ක්‍රිස්තියානි ඇසුර කොතරම් වැදගත්ද!
1 “කිසිම මිනිසෙකු පාළු දූපතක් නොවේ.” දහහත්වන සියවසේ සිටි කවියෙකු පැවසූ එම කියමනෙන් ප්රතිරාවය කෙරෙන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක් ගැන බයිබලයේ සඳහන් වන දෙයයි. ඒ අවශ්‍යතාව නම්, ඇසුරයි. (හිතෝ. 18:1) අපේ ආත්මික සහෝදර සහෝදරියන් සමඟ කරන ඇසුරු කිරීමෙන් එම අවශ්‍යතාව සපුරාගන්න පුළුවන්. ඒ කිනම් ප්‍රයෝජනදායක ආකාරවලින්ද?
2 දේවසේවයේදී: අප සේවයේ හවුල් වෙද්දී, සෙසු සහෝදර සහෝදරියන් අපව ශක්තිමත් කරමින් අපට සහය වෙනවා. මෙය අප දේවසේවයෙන් ප්‍රයෝජන ලබන එක් ප්‍රධාන ආකාරයක් වෙයි. යේසුස් ඔහුගේ ගෝලයන්ව “දෙදෙනා බැගින්” දේශනා කරන්න පිටත් කර හැරියා. (මාක්. 6:7; ලූක් 10:1) ඒ ක්රමයම අනුගමනය කරමින් අපි අපේ සහෝදර සහෝදරියන් සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙද්දී දේශනාකාරයා 4:9, 10හි සඳහන් වදන්වල සත්‍යතාව අද්දකිනවා. අප එකට එක්ව දේවසේවයේ හවුල් වෙද්දී අපේ ඇදහිල්ල, කීකරුකම මෙන්ම අප හා එක්ව දෙවිට සේවය කරන අය කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය අප තුළ ධෛර්යක් ජනිත කරවයි. ඒ වගේම අපේ ජ්වලිතය දිගටම ප්‍රාණවත්ව තබයි.
3 පෞද්ගලිකව උපකාර ලැබීමෙන්: අපේ සහෝදරත්වය දිරිගැන්වීමේ උල්පතක් වන අතර, නොයෙකුත් පීඩන හා පරීක්ෂාවලට එරෙහිව සිටීම සඳහා මහත් උපකාරයක්ද වෙයි. අපි සිත්තැවුල්වලින් පෙළෙන විට, අපේ සෙසු සහෝදර සහෝදරියන් ඊට අදාළ ශුද්ධ ලියවිලි පාඨයන් අපේ අවධානයට ලක් කරවන්න පුළුවන්. අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා වගේ ඔවුනුත් අපි වෙනුවෙන් යාච්ඤා කරාවි. (2 කොරි. 1:11) ඔවුන්ගේ හොඳ ආදර්ශ අපව යහපත් ක්‍රියාවලට පොලඹවන අතර, අපට මහත් ශක්තියක්ද වෙයි.
4 රැස්වීම්වලදී: අපි නිතිපතා රැස්වීම්වලට පැමිණෙනවා නම් ක්‍රිස්තියානි ඇසුරේ ආශීර්වාද භුක්ති විඳින්න පුළුවන්. (හෙබ්‍රෙ. 10:24, 25) රැස්වීම්වලින් අපි ආත්මික කාරණා ගැන හුඟාක් දේවල් ඉගෙනගන්නවා. ඒ වගේම රැස්වීම්වලට පැමිණීමෙන් අපේ ආත්මික සහෝදර සහෝදරියන්ට තවත් ළං වෙන්නත් අපට පුළුවන්. ඔවුන් වේදිකාවේ සිට හෝ සබයේ සිට තමන්ගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරද්දී, ඒවාට සවන් දීමේ අවස්ථාව රැස්වීම්වලදී අපට ලැබෙනවා. (රෝම 1:12) රැස්වීම්වලට කලින් හා පසුව අපි සහෝදරයන් එක්ක කතා බහ කරද්දී අපේ ඇසුර හා බැඳීම තවත් ශක්තිමත් වෙනවා. ඇදහිල්ල ගොඩනංවනසුලු අපේ අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න රැස්වීම්වලදී අපට අවස්ථාව ලැබෙනවා. යෙහෝවාට, ඔහුගේ වචනයට, ඔහුගේ සේවයට හා ඔහුගේ සෙනඟට ආදරය කරන අය සමඟ අපි අවංක චේතනාවෙන් ඇසුරු කරද්දී අපි එක් එක්කෙනා ලබන ප්‍රයෝජන අපමණයි.—පිලි. 2:1, 2.
5 සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇසුර අපට අවශ්‍යයි. ඔවුන් නැතුව ජීවනයට යන පටු පාරේ ගමන් කිරීම හුඟාක් අමාරුයි. ඔවුන්ගේ ප්‍රේමය හා දිරිගැන්වීම ලැබෙන නිසා අපිට පුළුවන් යෙහෝවා පොරොන්දු වී තිබෙන ධර්මිෂ්ඨ නව ලොව කරා දිගටම ගමන් කරන්න.—මතෙ. 7:14.