ජීවිත කතාව
දිදුලන තරුවක් වෙනවාට වඩා වටිනා දෙයක්!
යෞවන කාලෙදී මම තරුවක් වුණේ එක රැයකින්. 1984දී මට මිස් හොං කොං කිරුළ පැළැන්දුවා. ඊටපස්සේ සඟරාවල, පුවත්පත්වල මුල් පිටුවේ මගේ පින්තූරේ පළ වුණා. මම සින්දු කිව්වා, නැටුවා, කතා පැවැත්තුවා, ටීවී වැඩසටහන් කෙරුවා, වයිවර්ණ ඇඳුම් ඇන්දා, හොං කොං ආණ්ඩුකාරයා වගේ ලොකු ලොකු අය එක්කත් පෙනී හිටියා.
ඊළඟ අවුරුද්දේ චිත්‍රපටිවල රඟපාන්න පටන්ගත්ත මට අවස්ථා කීපයකදීම ප්‍රධාන චරිතය ලැබුණා. මාධ්‍යවේදීන්ට ඕන වුණා මගේ ජීවිත කතාව වාර්තා කරන්න. ඡායාරූප ශිල්පීන් මගේ පින්තූර ගත්තා. විවෘත කිරීමේ උත්සවවලටත් භෝජන සංග්රහවලටත් ආරාධනා ලැබුණා. ඒ හින්දා හැමෝගෙම අවධානයට මාව ලක් වුණා.
චිත්‍රපටියක රඟපාද්දී
ඒත් ඒක මං හිතුව විදිහේ ජීවිතයක් නෙමෙයි. මට ත්‍රාසජනක චිත්‍රපටිවල රඟපාන්න සිද්ධ වුණා. හොලිවුඩ් චිත්‍රපටිවල අවදානමක් තියෙන කොටස් හුඟක් වෙලාවට රඟපාන්නේ නළු නිළියන් නෙමෙයි පුහුණුව ලබපු වෙනත් අය. හැබැයි හොං කොං චිත්‍රපටිවල මම රඟපාද්දී කාර් එකක් උඩින් මෝටර් සයිකලයක් පන්නන එක වගේ අවදානම් දර්ශන මටම කරන්න සිද්ධ වුණා. ප්‍රධාන චරිතය රඟපාන්න සිද්ධ වුණේ දුරාචාරය, සැහැසියාව පෙන්වන චිත්‍රපටිවලයි. සමහර ඒවා භූතවාදයටත් සම්බන්ධයි.
1995දී මං චිත්‍රපටි නිෂ්පාදකයෙක් එක්ක විවාහ වුණා. මට කීර්තිය, ධනය ලැබිලා තිබුණත් ආදරණීය මහත්තයෙක් හිටියත් මං හිටියේ කලකිරිලා. ඉතින් මං තීරණය කළා රඟපෑමෙන් අයින් වෙන්න.
පුංචි සන්දියේ තිබුණ විශ්වාසය මතක් වෙයි
ඔය අතරේ පුංචි කාලෙදී දෙවියන්ව විශ්වාස කරපු හැටි මට මතක් වුණා. ඒ කාලෙදී හැම සෙනසුරාදාම අක්කායි මායි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පවුලක් බලන්න ගියා. ඒ පවුලේ තාත්තා ඒ කියන්නේ ජෝ අංකල් එයාගේ දුවලා තුන්දෙනයි අපි දෙන්නයි එක්ක බයිබල් පාඩමක් කළා. ඒ පවුල ප්‍රේමණීය පවුලක්. ජෝ අංකල් එයාගේ නෝනාටයි දරුවන්ටයි ගෞරවයෙන් සැලකුවා. එයාලත් එක්ක මම ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියේ හරිම ආසාවෙන්. අපි ලොකු සමුළුවලටත් ගියා. සාක්ෂිකරුවන් අතරේ ඉද්දී මගේ හිතට දැනුණේ ලොකු සැනසීමක්.
ඒත් අපේ ගෙදර තිබුණේ වෙනස්ම තත්වයක්. මගේ තාත්තාගේ ක්‍රියාකලාපය නිසා අම්මා හිටියේ හුඟක් කලකිරිලා. මට වයස අවුරුදු 10දී අම්මා සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන එක නැවැත්තුවා. එච්චර උනන්දුවක් තිබුණේ නැතත් මම රැස්වීම්වලට ගිහින් අවුරුදු 17දී බව්තීස්ම වුණා. ඒත් වැඩි කල් යන්න කලින් නරක හැසිරීමට වැටිලා මම සභාවෙන් ඈත් වුණා.
මට ඕන වුණා වෙනස් වෙන්න
මගේ විවාහයෙන් ටික කාලෙකට පස්සේ සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලන් දෙන්නෙක් මාව හම්බ වෙන්න ආවා. ආපහු යෙහෝවා දෙවියන් ළඟට එන්න පුළුවන් විදිහ පෙන්නුවා. ඊටපස්සේ මට උදව් කරන්න සින්ඩි කියන සහෝදරියව එව්වා. ඒ වෙද්දී මට දෙවියන් ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලයි තිබුණේ. ඒ නිසා මම එයාගෙන් ඇහුවා බයිබලය දේවවචනය කියලා ඔප්පු කරන්න පුළුවන්ද කියලා. බයිබලයේ තියෙන අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ එයා මට පෙන්නුවා. ටිකෙන් ටික මම සින්ඩිට කිට්ටු වුණා. බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් සාකච්ඡා කරන්න කැමතිද කියලා එයා ඇහුවාම මම හා කිව්වා. යෙහෝවා ප්‍රේමණීය දෙවි කෙනෙක්, අපි සතුටින් ඉන්නවා දකින්නයි ඔහුට ඕන කියලා මං තේරුම්ගත්තා.
ආයෙත් රැස්වීම් යන්න පටන්ගත්තාම සිනමා ක්ෂේත්රයේ ඉන්න අයගෙන් ලැබෙනවාට වඩා සාක්ෂිකරුවන්ගේ ආශ්රයෙන් සතුටක් ලැබුණා. ඒත් පොඩි කාලේ අද්දැක්ක දේවල් නිසා මං හිටියේ කාවවත් විශ්වාස කරන්න බැරි තත්වෙක. මට මං ගැනම තිබුණේ ලොකු කලකිරීමක්. ඒ වගේ හැඟීම්වලින් ගොඩ එන විදිහ සාක්ෂිකාරියක් මට බයිබලයෙන්ම පෙන්නලා දුන්නා. අවංක යාළුවන් හොයාගන්නත් ඉගෙනගත්තා.
දිදුලන තරුවක් වෙනවාට වඩා වටිනා දෙයක්
1997දී මමයි, මහත්තයායි ඇමරිකාවේ හොලිවුඩ්වල පදිංචියට ගියා. එහෙදී බයිබලයේ තියෙන ප්‍රයෝජනවත් දේවල් අනිත් අයට කියන්නයි මං වැඩියෙන් කාලය ගත කළේ. දිදුලන තරුවක් වුණ කාලෙට වඩා වැඩි සතුටක් ලැබුණේ බයිබලය උගන්නන එකෙන්. උදාහරණෙකට, හොං කොංවලදී දැනගෙන හිටිය ෂෙරීව 2002දී මට හම්බ වුණා. අපි දෙන්නගෙම ජීවිතවල හුඟක් සමානකම් තිබුණා. එයා මිස් හොං කොං වුණේ මට කලින් අවුරුද්දෙදී. මට කිරුළ පැළැන්දුවෙත් එයායි. එයාත් නිළියක් වගේම ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කරපු නිෂ්පාදකවරියක්. එයාත් හොලිවුඩ්වල පදිංචියට ඇවිත් හිටියා.
ෂෙරීගේ ආදරවන්තයා හදිසි හෘදයාබාධයකින් මැරුණා කියලා දැනගත්තාම මට ෂෙරී ගැන හුඟක් දුක හිතුණා. එයාගේ ආගමික විශ්වාසයන්වලිනුත් එයාට සැනසීමක් ලැබුණේ නැහැ. මං වගේම එයාත් දිදුලන තරුවක් වෙලා හිටියත් දුකෙන් අනිත් අයව විශ්වාස කරන්න බැරි තත්වයකයි හිටියේ. බයිබලයෙන් ඉගෙනගෙන තිබුණු දේවල් එයාට කිව්වත් බෞද්ධ පසුබිමක හිටිය නිසා එයාට ඒවා තේරුම්ගන්න අමාරු වුණා.
මගේ යාළුවා ෂෙරී, රූගත කිරීමක් කරද්දී
2003දී දවසක් ෂෙරී කැනඩාවේ ඉඳලා කතා කළා. එයා චිත්‍රපටියක් කරන්නයි ගිහින් හිටියේ. ගම්බද පැත්තක සිරි නරඹමින් වාහනෙන් යද්දී එයා එකපාරටම හයියෙන් යාච්ඤා කරලා “සැබෑ දෙවියන් කවුද කියලා මට කියන්න. දෙවියනි ඔබේ නම මොකක්ද” කියලා අහලා තියෙනවා. ඒත් එක්කම එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් පහු කරලා. යෙහෝවා කියන නම දැක්කාම එයාට හිතිලා තියෙනවා දෙවියන් එයාගේ යාච්ඤාවට උත්තර දුන්නා කියලා. එයාට ඕන වුණා ඉක්මනින්ම සාක්ෂිකරුවන්ව හම්බ වෙන්න. මම ඒකට සැලසුම් යෙදුවා. ඉක්මනින්ම වැන්කුවර්වල තියෙන සාක්ෂිකරුවන්ගේ චීන භාෂාව කතා කරන සභාවක රැස්වීම්වලට යන්න එයා පටන්ගත්තා.
“මේ අය මං ගැන උනන්දුවක් දක්වන්නේ අවංකවමයි. මට හැඟෙන දේවල් එයාලට කියන්න මට පුළුවන්” කියලා ෂෙරී දවසක් කිව්වා. ඒක අහන්න ලැබුණ එක ලොකු සතුටක්. මොකද සිනමා ක්ෂේත්රයේදී එයා යාළුවෝ ඇති කරගත්තේ නැහැ. ෂෙරී දිගටම රැස්වීම්වලට ගියා. ඒත් 2005දී චීනයේ චිත්‍රපටි දෙකක් නිෂ්පාදනය කරන්න එයා ගිවිසුමකට අත්සන් කළා. ඒ හින්දා ආපහු එයාට හොං කොංවලට යන්න සිද්ධ වුණා. කියන්න සතුටුයි 2006දී ෂෙරී එයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා හොං කොංවල සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී බව්තීස්ම වුණා. වැඩියෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න එයා කැමති වුණත් චිත්‍රපටි කර්මාන්තයේ වැඩ හින්දා එයා හිටියේ සතුටින් නෙමෙයි.
අනිත් අයට උදව් කරලා ලැබුණ සතුට
2009දී ෂෙරීගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. එයා තීරණය කෙරුවේ චිත්‍රපටි කර්මාන්තයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යෙහෝවා දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරන්නයි. එයාට සභාවෙන් අලුත් යාළුවෝ ගොඩක් හම්බ වුණා. මිනිසුන්ට ශුභාරංචිය කියලා යහපත් ජීවිතයක් ලබාගන්න උදව් කරන එකෙන් එයා ලොකු සතුටක් ලැබුවා.—මතෙව් 24:14.
ෂෙරී තීරණය කළා නේපාලි භාෂාව ඉගෙනගෙන හොං කොංවල නේපාලි භාෂාව කතා කරන සාක්ෂිකරුවන්ගේ කණ්ඩායම්වලට උදව් කරන්න. සාමාන්‍යයෙන් නේපාල ජාතිකයන්ගේ සිරිත් විරිත් වෙනස් නිසාත් ඒ අයට ඉංග්‍රීසියි චීන භාෂාවයි වැඩිය කතා කරන්න බැරි නිසාත් හොං කොංවල ජනතාව ඒ අයව පහත් කරලයි සැලකුවේ. ඒ අයට බයිබලය ගැන ඉගෙනගන්න උදව් කරන එකෙන් ලොකු සතුටක් ලබනවා කියලා ෂෙරී කිව්වා. උදාහරණෙකට දවසක් ගෙයින් ගෙට සේවයේ යද්දී එයාට නේපාල කාන්තාවක් මුණගැහුණා. ඒ කාන්තාව යේසුස් ගැන ටිකක් දැනගෙන හිටියත් සැබෑ දෙවියන් වන යෙහෝවා ගැන කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ. යේසුස් යාච්ඤා කළේ ස්වර්ගයේ ඉන්න දෙවියන්ට කියලා ෂෙරී ඇයට බයිබලයෙන් පෙන්නුවා. සැබෑ දෙවියන් වන යෙහෝවාට යාච්ඤා කරන්න පුළුවන් කියලා දැනගත්තාම එයා ශුභාරංචිය ආසාවෙන් පිළිගත්තා. ඊටපස්සේ එයාගේ මහත්තයායි දුවයි දෙන්නාම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.—ගීතාවලිය 83:18; ලූක් 22:41, 42.
ෂෙරී අද
පූර්ණකාලීනව දේශනා කරන එකෙන් ෂෙරී සතුටු වෙන විදිහ දැක්කාම ‘ඇයි එයා කරනවා වගේ මටත් කරන්න බැරි’ කියලා හිතුණා. ඒ වෙද්දී මමත් හිටියේ හොං කොංවල. බයිබල් සත්‍යයන් අනිත් අය එක්ක බෙදාගන්න වැඩි කාලයක් දෙන්න මමත් තීරණය කෙරුවා. මිනිසුන්ට ඇහුම්කන් දීලා ඒ අයට දේවවචනය තේරුම්ගන්න උදව් කරද්දී මට ලොකු සතුටක් ලැබෙනවා.
මිනිසුන්ට ඇහුම්කන් දීලා ඒ අයට දේවවචනය තේරුම්ගන්න උදව් කරද්දී මට ලොකු සතුටක් ලැබෙනවා
උදාහරණයකට, වියට්නාම් ජාතික කාන්තාවකට බයිබල් පාඩමක් කරන්න මට අවස්ථාව ලැබුණා. එයා හිටියේ නිතරම ඇස්වල කඳුළු පුරෝගෙන කනගාටුවෙන්. ඒත් දැන් එයාට ජීවිතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. සභාවේ අය ආශ්‍රය කරන එකෙනුත් ලොකු සතුටක් ලබනවා.
ෂෙරීටයි මටයි දිදුලන තරු වෙනවාට වඩා වටිනා දෙයක් ලැබුණා. සිනමා ක්ෂේත්රයේදී කීර්තියක් ලැබුණත් ඊට වඩා වැඩි සතුටක් ලැබෙන්නේ යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට උගන්වලා ඔහුට ගෞරවයක් ලබා දෙන එකෙනුයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියන යේසුස්ගේ වචන අපි දෙන්නාටම අද සත්‍යයක් වෙලා!—ක්‍රියා 20:35.