ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/10 3-4 පි.
  • අපව පොලඹවන්නේ ප්‍රේමයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපව පොලඹවන්නේ ප්‍රේමයයි
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 8/10 3-4 පි.

අපව පොලඹවන්නේ ප්‍රේමයයි

1. දේවසේවය සඳහා යේසුස්ව පෙලඹුවේ මොකක්ද?

1 යේසුස් තම පියාණන්ට ප්‍රේම කළ අතර සැමවිටම උත්සාහ කළේ ඔහුව සතුටු කරන්නයි. (යොහ. 14:31) ඒ වගේම දෙවිගේ කැමැත්ත කිරීම ඔහු සැලකුවේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම දෙය ලෙසයි. (යොහ. 4:34) වෙන කිසිම කෙනෙකුට වඩා දේවසේවය සඳහා විශාල පෙලඹීමක් ඔහුට තිබුණේ ඒ නිසයි. ඒ විතරක් නෙවෙයි, ඔහු මිනිසුන්ටත් ප්‍රේම කළා. විශාල සෙනඟක් “තෙරපෙමින් ඔහු පසුපස” පැමිණි විට වෙහෙස නොබලා ඔහු ඔවුන්ට උපකාර කළා. (මාක් 5:24) වරක් ඔහු විවේක ගැනීමට පාළු තැනකට ගිය විට මහත් සමූහයක් සිටිනවා දැක ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති වී ඔවුන්ට උගන්වන්න පටන්ගත්තා.—මාක් 6:31-34.

2. විරුද්ධවාදීන් යේසුස්ට කළ චෝදනා මොනවාද?

2 කෙසේවෙතත්, විරුද්ධවාදීන් යේසුස් ගැනත් ඔහුගේ චේතනා හා පණිවිඩය ගැනත් බොරු ප්‍රචාර පැතුරුවා. උදාහරණයක් හැටියට, බදු එකතු කරන පිරිසකට දෙවි ගැන සත්‍යය කියා දෙමින් ඔවුන් සමඟ එකට ආහාර ගත් නිසා පරිසිවරුන් ඔහුට විරුද්ධව චෝදනා කළේ ඔහු ‘කෑදර, වයින් බීමට ලොල් වූ, බදු එකතු කරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්’ ලෙසයි. (මතෙ. 11:19; ලූක් 5:27-30) යේසුස්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සෙනඟ මෙසේ කියා කෑගැසුවා. “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා. ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා.” (ලූක් 23:2) නමුත් යේසුස් විරුද්ධවාදීන් නිසාවත් බොරු ප්‍රචාරයන් නිසාවත් කලකිරුණේ නැහැ. ඒ වෙනුවට ඔහු දිගටම උද්‍යෝගයෙන් සේවය කළා.

3. ශ්‍රී ලංකාවේ සිටින සාක්ෂිකරුවන් ගැන පතුරුවන කටකතා මොනවාද?

3 අද පතුරුවන කටකතා: අප සේවය කරන්නේ දෙවිට හා අසල්වැසියන්ට තිබෙන ප්‍රේමය නිසා වුණත් විරුද්ධවාදීන් ඒ ගැන කටකතා පතුරුවනවා. උදාහරණයක් හැටියට, මිනිසුන්ව ක්‍රිස්තියානි ආගමට හරවගන්න බටහිර රටවල ආණ්ඩු ලංකාවේ සිටින සාක්ෂිකරුවන්ට ආධාර කරනවා කියා හෝ අපි ගෙයින් ගෙට යන්නෙ ගෙවන හින්දයි කියා හෝ චෝදනා කරනවා. අපි මිනිසුන්ට සල්ලි දෙනවා, ගෙවල් හදලා දෙනවා, රස්සාවල් හා වෙනත් ආධාර දෙනවා කියාත් සමහරු කියනවා. “ක්‍රිස්තියානි” කියා හඳුන්වන හැමෝම එකම ආගමේ සාමාජිකයන් කියා සිතන සමහරුන් අපත් ක්‍රිස්තියානි පල්ලිවල හෝ සභාවල සාමාජිකයන් කියා සිතනවා. ක්‍රිස්තියානීන් කියා හඳුන්වන සියලුදෙනාවම කතෝලික පල්ලිය මගින් නියෝජනය කරන නිසා සාක්ෂිකරුවනුත් කතෝලික ආගමට සම්බන්ධයි කියා වරදවා සිතනවා. අප සුරුවම් පොළේ ගහනවා කියා කීමත් තවත් කටකතාවක්.

4. කටකතා පතුරන අයට පිළිතුරු දිය හැක්කේ කොහොමද?

4 එවැනි කටකතාවලට සවන් දෙන හා ඒවා විශ්වාස කරන බොහෝදෙනෙකුට අප කවුද කියා සොයා බලන්න අවස්ථාවක් ලැබී නැතුව ඇති. නමුත් ඔවුන් අවංක අය විය හැකියි. එමනිසා අප චෝදනාවලට ලක් වෙද්දී ඔවුන්ට සාක්ෂිකරුවන් ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්න වෑයම් කළ යුතුයි. ඊට අමතරව හිත මිතුරන් හා නෑදෑයන් පවසන කටකතාවලට සාර්ථකව මුහුණ දෙන්න අපේ බයිබල් ශිෂ්‍යයන්ව දැනුවත් කිරීමට අප මුල් පියවර ගැනීම සුදුසුයි.—පස්වන හා හයවන පිටුවල ඇති “ජනයා අසන ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි අයුරු” නමැති කොටස බලන්න.

5. පීඩා හමුවේ පාවුල් හා සීලස් කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 පීඩා හමුවේ: එම බොරු ප්‍රචාරයන් පදනම් කරගෙන ආගමික නායකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් අපේ සහෝදර සහෝදරියන්ට පහර දී ඔවුන්ගේ බයිබල් හා සඟරා පොත් පත් ඉරා දමා තිබෙනවා. එවැනි තත්වයකට මූණ දෙන්න සිදු වුණොත් අප කළ යුත්තේ මොකක්ද? පාවුල් හා සීලස් ෆිලිප්පි නගරයේ සිටියදී ඔවුන්ට නිකරුණේ පහර දී සිරගෙයි දැමුවත් සේවය සඳහා තිබූ ඔවුන්ගේ උද්‍යෝගය අඩු වුණේ නැහැ. ඔවුන් තුවාල නිසා වේදනාවෙන් සිටියත් සිරගෙයි භාරකරු හා ඔහුගේ පවුලේ අයට දෙවි ගැන කියා දී සත්‍යය පිළිගන්න උපකාර කළා. (ක්‍රියා 16:25-34) පසුව තෙසලෝනිකයේදී ආගමික නායකයන් විසින් පැතිරෙවූ කටකතා නිසා උසිගැන්වුණු මැර පිරිස් පාවුල්ට හා සීලස්ට තර්ජනය කළ විට ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් වී පණිවිඩයට වඩා හොඳ ප්‍රතිචාරයක් දැක්වූ ප්‍රදේශයකට ගියා.—ක්‍රියා 17:4-11.

6. මැර පිරිසක් පහර දෙන බවට තර්ජනය කළොත් අප කළ යුත්තේ මොකක්ද?

6 මැර පිරිසක් අපට තර්ජනය කළ විට ‘මෘදුකමින් හා ගැඹුරු ගෞරවයකින්’ යුතුව අපේ විශ්වාසයන් ගැන කතා කිරීමට එය අවස්ථාවක් කරගත යුතුයි. (1 පේතෘ. 3:15) නමුත් ඔවුන් තද කෝපයකින් කටයුතු කරමින් අපට පහර දෙන බවට තර්ජනය කරනවා නම් එම ප්‍රදේශයෙන් ඉවත් වී යෑම වඩාත් සුදුසුයි. පොලීසියට දැනුම් දීමට පෙර, හැකි නම් ඊට සම්බන්ධ අයගේ නම් දැනගැනීමට වෑයම් කිරීම අවශ්‍යයි. එසේ කිරීමට නොහැකි නම් පසු අවස්ථාවකදී හඳුනාගැනීම සඳහා ඔවුන්ව හොඳින් නිරීක්ෂණය කිරීමට අපට හැකියි. එවැනි තත්වයකට අප මුහුණ දුන්නොත් සභාවේ වැඩිමහල්ලන්ට ඒ බව වහාම දැනුම් දිය යුතුයි. එවිට ඔවුන් ඒ ගැන ශාඛා කාර්යාලයට දන්වා මඟ පෙන්වීම් ලබාගනියි. තත්වය සන්සුන් වන තුරු පාවුල් හා සීලස් කළා මෙන් වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය කිරීම නැණවත් දෙයක්.

7. සිද්ධිය ගැන පැමිණිලි කිරීමට පෙර මතක තබාගත යුත්තේ මොනවාද?

7 පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් අපව ගෞරවයෙන් සලකන නිසා එවැනි සිද්ධීන් පොලීසියට වාර්තා කිරීම සුදුසුයි. පහර දුන් අයගේ නම් ලබාගැනීමට හැකි වුණොත් පැමිණිල්ලට ඇතුළත් කිරීමට අමතක කරන්න එපා. පැමිණිල්ලක් හසුරුවද්දී සිරිතක් විදිහට පොලීසිය විසින් දෙපාර්ශවයම කැඳවනවා. වෙනත් තැනකට වඩා එය පොලීසියේදී හසුරුවන විට මැර පිරිස් එකතු වීමට තිබෙන ඉඩකඩ අඩුයි. කෙසේවෙතත්, පොලීසියේදී වුණත් ඔබ සුපරීක්ෂාකාරී විය යුතුයි. (මතෙ. 10:16) එවැනි අවස්ථාවකදී අපට යුක්තිය ඉටු කර දෙන්න කියා පවසනවා වෙනුවට සාක්ෂි දැරීම වඩාත් සුදුසු බව මතක තබාගන්න.—ලූක් 21:12, 13.

8. විරුද්ධවාදිකම් මැද දිගටම සේවය කිරීමෙන් අපේ චේතනාව ගැන හෙළි වන්නේ මොකක්ද?

8 දිගටම සේවයේ නියැලෙමු: “ප්‍රේමය මරණය තරම්ම ප්‍රබලය” කියා බයිබලයේ පවසනවා. (සල. 8:6, 7) එය ප්‍රබල හැඟීමක්. අප ප්‍රේම කරන කෙනෙකුව සතුටු කිරීමට අප බාධා ජය ගන්නේ, කැප කිරීම් කරන්නේ හා දුෂ්කරතා විඳදරාගන්නේ සතුටින්. (1 යොහ. 5:3) අප දේවසේවය කරන්නේ දෙවිට හා අසල්වැසියන්ට තිබෙන ප්‍රේමය නිසයි. විරුද්ධවාදීන් අප ගැන කටකතා පැතුරුවත් දිගටම සේවයේ නියැලීමෙන් අපේ චේතනාව පවිත්‍ර එකක් බව පෙන්වමු.

9. මතෙව් 11:19හි යේසුස් පැවසූ දෙය අපට දිරිගැන්වීමක් වන්නේ කොහොමද?

9 තමා ගැන බොරු පතුරුවා තිබෙන බව යේසුස් දැනගත් විට ඔහු මෙසේ පැවසුවා. “ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි.” (මතෙ. 11:19) එමෙන්ම සත්‍යය සොයන අය කටකතා නිසා සත්‍යය සෙවීම නතර කරන්නේ නැති බවත් ඔහු දැනගෙන සිටියා. එමනිසා අපිත් සතුටින් හා උද්‍යෝගයෙන් දිගටම සේවය කරමු. එසේ කරද්දී අපේ ප්‍රදේශයේ සිටින අවංක මිනිසුන් සේවයේ අරමුණ හා පණිවිඩයේ වටිනාකම තේරුම්ගන්නා බව ස්ථිරයි. එවිට ඔවුනුත් මෙසේ පැවසීමට ඉඩ තිබෙනවා. “දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය. එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.”—සෙක. 8:23.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න