යේසුස් දේශපාලනයට සම්බන්ධ වුණාද?
දේශපාලනයට සම්බන්ධ වීමට යේසුස්ට බොහෝ අවස්ථා උදා වුණා. ඔහු බව්තීස්ම වූ පසු යක්ෂයා ඔහුට මුළු ලෝකයේම පාලකයා වීමේ අවස්ථාව ලබා දීමට උත්සාහ කළා. ඔහු දේවසේවය කරන කාලයේදී ඔහුව රජ බවට පත් කිරීමට ජනයා සූදානම් වුණා. ඔහුව විප්ලවවාදියෙක් කිරීමට උත්සාහ කළ පිරිසක්ද සිටියා. එවැනි අවස්ථාවලදී යේසුස් ක්‍රියා කළේ කොහොමද?
ලෝකයේ පාලකයා. යේසුස් ලෝකයේ පාලකයා වුණා නම් මිනිසුන්ගේ දුක නැති කරන්න ඔහුට මොන තරම් හැකියාවක් තිබුණාද කියා සිතා බලන්න. දේශපාලනයට සම්බන්ධ වීමෙන් මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳිය හැකියි කියා සිතන කෙනෙක් ලෝකයේ පාලකයා වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කරයිද? නැහැ. නමුත් යේසුස් එය ප්‍රතික්ෂේප කළා.—මතෙව් 4:8-11.
රජ. තමන් මුහුණ දෙන ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසඳිය හැකි පාලකයෙකුගේ අවශ්‍යතාව යේසුස්ගේ කාලයේ සිටි ජනයාට දැඩිව දැනුණා. යේසුස්ට ඒ සඳහා හැකියාවක් තිබෙන බව දුටු ජනයා ඔහුව තම පාලකයා ලෙස පත් කිරීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී යේසුස් ක්‍රියා කළ ආකාරය යොහන් මෙසේ වාර්තා කරනවා. මිනිසුන් තමන්ව “රජකමට පත් කිරීමට අදහස් කරගෙන සිටින බව තේරුම්ගත් යේසුස්, එතැනින් පිටත් වී නැවතත් තනිව කන්දට ගියේය.” (යොහන් 6:10-15) යේසුස් දේශපාලනයට සම්බන්ධ වීමට කොහෙත්ම කැමති නොවූ බව එයින් පැහැදිලියි.
විප්ලවවාදියෙක්. රෝම පාලනයෙන් නිදහස බලාපොරොත්තුවෙන් සිටි පරිසිවරුන් පිරිසක් රෝම පාලනයට පක්ෂව සිටි පිරිසක් සමඟ එකතු වී යේසුස්ගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඔවුන්ට අවශ්‍ය වුණේ එවකට පැවති පාලනය ගැන යේසුස්ගේ අදහස දැනගැනීමටයි. ඒ නිසා යුදෙව්වන් රෝමයට බදු ගෙවිය යුතුද කියා ඔවුන් යේසුස්ගෙන් ඇසුවා.
යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “ඔබ මගේ වරදක් අල්ලගන්න උත්සාහ කරන්නේ ඇයි? ඩිනාරි කාසියක් මට දෙන්න.” ඔවුන් කාසියක් දුන් විට “මෙහි තිබෙන රූපයත් නමත් කාගේද” කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවා. එවිට ඔවුන් “සීසර්ගේ” කියා පිළිතුරු දුන්නා. ‘එසේනම් සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න’ කියා යේසුස් පැවසුවා. (මාක් 12:13-17) යේසුස් එලෙස පිළිතුරු දීමට හේතුව ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ඔහු දේශපාලනය තුළින් ලෝකයේ ගැලවුම්කරු වීමට උත්සාහ කළේ නැහැ. ඔහු කළේ සීසර්ට අයිති දේ සහ දෙවිට අයිති දේ ගැන පැහැදිලි කිරීමක් පමණයි.”—Church and State—The Story of Two Kingdoms.
දුප්පත්කම, දූෂණය හා අසාධාරණය වැනි හේතුන් නිසා තැළී පොඩි වී සිටින ජනයා ගැන යේසුස්ට අනුකම්පාවක් නොදැනුණු බව ඉන් අදහස් කරන්නේ නැහැ. යේසුස්ට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් දැනුණා. (මාක් 6:33, 34) නමුත් විරෝධතා ව්‍යාපාරයක් මාර්ගයෙන් අසාධාරණය නැති කිරීමට ඔහු ක්‍රියා කළේ නැහැ. ඒ වගේ අවස්ථාවලට ඔහුව පටලවන්න සමහරු උත්සාහ කළත් ඔහු ඊට හසු වුණේ නැහැ.
ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ යේසුස් කිසිම ආකාරයකින් දේශපාලනයට සම්බන්ධ නොවූ බවයි. එසේනම් අද සිටින ඔහුගේ අනුගාමිකයන් කුමක් කළ යුතුද? දැන් අපි ඒ ගැන බලමු.