ප්‍රශ්න පෙට්ටිය
◼ සාක්ෂිකරුවන්ගෙන් සමන්විත ඇතැම් ස්වාධීන කණ්ඩායම් එකතු වී බයිබලය ගැන පර්යේෂණවල මෙන්ම වාද විවාදවලද නියැලෙනවා. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” එවැනි කණ්ඩායම් අනුමත කරනවාද?—මතෙ. 24:45, 47.
කොහෙත්ම නැහැ. ඇතැම් රටවල සිටින සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් ඇතැම් විෂයන් ගැන පර්යේෂණ කිරීමට ස්වාධීන කණ්ඩායම් හැටියට සංවිධානය වී සිටිනවා. සමහරුන් ස්වාධීන කණ්ඩායමක් හැටියට නව ලොව පරිවර්තනයේ නිරවද්‍යතාව සොයා බැලීමේ අරමුණින් බයිබලයේ හෙබ්‍රෙව් හා ග්‍රීක යෙදුම් ගැන අධ්‍යයනය කරනවා. තවත් කණ්ඩායම් බයිබලයට සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගවේෂණය කරනවා. මෙවැනි කණ්ඩායම් තමන්ගේ අදහස් හුවමාරු කරගැනීමේ හා තම මත ගැන වාද විවාද කිරීමේ අරමුණින් වෙබ් අඩවි හා සංවාද කුටි සකස් කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, තමන් සොයාගත් කරුණු බෙදාගැනීමට සාකච්ඡාවන්ද පවත්වා තිබෙන අතර ඒවා ගැන ප්‍රකාශනද පළ කර තිබෙනවා. අපේ රැස්වීම්වලින් හා පොත් පත් සඟරාවලින් ඉදිරිපත් කරන තොරතුරු ගැන අමතර විස්තර ඇතුළත් අතිරේක ලිපිද ඔවුන් පළ කර තිබෙනවා.
ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සෙනඟට රැස්වීම්වලින්, එක්රැස්වීම්වලින්, සමුළුවලින් මෙන්ම දෙවිගේ සංවිධානයෙන් පළ කරන ප්‍රකාශනවලින් බයිබලය ගැන දැනුම් සම්භාරයක් සපයනු ලබනවා. යෙහෝවා දෙවි ඔහුගේ බලයද ඔහුගේ වචනය වන බයිබලයද යොදාගනිමින් ඔහුගේ නමස්කාරකයන්ට අවශ්‍ය දේ නොඅඩුව සපයනවා. මෙහි එක් අරමුණක් නම් ඔහුගේ සෙනඟ “එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත්ව” සිටීම හා “ඇදහිල්ලේ ස්ථිරව” සිටීමයි. (1 කොරි. 1:10; කොලො. 2:6, 7) මේ අන්තිම දවස්වල දෙවි සපයන ඇදහිල්ල ශක්තිමත් කරන සැපයුම් අපි සැමෝම අගය කරන බව නිසැකයි. මේ නිසා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ඔවුන්ගේ අධීක්ෂණයකින් තොරව පළ කර ඇති පොත් පත් සඟරා මෙන්ම රැස්වීම් හෝ වෙබ් අඩවි අනුමත කරන්නේ නැහැ.—මතෙ. 24:45-47.
ශුභාරංචියේ වර්ධනයට දායක වීම සඳහා තමන්ගේ සිතීමේ හැකියාව පාවිච්චි කරන අයව අපි අගය කරනවා. කෙසේවෙතත් කිසිම කෙනෙක් තමන් පෞද්ගලිකව කරන දේවල් නිසා යේසුස් අද දින තිබෙන ඔහුගේ සභාව මගින් ඉටු කරන කාර්යයන් කෙරෙහි තිබෙන අගය අඩු වීමට හේතුවක් නොවිය යුතුයි. මුල් සියවසේදී ඇතමුන් බොහෝ කාලයක් හා වෙහෙසක් දරමින් යම් කාරණා ගැන සොයා බැලීම ගැන පාවුල් අනතුරු ඇඟෙව්වා. උදාහරණයක් ලෙස ‘පර්යේෂණ කිරීම සඳහා ප්‍රශ්න මතු වන, ඇදහිල්ලට සම්බන්ධ දෙවිගෙන් වූ කිසිවක් ලැබෙන්නේ නැති’ පෙළපත් ගැන ඔහු සඳහන් කළා. (1 තිමෝ. 1:3-7) සෑම ක්‍රිස්තියානියෙකුම “මෝඩ ප්‍රශ්න කිරීම්වලින්ද පෙළපත් ගැන සොයා බැලීම්වලින්ද අඬ දබරවලින්ද, නීතිය ගැන වාද විවාදවලින්ද වැළකී සිටිය” යුතුයි. “මන්ද ඒවා නිෂ්ප්‍රයෝජනය, නිෂ්ඵලය.”—තීත. 3:9.
බයිබලය ගැන අමතර අධ්‍යයනයක් කිරීමට හෝ පර්යේෂණ කිරීමට කැමති අයට අපි නිර්දේශ කරන්නේ ඒ සඳහා ඉන්සයිට් (Insight on the Scriptures) පොත හෝ ‘මුළු ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය’ නමැති පොත් යොදාගන්න කියායි. ඊට අමතරව දානියෙල්, යෙසායා හා එළිදරව් වැනි බයිබලයේ සඳහන් අනාවැකි ගැන සාකච්ඡා කර තිබෙන පොත්ද පර්යේෂණ සඳහා යොදාගත හැකියි. බයිබලය ගැන අධ්‍යයනය කිරීම සඳහා ඕනෑ තරම් කරුණු ඒවායේ තිබෙනවා. ‘දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමෙන් පූර්ණ වී, සම්පූර්ණ ලෙස යෙහෝවාව සතුටු කිරීමේ අරමුණින්, ඔහුට ඔබින ලෙස ගමන් කිරීමේ හැකියාව මෙන්ම සියලු යහපත් ක්‍රියාවලින් පල දරමින්ද, දෙවි ගැන නිවැරදි දැනුමෙන් වර්ධනය වෙමින්ද සිටීමේ හැකියාව’ ඒවායින් ලබාගන්න පුළුවන්.—කොලො. 1:9, 10.