යෙහෝවාගේ ආශීර්වාද අපව පොහොසත් කරවයි
1 පුද්ගලයෙකුගේ සාර්ථකත්වය මැනීම සඳහා බොහෝවිට යොදාගන්නා මිනුම් දණ්ඩ වන්නේ ඔහු ලබන වැටුපයි. මේ නිසා බොහෝදෙනෙක් සිතන්නේ සන්තෝෂවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ හුඟක් සල්ලි තිබෙන අය කියායි. කොහොමවුණත්, සන්තෝෂයට මඟ මුදල් කියා කෙනෙක් සිතනවා නම් ඒක ලොකු වැරදීමක්. මන්ද මිනිසුන්ට තමන් බලාපොරොත්තු වුණ සතුට මුදලින් ලබාගන්න හැකි වී නැහැ. (දේශ. 5:12) ද්‍රව්‍යමය වස්තු හිමි කරගනිමින් “ධනවත් වීමට අදිටන් කරගෙන” කටයුතු කරන අය කල්පවතින සතුට අද්දැක නැහැ. (1 තිමෝ. 6:9, NW) මීට වෙනස්ව, යෙහෝවාගේ සේවකයන් සැබෑ සතුට අද්දකිනවා. ලෝකයේ සිටින ධනවත්ම අය ඔවුනුයි. (හිතෝ. 10:22; එළි. 2:9) එහෙම වෙන්නේ කොහොමද?
2 අප සතු ධනයට සාක්ෂි: අපි ආත්මික කාරණා පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා තිබෙන අතර, දෙවිගේ වචනය වන බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගෙන තිබෙනවා. යෙහෝවා අපිට කල්පවතින ප්‍රයෝජන අත් කර දීම සඳහා ඔහුගේ භූමික සංවිධානය මාර්ගයෙන් ඔහු ගැනත් ඔහුගේ පුත්‍රයා ගැනත් අපිට දිගටම උගන්වනවා. අප සතු නිවැරදි අවබෝධය නිසා අපිට හැකි වී තිබෙනවා යෙහෝවාට ළං වී ඔහු සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගැනීමට. (යාකො. 4:8) හරි වැරැද්ද අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමෙන් හා දෙවිගේ නීතිවලට අනුව ජීවත් වීමෙන්, අපට සමහර රෝගවලින් හා අනතුරුවලින් ආරක්ෂා වීමට හැකි වී තිබෙනවා. යෙහෝවා අපේ අවශ්‍යතා සපුරාලන බවට නිසැකකමක් අපිට තිබෙන නිසා අපි සාමකාමී මනසක් ඇතුව තෘප්තිමත් දේවභක්තික ජීවිතයක් ගත කරනවා.—මතෙ. 6:33.
3 අපි දෙවිගේ ආත්මයේ ඵල වර්ධනය කරගැනීමට වෑයම් කරන නිසා අපේ ආත්මික සහෝදර සහෝදරියන් අතර පවතින සාමය හා සමගිය අපි අද්දකිනවා. ප්‍රේමයේ ප්‍රබල බැම්මෙන් බැඳී එක්සත්ව සිටින නිසා අපි යම් විපත්තිවලට මුහුණ දෙන විට, දෙවි හා අපේ සහෝදරයන් අපිව අත්හැර තිබෙන බව හැඟෙන්න අවශ්‍ය නැහැ.—ගලා. 6:10.
4 අපේ ජීවිතවලට සැබෑ අර්ථයක් හා අරමුණක් තිබෙනවා. ලොව පුරා සිදු වන රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට හවුල් වෙන්න ලැබීම උතුම් වරප්‍රසාදයක් ලෙස අපි සලකනවා. දෙවි සමඟ හොඳ සබඳතාවක් ඇති කරගැනීමට හා අපිත් සමඟ එකතු වී නිර්මල නමස්කාරයේ හවුල් වෙමින් දෙවිට සේවය කිරීමට අනිත් අයට උපකාර කිරීමෙන් අපි කල්පවතින සතුටක් භුක්ති විඳිනවා. අපි දේවසේවය සලකන්නේ අමිල වස්තුවක් හැටියටයි. එහි හවුල් වීමෙන් යෙහෝවාව ගෞරවයට පත් කිරීමට හැකි අතර, ඔහුගේ නාමය විශුද්ධවත් කිරීමටද එමගින් දායක වන නිසා අපට එයින් තෘප්තියක් දැනෙනවා. අපේ අනාගත බලාපොරොත්තුව ළඟදීම ඉටු වෙන බව අපි දන්නවා. දිගටම ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීමට එම බලාපොරොත්තුව අපිට මහත් රුකුලක් වෙනවා.
5 අගය පෙන්වීම: ලෝකයේ සිටින ධනවත්ම මිනිසුන් බවට අපව පත් කරන යෙහෝවාගේ ආශීර්වාද අපි සැමදා අගය කරන බව පෙන්වමු. (හිතෝ. 22:4) අපි භුක්ති විඳින දේවල් ගැන මෙනෙහි කිරීමට සෑම දවසකම කාලය ගන්නවා නම්, යෙහෝවාගේ අධිකතර ප්‍රේමය සඳහා ස්තුතිවන්ත වීමටත් දිගටම අපේ තනි භක්තිය ඔහුට පිරිනැමීමටත් අපි පෙලඹෙන බව නිසැකයි.