විඳදරාගැනීමෙන් යහපත් ඵලවිපාක නෙළාගත හැකියි
1 “ඔබේ විඳදරාගැනීම නිසා ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේය.” (ලූක් 21:19) “සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය” සම්බන්ධව යේසුස් කී අනාවැකියේ කොටසක් වන එම වචනවලින් පැහැදිලිව පෙන්වන්නේ, අපගේ විශ්වාසවන්තභාවය රැකගැනීමේදී අප බොහෝ පරීක්ෂාවලට මුහුණ දීමට සූදානම්ව සිටිය යුතු බවය. නමුත් යෙහෝවාගේ ශක්තියෙන් අප සෑම කෙනෙකුටම ‘අවසානය දක්වා විඳදරාගෙන සිටීමෙන් ගැලවීම ලැබිය හැකියි.’—මතෙ. 24:3, 13; ෆිලි. 4:13; NW.
2 පීඩාවන්, සෞඛ්‍ය ගැටලු, ආර්ථික ප්‍රශ්න සහ මානසික ප්‍රශ්න යන මේ සියල්ල නිසා සෑම දවසක්ම අපට අභියෝගයකි. එහෙත්, අප යෙහෝවාට දක්වන පක්ෂපාතකම බිඳීමට සාතන් උත්සාහ කරමින් සිටින බව අප කිසිම දවසක අමතක නොකළ යුතුය. අපගේ පියාණන්ට සෑම දවසකම පක්ෂපාතව සිටින විට, අපහාස කරන්නාගේ අභියෝගයට අපි උත්තරයක් දෙන්නෙමු. අප පරීක්ෂාවන්වලට මුහුණ දෙන විට අප හෙළන “කඳුළු” අමතක කරනු නොලබන බව දැනගැනීමට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද! එම කඳුළු යෙහෝවාට ඉතා අනර්ඝය. තවද අප විශ්වාසවන්තභාවය රැකගෙන සිටීමෙන් ඔහුගේ සිත සතුටු වෙයි!—ගීතා. 56:8; හිතෝ. 27:11.
3 පරීක්ෂා මගින් සිදු වන යහපත: පරීක්ෂාවලට අප මුහුණ දෙන විට අපගේ ඇදහිල්ල දුර්වල වී ඇති බව හෝ යම් ආඩම්බරකමක් නැතහොත් නොඉවසිලිවන්තකමක් අපට ඇති බව හෝ පෙනෙන්නට පුළුවන. ශුද්ධ ලියවිල්ලට පටහැනි ක්‍රම අනුගමනය කිරීමෙන් පරීක්ෂාවලින් බේරීමට හෝ ඒවා වැළැක්වීමට උත්සාහ කරනවා වෙනුවට, “විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට” දේවවචනයේ දී ඇති උපදෙසට අප අවනත විය යුතුයි. ඒ මන්ද? පරීක්ෂා විශ්වාසවන්ත ලෙස විඳදරාගැනීමෙන් ‘සම්පූර්ණව, සෑම ආකාරයකින්ම දෝෂ නැතිව සිටීමට’ අපට හැකි වෙන නිසාය. (යාකො. 1:2-4, NW) තවද එලෙස විඳදරාගැනීමෙන් අපට වඩාත් සාධාරණව, අනුකම්පාවෙන් හා දයාවෙන් ක්‍රියා කිරීමට අපට හැකියි. මේ හේතුවෙන් අපගේ පෞද්ගලිකත්වය තුළින් වටිනා ගුණාංග දිස්වීමට පටන් ගනී.—රෝම 12:15.
4 පරීක්ෂාවට ලක්වීමෙන් ඔප්පු වුණු ඇදහිල්ල: අප පරීක්ෂාවලට මුහුණ දෙන විට, දෙවි ඉදිරියේ ඉතා වටිනා බවට ඔප්පු වූ ඇදහිල්ලක් අප සතු වේ. (1 පේතෘ. 1:6, 7) එවන් ඇදහිල්ලක් තිබීමෙන් ඉදිරියේදී ඇති වන පරීක්ෂාවලදී ස්ථිරව සිටීමට අපට හැකියාව ලැබේ. එපමණක්ද නොව, අපට දෙවිගේ අනුමැතිය තිබෙන බව හැඟෙන අතර, මේ මගින් අපගේ බලාපොරොත්තුව ශක්තිමත් වේ. ප්‍රතිඵලයක් ලෙස ඒ බලාපොරොත්තුව ස්ථිර බවට වූ කාරණය අපට තවත් සනාථ වේ.—රෝම 5:3-5.
5 විඳදරාගැනීම නිසා ඇති වන අවසාන විපාකය අපට යාකොබ් 1:12හි [NW] කියවීමට තිබෙන්නේ මෙසේය. “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය. මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය.” මෙබැවින්, අපි යෙහෝවාට දක්වන භක්තිය නොකඩවාම පෙන්වමින් සිටිමු. තවද, “තමාට දිගටම ප්‍රේම කරන අයට” යෙහෝවා මහඟු ආශීර්වාද දානය කරන බවටත් නිසැක වෙමු.