හොඳ ගුරුවරයෙක් වෙන්න යෝජනා තුනක්
1. හොඳ ගුරුවරයෙක් වීම වැදගත් ඇයි?
1 අපි හැමෝම ගුරුවරු. දේශනා කරද්දී, නැවත ගොස් හමු වෙද්දී, බයිබල් පාඩමක් කරද්දී අපි කරන්නේ ඉගැන්වීමක්. නමුත් අපි උගන්වන්නේ නිකම්ම නිකම් තොරතුරු පමණක් නෙවෙයි. අපි උගන්වන්නේ ‘ශුද්ධ ලියවිල්ලෙන්’ නිසා ඒ තොරතුරු මිනිසුන්ගේ ‘ගැලවීමට මඟ පාදනවා.’ (2 තිමෝ. 3:15) එය, අපිට ලැබිලා තියෙන වටිනා වරප්‍රසාදයක්! ඒ නිසා හොඳ ගුරුවරයෙක් වෙන්න මේ යෝජනා තුන අත්හදා බලමු.
2. සරලව උගන්වන්න පුළුවන් කොහොමද?
2 සරලව උගන්වන්න: බයිබලයේ තිබෙන යම් විෂයක් අපිට හුරු පුරුදු ඇති. නමුත් ඒ ගැන නොදන්න කෙනෙක්ට ඒක තේරුම්ගන්න කොච්චර අමාරුද කියලා අපිට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා බයිබල් පාඩමක් කරද්දී එකවර තොරතුරු ගොඩක් උගන්වන්න එපා. ඒ වෙනුවට මූලික කරුණු විතරක් පහදා දෙන්න. අපි හුඟක් කතා කරනවා කියන්නේ අපි දක්ෂ ගුරුවරු කියන එක නෙවෙයි. (හිතෝ. 10:19) ප්‍රධාන බයිබල් පද විතරක් කියවීම වඩාත් සුදුසුයි. බයිබල් පදයක් කියවූ පසු සාකච්ඡා කරන විෂයට අදාළ කොටස විතරක් පැහැදිලි කරන්න. මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල තිබෙන කන්ද උඩ දේශනයේදී යේසුස් ඉදිරිපත් කළේ ගැඹුරු තොරතුරු වුණත් ඔහු ඒවා ඉගැන්නුවේ සරලව හා කෙටියෙනුයි.
3. උදාහරණ පාවිච්චි කිරීම වටින්නේ ඇයි? වඩාත් හොඳ මොන වගේ උදාහරණද?
3 උදාහරණ පාවිච්චි කරන්න: උදාහරණ, කෙනෙක්ව හිතන්න පොලඹවනවා. ඒ විතරක් නෙවෙයි ඉගැන්වූ දේ මතක තියාගන්නත්, ක්‍රියාවට පොලඹවන්නත් ඒවා උදව් වෙනවා. හොඳ උදාහරණ පාවිච්චි කරන්න මම දන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. හුඟක් වෙලාවට යේසුස් පාවිච්චි කළේ සරල හා කෙටි උදාහරණයි. (මතෙ. 7:3-5; 18:2-4) පොඩි පින්තූරයක් ඇඳලා පෙන්නන එක වුණත් ශිෂ්‍යයාට ප්‍රයෝජනවත් වෙනවා. ඔබ හොඳින් සූදානම් වෙනවා නම් හොඳ උදාහරණ ඔබේ මතකයට නැඟෙයි.
4. ප්‍රශ්න අහද්දී මතක තියාගන්න ඕනේ මොකක්ද?
4 ප්‍රශ්න අසන්න: ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒ ගැන හිතලා උත්තරයක් දෙන්න ශිෂ්‍යයාට කාලේ දෙන්න. ඒත් හදිස්සි වී ඔබම උත්තරේ දුන්නොත් ශිෂ්‍යයාගේ හිතේ තියෙන දේ දැනගන්න ඔබට බැරි වෙයි. ඔහු වැරදි උත්තරයක් දුන්නොත් ඔහුව හරිගස්සනවා වෙනුවට තවත් ප්‍රශ්න අසා, හරි උත්තරේ ඔහුගෙන්ම ගන්න උත්සාහ කරන්න. (මතෙ. 17:24-27) අපි කවුරුත් සියයට සියයක් දක්ෂ ගුරුවරු නෙවෙයි. ඒ නිසයි අපි උගන්වන විදිහ ගැන නිතරම සැලකිලිමත් වෙන්න කියලා බයිබලයේ අපිට උනන්දු කරන්නේ. අපි එහෙම කරනවා නම් අපිටත් අපි උගන්වන දේට සවන් දෙන අයටත් සදාකාලෙටම ප්‍රයෝජන ලබාගන්න පුළුවන් වේවි.—1 තිමෝ. 4:16.