පාඨකයන් අසයි
ළදරුවන්ව බව්තීස්ම කළ යුතුද?
▪ “මගේ මල්ලි පොඩි කාලෙම මැරුණ නිසා එයාව ශුද්ධ ගිනි ස්ථානයට දායි කියලා මම භයෙන් හිටියේ” කියා වික්ටෝරියා පැවසුවා. ඇයට එවැනි බියක් දැනුණේ ඇයි? ඊට හේතුව “මල්ලි මැරෙන්න කලින් බව්තීස්ම වෙලා හිටියේ නැති නිසා සදාකාලයටම එයාට ශුද්ධ ගිනි ස්ථානයේ ඉන්න සිදු වෙයි” කියා කතෝලික පූජකවරයෙක් ඇයට පවසා තිබීමයි. එම ඉගැන්වීම නිසා භයක් දැනීම සාධාරණයි. නමුත් බව්තීස්ම වෙන්න කලින් මිය යන ළදරුවන් ශුද්ධ ගිනි ස්ථානයේ දඬුවම් විඳිනවා කියා බයිබලයේ උගන්වනවාද?
ක්‍රිස්තියානියෙක් වීමට කැමති කෙනෙක් බව්තීස්ම විය යුතුයි කියා බයිබලයේ පවසනවා. ඒ සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසුවා. “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) ඉන් අදහස් කරන්නේ බව්තීස්ම වන කෙනෙක් යේසුස් ගැන ඉගෙනගත යුතු බව හා ඔහුව අනුගමනය කිරීමට තෝරාගත යුතු බවයි. ළදරුවෙකුට එවැනි දෙයක් කළ හැකිද?
යේසුස් දුන් එම ආඥාව කුඩා දරුවන්ටත් අදාළයි කියා සමහරුන් තර්ක කරනවා. ලූතරන් පල්ලියේ පූජකයෙක් වන රිචඩ් බුචර් මෙසේ පැවසුවා. “ළදරුවන් ඇතුළුව සියලුදෙනාම බව්තීස්ම විය යුතුයි. කෙනෙක්ව බව්තීස්මයෙන් වළක්වනවා කියන්නේ ඔහුට සමාව ලබාගැනීමට තිබෙන අවස්ථාව නැති කර අපායට යන්න පාර කපනවා වගේ වැඩක්.” එවැනි අදහස් යේසුස් පැවසූ ආඥාවට එකඟ නැහැ. ඊට හේතු තුනක් අපි දැන් බලමු.
මුල්ම කරුණ වන්නේ ළදරුවන්ව බව්තීස්ම කළ යුතුයි කියා යේසුස් නොපැවසීමයි. දෙවි මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා යේසුස් තම අනුගාමිකයන්ට නිතර නිතර ඉගැන්නුවා. ඔහු එසේ කළේ තම ඉගැන්වීම්වල නියම හරය ඔවුන්ට අවබෝධ කර දීමටයි. (මතෙව් 24:42; 25:13; මාක් 9:34-37; 10:35-45) කොහොමවුණත් ළදරුවන්ව බව්තීස්ම කළ යුතුයි කියා යේසුස් කිසිම අවස්ථාවක ඉගැන්නුවේ නැහැ. ළදරුවන්ව බව්තීස්ම කළ යුතුයි නම් උතුම් ගුරුවරයා වූ යේසුස් ඒ ගැන සඳහන් නොකර සිටියිද?
දෙවෙනි කරුණ වන්නේ මරණයෙන් පසු කිසිම කෙනෙක් දුක් විඳින බව යේසුස් නොපැවසීමයි. ‘ජීවත්ව සිටින අය කවදා හෝ මිය යන බවත් මිය ගිය අය කිසිවක් දන්නේ නැති’ බවත් යේසුස් හොඳින්ම දැන සිටියා. (දේශනාකාරයා 9:5) මිය ගිය කෙනෙක් ශුද්ධ ගිනි ස්ථානයක, අපායක, නිරයක හෝ වෙනත් ස්ථානයක දුක් විඳින්නේ නැති බව හොඳින්ම තේරුම්ගෙන සිටි ඔහු තම අනුගාමිකයන්ට ඉගැන්නුවේ මිය ගිය අය දීර්ඝ නින්දක පසු වන බවයි.—යොහන් 11:1-14.
තුන්වෙනි කරුණ වන්නේ ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම’ නැවත නැඟිටින බව යේසුස් ඉගැන්වීමයි. (යොහන් 5:28, 29) එසේ නැවත නැඟිටින අය අතර බව්තීස්ම නොවූ මිලියන ගණනක් සිටිනවා. එවැනි අයට නැවත නැඟිටීමෙන් පසු දෙවිගේ ප්‍රමිති ගැන ඉගෙනගෙන පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.a—ගීතාවලිය 37:29.
ළදරුවන්ව බව්තීස්ම කළ යුතුයි කියා බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැහැ.
[පාදසටහන]
a පාරාදීස පොළොව ගැන හා නැවත නැඟිටීම ගැන වැඩි විස්තර දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 3වන සහ 7වන පරිච්ඡේද බලන්න.