වෙලාවට වැඩ කරන්න පුරුදු වෙමු
1. වෙලාවට වැඩ කරන එක සම්බන්ධයෙන් දෙවි ආදර්ශයක් වෙන්නේ කොහොමද?
1 යෙහෝවා දෙවි වෙලාවට වැඩ කරන දෙවි කෙනෙක්. ඔහු තම සේවකයන්ට “අවශ්‍ය වේලාවේදී” උපකාර කරනවා. (හෙබ්‍රෙ. 4:16) ඒ වගේම “නියම වේලාවට” මඟ පෙන්වීම් ලබා දෙනවා. (මතෙ. 24:45) ඒ නිසා, දෙවි ගෙනෙන විනාශය ‘ප්‍රමාද වෙන්නේ නැහැ’ කියන එක ස්ථිරයි. (හබ. 2:3) යෙහෝවා දෙවි ප්‍රමාද නොවන එකෙන් අපි කොයි තරම් ප්‍රයෝජන ලබනවාද! (ගීතා. 70:5) අපි කාර්යබහුල නිසාත්, අසම්පූර්ණ නිසාත් වෙලාවට වැඩ කරන එක ලේසි නැහැ තමයි. ඒත් වෙලාවට වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕන ඇයි?
2. අපි වෙලාවට වැඩ කරන එක දෙවිට ගෞරවයක් වෙන්නේ කොහොමද?
2 අද සමාජයේ ඉන්නේ තමන් ගැනම හිතන, තමන්ව පාලනය කරගන්න බැරි අයයි. ඒ අය නම් වෙලාවට වැඩ කරන එක ගැන එච්චර හිතන්නේ නැහැ. (2 තිමෝ. 3:1-3) ඒත් දෙවිගේ සේවකයන් විදිහට අපි රැකියාවට වගේම රැස්වීම්වලටත් වෙලාවට යනවා නම්, කෙනෙකුට පොරොන්දු වෙච්ච වෙලාවටම ඔහුව මුණගැහෙන්න යනවා නම් ඒක දකින අය ගෞරව කරන්නේ යෙහෝවා දෙවිටයි. (1 පේතෘ. 2:12) අපි වෙලාවට රැකියාවට යනවා වෙන්න පුළුවන්. ඒත් නමස්කාර කටයුතුවලට වෙලාවට යනවාද? අපි ආරම්භක ගීතිකාවට සහ යාච්ඤාවට කලින් රැස්වීම්වලට යනවාද? එහෙම යනවා නම් ඒකෙන් පෙන්වන්නේ පිළිවෙළකට වැඩ කරන යෙහෝවා දෙවිව අපි ආදර්ශයට ගන්නවා කියලයි.—1 කොරි. 14:33, 40.
3. වෙලාවට වැඩ කරන කෙනෙක් අනිත් අය ගැන සැලකිලිමත් කියලා කියන්නේ ඇයි?
3 අපි රැස්වීම්වලට, ක්ෂේත්‍ර සේවා රැස්වීමට පුරුද්දක් විදිහට ප්‍රමාද වෙනවා නම් ඒකෙන් පෙන්වන්නේ අනිත් අයගේ වටිනා කාලය අපතේ යන එක ගැන අපිට කිසිම ගානක් නැහැ කියලයි. එහෙම කරද්දී අනිත් අයට බාධා වෙන්න පුළුවන්. අනිත් අතට, වෙලාවට වැඩ කරන කෙනෙක්ට බය නැතුව වැඩක් බාර දෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් කඩිසරයි, අනිත් අය ගැනත් සැලකිලිමත්. (ෆිලි. 2:3, 4) ඒ වගේ ගුණාංග තියෙන අයට කවුරුත් කැමතියි.
4. අපි නිතරම ප්‍රමාද වෙනවා නම් මොනවද කරන්න පුළුවන්?
4 ඔබ නිතරම ප්‍රමාද වෙන කෙනෙක් නම් ඒකට හේතුව මොකක්ද කියලා හිතලා බලන්න. නියමිත කාලය තුළ කරන්න පුළුවන් දේවල් විතරක් ඇතුළත් කරලා කාලසටහනක් හදාගන්න. (දේශ. 3:1; ෆිලි. 1:10) ඊටපස්සේ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. (1 යොහ. 5:14) වෙලාවට වැඩ කරන්න පුරුදු වුණොත් දෙවිටත් අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියන උතුම් ආඥාව රකින්න අපිට පුළුවන් වෙයි.—මතෙ. 22:37-39.