් ඇතුව සිටින්න කියා ඔහු උනන්දු කළා. පැමිණි සිටි සියලුදෙනා ශාලාවෙන් පිටව ගියේ බොහෝ බලාපොරොත්තු තබාගෙනයි. පැවරුම් ලැබූ සියලුම ශිෂ්‍යයන්ව යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරගන්න යොදාගන්න බවට කිසිම සැකයක් නැහැ.

[31වන පිටුවේ වගුව⁄සිතියම]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව 9

වයසේ සාමාන්‍යය 34.0

බව්තීස්ම වූ දා සිට ගෙවී ඇති වසර ගණනේ සාමාන්‍යය 18.6

පූර්ණකාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය 13.1

[සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පැවරුම් ලැබූ රටවල්

ආර්ජන්ටිනාව

ආර්මේනියාව

බර්කිනා ෆාසෝ

බුරුන්ඩි

කොංගෝව (කින්ෂාසා)

චෙච් සමූහාණ්ඩුව

හයිටි

හොං කොං

ඉන්දුනීසියාව

කෙන්යාව

ලිතුවේනියාව

මලයාසියාව

මොසැම්බික්

නේපාලය

පැපුවා නිව් ගිනියාව

රුමේනියාව

සෙනිගාල්

ටැන්සානියාව

උගන්ඩා

සිම්බාබ්වේ

[31වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 130වන පන්තිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) මොලීනා, ඉසෙඩ්.; බැසෙලීනෝ, එස්.; ඇලට්සිස්, සී.; ඒරොයියෝ, ඒ.; නින්යෝ, එල්.; මර්ක්ලින්, එස්.; ක්ලාක්, එම්.

(2) ලිට්ල්, සී.; ටිබෙඩෝ, එස්.; යාකොප්සන්, එස්.; මොරානෝ, ජේ.; රොඩ්රීගස්, ඒ.; ලී, කේ.; කාඩිනාස්, එච්.; ආගීලර්, එල්.

(3) ක්ලේබුෂ්, ඒ.; පෝල්, ඒ.; කැල්ඩ්වෙල්, එස්.; ආඩාමි, ජේ.; හිල්ඩෙබ්‍රාන්ට්, එස්.; ෂූමාකර්, අයි.; ග්රෝමෙන්, එන්.; ගාල්වෙස්, ජී.

(4) ක්ලාක්, ජේ.; බැසෙලීනෝ, ඒ.; පැකම්, කේ.; ආඩාමි, ජේ.; ක්නාඋස්, එම්.; නින්යෝ, එම්.; මොරානෝ, ආර්.; ගාල්වෙස්, ජේ.

(5) රොඩ්රීගස්, ඩී.; සේන්, එම්.; මොලීනා, ජේ.; ආගීලර්, ඒ.; ඇලට්සිස්, අයි.; මැනෝ, ඒ.; ග්රෝමෙන්, ආර්.; පැකම්, ජේ.

(6) සේන්, එස්.; කාඩිනාස්, එම්.; ඒරොයියෝ, සී.; මැනෝ, සී.; මර්ක්ලින්, ජේ.; ලී, එච්.; ක්ලේබුෂ්, එක්ස්.; යාකොප්සන්, පී.

(7) ලිට්ල්, ජේ.; හිල්ඩෙබ්‍රාන්ට්, බී.; ෂූමාකර්, එම්.; ක්නාඋස්, කේ.; කැල්ඩ්වෙල්, ජේ.; ටිබෙඩෝ, එෆ්.; පෝල්, සී.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න