ඔබේ ශිෂ්‍යයාගේ හදවතට ළඟා වෙන්න
1 තමන් අණ කළ සියල්ලම “පවත්වන්ට” අන් අයට උගන්වන්න කියා යේසුස් ස්වර්ගයට යෑමට කලින් සිය ගෝලයන්ට පැවසුවා. (මතෙ. 28:19, 20) යම් කෙනෙක් ක්‍රිස්තුස් අණ කළ දේවල් “පවත්වන්ට” නම්, ඒ දේවල් ඔහුගේ හදවතට කාවැදිය යුතුයි. (ගීතා. 119:112) ඔබ යමෙකු සමඟ බයිබල් පාඩමක් කරනවා නම්, ඔහුගේ හෝ ඇයගේ හදවතට කතා කරන්න ඔබට හැක්කේ කෙසේද?
2 යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරන්න: ගෝලයන් සෑදීමේ වැඩය අපට පවරා තිබෙන්නේ දෙවියි. මෙම වැඩයෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීම රඳා පවතින්නේ අපේ හැකියාව මත නොව, දෙවිගෙන් ලැබෙන ආශීර්වාද මතයි. (ක්‍රියා 16:14; 1 කොරි. 3:7) මේ නිසා අන් අයට සත්‍යය ඉගැන්වීමේදී උපකාරය පතා යෙහෝවාට යාච්ඤා කිරීම ඉතාමත් වැදගත්.—යෙසා. 50:4.
3 ශිෂ්‍යයා විශ්වාස කරන දේවල් වටහාගන්න: ජනයා විශ්වාස කරන දේවල් හා එයට හේතු දැනගැනීමෙන් ඔවුන්ගේ හදවත්වලට ළඟාවීම සඳහා කිව යුත්තේ කුමක්ද කියා තීරණය කළ හැකියි. යම් ඉගැන්වීමක් කෙරෙහි ශිෂ්‍යයාගේ සිත ඇදී ගොස් තිබෙන්නේ ඇයි? ඔහු විශ්වාස කරන දේවල් සත්‍යයයි කියා ඒත්තුගැනීමට ඔහුට බලපා තිබෙන්නේ මොනවාද? මෙවැනි දේවල් දැන සිටීමෙන් විචාර බුද්ධිය පාවිච්චි කරමින් ඔහු සමඟ කතා කළ හැකියි.—ක්‍රියා 17:22, 23.
4 ශුද්ධ ලියවිලි මත පදනම් විෂයක් තර්කානුකූලව ගොඩනඟාගන්න: සත්‍යය ඇත්තෙන්ම තමන්ගේ ජීවිතයට අර්ථවත් යමක් බව ශිෂ්‍යයාට තේරුම් යා යුතුයි. (ක්‍රියා 17:24-31) ඒ සඳහා අපේ බලාපොරොත්තුව සම්බන්ධයෙන් පැහැදිලි හේතු අප ඉදිරිපත් කළ යුතුයි. (1 පේතෘ. 3:15) කොහොමවුණත්, මෙය කිරීමේදී සැමවිටම කාරුණික වන්න. ඉවසිලිමත් වන්න.
5 උපහැරණ යොදාගනිමින් උගන්වන දෙයෙහි බලය වැඩි කරන්න: උපහැරණ යොදාගන්න විට, ශිෂ්‍යයාට කරුණු හොඳින් තේරුම්ගත හැකිවනවා පමණක් නොව, ඒවා මගින් ඔහු තුළ පෙලඹවීමක්ද ඇති කරයි. උපහැරණ මනසට මෙන්ම හදවතට බලපෑම් කරයි. යේසුස් උගන්වන විට නිතරම උපහැරණ යොදාගත්තා. (මාක්. 4:33, 34) උපහැරණයක් බලපෑමෙන් යුක්ත වීමට නම්, සාකච්ඡා කරනු ලබන කරුණට එය අදාළ විය යුතු අතර, ශිෂ්‍යයාගේ ජීවිතයටද එය සම්බන්ධ විය යුතුයි.
6 සත්‍යය පිළිගැනීමෙන් අත් වන ප්‍රයෝජන පෙන්වා දෙන්න: තමන් ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමෙන් තමන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියා දැනගන්න මිනිස්සු කැමතියි. දෙවන තිමෝති 3:14-16 දක්වා සඳහන් පාවුල්ගේ වදන්වලින් පිළිබිඹු වන ප්‍රඥාව තේරුම්ගැනීමට ඔබේ ශිෂ්‍යයාට උපකාර කරන්න.
7 ඔබ උගන්වන දේවලට සමහර අය හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට, අධෛර්ය වෙන්න එපා. සෑම කෙනෙක්ම සත්‍යය පිළිගන්නේ නැහැ. (මතෙ. 13:15) කොහොමවුණත්, සමහර අය ඇදහිලිවන්තයන් බවට පත් වෙන බව මතක තබාගන්න. (ක්‍රියා 17:32-34) ශුභාරංචිය සමඟින් මිනිසුන්ගේ හදවත් කරා ළඟාවීමට ඔබ දරන වෑයම්වල ප්‍රතිඵලයක් වශයෙන් තව බොහෝදෙනෙක් සත්‍යය පිළිගෙන යේසුස් අණ කළ දේවල් ‘පවත්වන්නන්’ බවට පත් වේවා!