දෙවිගේ මිතුරන් වීමට අන් අයට උපකාර කරන්න
1 අදත්, සියලු ජාතීන්ට අයත් ජනයාට යෙහෝවා දෙවිගේ මාර්ග ගැන ඉගෙනගන්න ලැබෙනවා. (යෙසා. 2:2, 3) නමුත්, එවන් අය ‘විඳදරාගනිමින් පල දැරීමට’ නම්, ඔවුන් යෙහෝවා දෙවිට ප්‍රේම කළ යුතුයි. (ලූක් 8:15; මාක් 12:30) එවන් ප්‍රේමයක් නැතිව, බාධක ජයගන්නට හෝ හරි දේට එඩිතරව සිටින්නට ඔවුන්ට ශක්තියක් ඇත්තේ නැහැ. යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හොඳ ක්‍රමයක් නම්, දෙවිගේ ගුණාංග ගැන අගයක් ඔවුන්ගේ සිත්වල ගොඩනංවා ගැනීමට උදව් කිරීමයි. මේ සඳහා, යෙහෝවාට ළං වන්න පොත කියවා එහි තොරතුරු ගැන මෙනෙහි කිරීමට දිරිගන්වන්න.
2 ඔබේ ආදර්ශය: ඔබ කරන දේවල් ඔබේ ශිෂ්‍යයන්ට තදින් බලපානවා. ඔබ දෙවි සමඟ ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය ඔබට වටින බවත්, එය ඔබේ ජීවිතයට බලපෑම් කළ ආකාරයත් ඔවුන් දකිද්දී, එවන් මිත්‍රත්වයක් ඇති කරගැනීමටද ඔවුන් පෙලඹෙනවා. (ලූක් 6:40) ඇත්තෙන්ම, අප කියන ඕනෑම දේකට වඩා, අප කරන දේයි අනිත් අයට තදින් බලපාන්නේ.
3 දෙමාපියන් විසින් දරුවන්ට ඉගැන්විය හැකි හොඳ ක්‍රමයක් නම් දෙමාපියන්ගේම ආදර්ශයයි. (ද්වී. 6:4-9) තම දරුවන්ව සත්‍යය තුළ හොඳින් ඇති දැඩි කිරීමට ආශා කළ එක් යුවළක්, සාර්ථකව දරුවන් ඇති දැඩි කළ දෙමාපියන්ගේ අවවාද පැතුවා. ඒ ස්වාමිපුරුෂයා මෙහෙම කිව්වා. “මම කතා කරපු හැම දෙමාපියෙකුම වාගේ කිව්වේ වඩාත්ම වැදගත් දේ දෙමාපියන්ගේ ආදර්ශය කියලයි.” මේ නිසා, දෙමාපියන් තම ජීවිතයෙන්, “යෙහෝවාගේ මිත්‍රයා” වීම කියන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට දරුවන්ට දකින්න සලස්වනවා නම්, එය ජීවමාන ආදර්ශයක් නොවේද?—යාකො. 2:23.
4 හෘදයාංගම යාච්ඤාව: ඒ වගේම හෘදයාංගම යාච්ඤා මගින්ද යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අනුන්ට උදව් කරන්න. යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව ගැනත් බයිබලයේ සඳහන් වෙනත් යාච්ඤා ගැනත් ඔබට කතා කළ හැකියි. (මතෙ. 6:9, 10) ඒ වගේම ඔබේ යාච්ඤා මගින්ද ඔවුන්ට යමක් ඉගැන්විය හැකියි. ඔවුන් ඔබේ හෘදයාංගම යාච්ඤා අසන විට, යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන හැඟීම් ඔවුන් දකීවි. පරීක්ෂා තිබෙන විට ‘නොකඩවා යාච්ඤා කිරීමේ’ වැදගත්කමද කාවද්දවන්න. (රෝම 12:12) අවශ්‍ය වේලාවේදී යෙහෝවා දෙවිගේ පිහිට උපකාර ඔවුන්ට ලැබෙද්දී ඔවුන් දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනඟා, ඔහුට ප්‍රේම කර මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නවා ඇති.—ගීතා. 34:8; ෆිලි. 4:6, 7.