ජීවිත කතාව
‘පැළ කරපු තැන පල දරන්න’ යෙහෝවා උදව් කළා
“පැළ කරපු තැන පල දරන්න.” ඒක චුට්ටක් අමුතු උපදෙසක් වගේ. හැබැයි කැස්හෝල්ම් යුවළ ඒක කොච්චර ඇත්තද කියලා අද්දැක්කා. ඒ කොහොමද කියලා අපි බලමු.
1979දී කැස්හෝල්ම් යුවළ ගිලියද් පාසැලට ගියා. ඒකේ උපදේශකයෙක් වුණ ජැක් රෙඩ්ෆඩ් තමයි අර උපදෙස එයාලට දුන්නේ. ඉතිං මේ යුවළව යෙහෝවා ඉරානය, මුරුසිය, මියන්මාරය, ටැන්සානියාව, උගන්ඩාව සහ සයිරේ වගේ එක එක තැන්වල පැළ කළා. යෙහෝවා එයාලව “පැළ කරද්දී,” ඒ තැන්වලින් ගලවලා තවත් තැන්වල පැළ කරද්දී ඒ උපදෙස එයාලට ලොකු ශක්තියක් වුණා. ඒ කතාව අපි එයාලාගෙන්ම අහලා බලමු.
මුලින්ම කියන්නකෝ ඔයාලට සත්‍යය හම්බ වුණේ කොහොමද කියලා.
මැට්ස්: අපි පෝලන්තයේ ඉන්න කාලේ ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ මගේ තාත්තා පල්ලියේ වෙන කුහක වැඩ ගොඩක් දැක්කා. එයා කිව්වා “සත්‍ය ආගම කොහේ හරි ඇතිනේ” කියලා. ඒක ඇත්ත කියලා පස්සේ කාලෙකදී මට තේරුණා. මං පරණ පොත් කියවන්න ගොඩක් ආසයි. සැරයක් මං ගත්ත පොත් අතරේ නිල් පාට පොතක් තිබුණා. ඒකේ නම ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය.’ ඒක දැක්ක හැටියෙම මගේ හිතට වැදුණා. ඉතිං මුළු රෑම මං ඒක කියෙව්වා. උදේ වෙද්දී මට තේරුණා මං සත්‍යය හොයාගත්තා කියලා.
1972 අප්‍රියෙල්වල ඉඳන් මං සාක්ෂිකරුවන්ගේ ගොඩක් පොත් කියෙව්වා. බයිබලේ ගැන තිබ්බ ප්‍රශ්නවලට උත්තර මට ඒවායින් හම්බ වුණා. මට දැනුණේ මාත් යේසුස්ගේ උදාහරණේ හිටපු වෙළෙන්දා වගේ කියලා. එයාට ලොකු වටිනාකමක් තියෙන මුතු ඇටයක් හම්බ වුණාම එයා එයා ළඟ තිබ්බ හැම දේම විකුණලා ඒක සල්ලිවලට ගත්තා. ඉතිං මාත් විශ්වවිද්‍යාලෙට යන්න, දොස්තර කෙනෙක් වෙන්න මට තිබුණ හැම හීනයක්ම “විකුණලා” මං හොයාගත්ත සත්‍යය කියන ඒ “මුතු ඇටේ” ගත්තා. (මතෙ. 13:45, 46) 1972 දෙසැම්බර් 10 මං බව්තීස්ම වුණා.
අවුරුද්දක් ඇතුළත අම්මායි, තාත්තායි, මල්ලියි සත්‍යය පිළි අරන් බව්තීස්ම වුණා. 1973 ජූලිවල මං පූර්ණකාලීන සේවේ පටන්ගත්තා. අපේ සභාවේ උද්‍යෝගයෙන් සේවේ කරපු ගොඩක් පුරෝගාමීන් හිටියා. ඒ අතරේ යෙහෝවාට ගොඩක් ආදරේ කරන, ලස්සන ඈන් කේට්රින් කියන සහෝදරි හිටියා. අපි දෙන්නා ආදරේ කරලා 1975දී බැන්දා. ඊළඟ අවුරුදු හතරම අපි හිටියේ ස්වීඩනයේ ලස්සන ටවුන් එකක. එහේ සත්‍යයට උනන්දුවක් පෙන්නන හුඟක් අය හිටියා.
ඈන් කේට්රින්: මගේ තාත්තාට සත්‍යය හම්බ වුණේ ස්ටොක්හෝම්වලදී. එතකොට එයා හිටියේ විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්දේ. ඒ වෙද්දී මට මාස තුනක් විතර ඇති. හැබැයි තාත්තා මාව රැස්වීම්, සේවේ එක්කන් ගියා. අම්මා නං ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. එයාට ඕන වුණේ සාක්ෂිකරුවෝ බොරුයි කියලා ඔප්පු කරන්න. හැබැයි එයාට ඒක කරගන්න බැරි වුණා. කාලයත් එක්කම එයාත් බව්තීස්ම වුණා. අවුරුදු 13දී මං බව්තීස්ම වෙලා අවුරුදු 16දී පුරෝගාමි කරන්න පටන්ගත්තා. මං ස්වීඩනයේ ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරලා ටික කාලෙකට පස්සේ විශේෂ පුරෝගාමි කරන්න පටන්ගත්තා.
අපි දෙන්නා බැන්දට පස්සේ අපිට පුළුවන් වුණා කීපදෙනෙක්ටම සත්‍යයට එන්න උදව් කරන්න. එයාලා අතරේ එක ගෑනු ළමයෙක් හිටියා මෙයිව කියලා. එයා ක්‍රීඩා කරන එකත් අත්හැරලා තමයි සත්‍යයට ආවේ. එයායි, මගේ නංගියි තමයි එකට පුරෝගාමි කරේ. එයාලා 1984දී ගිලියද් පාසැලට ගියා. පස්සේ ඉක්වදෝරයේ මිෂනාරි සේවේ කරා.
“පැළ කරපු තැන පල දරන්න” කියන උපදෙස ඔයාලා අදාළ කරගත්තේ කොහොමද?
මැට්ස්: අපිට නිතරම අලුත් පැවරුම් ලැබුණා. ඒක හරියට ගහක් එක තැනකින් ගලෝලා තව තැනක හිටවනවා වගේ. අපි පුළුවන් තරම් කිට්ටුවෙන් යේසුස්ව අනුගමනය කරන්න හැදුවා. විශේෂයෙන්ම ඔහු වගේ නිහතමානී වෙන්න. ඒක තමයි අපිට උදව් වුණේ ඒ හැම තැනකම “මුල් අදින්න.” (කොලො. 2:6, 7) උදාහරණෙකට අපි හිතුවේ නෑ සහෝදරයන් අපිට ඕන විදිහට හැඩගැහෙන්න ඕනෙ කියලා. එයාලව තේරුම්ගන්නයි අපි උත්සාහ කරේ. එයාලා හිතන විදිහ, එයාලාගේ සංස්කෘතිය අපි තේරුම්ගන්න හැදුවා. ඒ විදිහට යේසුස්ව ආදර්ශයට ගද්දී අපිට දැනුණේ අපි හරියට “දිය දහරා ළඟ හිටවපු” ගස් වගේ කියලා. කොහේ පැළ කරත් අපිට පල දරන්න පුළුවන් වුණා.—ගීතා. 1:2, 3.
දුර ගෙවාගෙන එක එක සභාවලට යන එක අපේ ජීවිතේ කොටසක් වුණා
ඈන් කේට්රින්: එක තැනකින් ගලවලා තව තැනක හිටවපු ගහක් වර්ධනය වෙන්න නං ඒකට හිරු එළියත් ඕනේ. අපේ ජීවිතවල “හිරු” එළිය වුණේ යෙහෝවා. (ගීතා. 84:11) ඔහු ඒ එළිය දුන්නේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන් මාර්ගයෙන්. මට මතකයි ඉරානයේ ටෙහෙරාන්වල හිටපු කාලේ එහේ සහෝදරයෝ අපිව ආදරෙන් බලාගත්තා. හරියට බයිබල් කාලේ වගේ. අපි එහේ සේවේ කළේ ගොඩක් ආසාවෙන්. හැබැයි 1980 ජූලිවල එහේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරා. අපිට දැනුම් දුන්නා පැය 48ක් ඇතුළත රටින් පිට වෙන්න කියලා. ඉතිං අපේ පැවරුම අප්‍රිකාවේ සයිරේවලට වෙනස් වුණා. එහෙට දැන් කියන්නේ කොංගෝ කියලා.
1982 සයිරේවල මිහිරි මතකයන්
අපිට අප්‍රිකාවට පැවරුමක් ලැබිලා කියලා දැනගත්තාම මං හොඳටම ඇඬුවා. මං අහලා තිබුණේ එහේ සර්පයෝ ඉන්නවා, සෑහෙන්න අසනීප තියෙනවා කියලා. හැබැයි කාලයක් තිස්සේ අප්‍රිකාවේ සේවේ කරපු අපේ කිට්ටු යාළුවෝ දෙන්නෙක් අපිට කිව්වා “ඔයාලා තාම එහෙට ගියෙත් නෑනේ, චාන්ස් එකක් දීලා බලන්න. අන්තිමට ඔයාලා එහෙන් එන්නත් බෑ කියයි” කියලා. වුණෙත් ඒකම තමයි. එහේ සහෝදරයෝ අපිව ආදරෙන් බලාගත්තා. අවුරුදු හයකට විතර පස්සේ අපේ වැඩ තහනම් කරපු නිසා අපිට එහෙනුත් එන්න වුණා. මං ඒ වෙලාවේ යෙහෝවාට කිව්වා “අනේ යෙහෝවා මට තව අප්‍රිකාවේ ඉන්න ඕනෙ” කියලා. ඉතිං මටම මං ගැන හිනා.
මේ අවුරුදු ගාණ පුරාම ඔයාලා අද්දැකපු ආශීර්වාද මොනවාද?
1988 ටැන්සානියාවේ අපේ කාමරේ
මැට්ස්: අපිට අවස්ථාව ලැබුණා එක එක රටවලින්, එක එක පසුබිම්වලින් ආපු අනිත් මිෂනාරිවරුන්ව කිට්ටු යාළුවෝ කරගන්න. සමහර පැවරුම් කරද්දී අපි දෙන්නාම බයිබල් පාඩම් 20 ගාණේ වගේ කරා. ඒක අපිට ලොකු සතුටක්. අප්‍රිකාවේ සහෝදරයෝ අපිව බලාගත්ත විදිහත් මට අමතක වෙන්නේ නෑ. ටැන්සානියාවල චාරිකා ගිය කාලේ අපි නිදාගත්තේ අපේ වොක්ස්වැගන් වෑන් එකේ. ඒක තමයි අපේ කාමරේ. එහේ සහෝදරයෝ “දෙන්න පුළුවන් දේටත් වඩා වැඩියෙන්” අපිට දුන්නා. (2 කොරි. 8:3) ඒ කාලේ දවස ඉවර වෙද්දී මායි, ඈනුයි ඉඳගෙන එදා දවසේ වෙච්ච දේවල් ගැන කතා කරනවා. ඒ වෙලාව නං පංකාදු පහයි. යෙහෝවා දවස පුරාම අපිත් එක්ක හිටපු එක ගැන අපි ඔහුට ස්තුති කරා.
ඈන් කේට්රින්: එක එක පැතිවලින් ආපු සහෝදර සහෝදරියන්ව අඳුරගන්න ලැබුණ එක මටත් ලොකු සතුටක්. මං විවිධ සංස්කෘතිවලට හැඩගැහෙන්න ඉගෙනගත්තා. ෆර්සි, ප්‍රංශ, ලුගන්ඩා, ස්වහීලි වගේ භාෂා ඉගෙනගත්තා. අලුත් අයව පුහුණු කරන්න, යාළුවන්ව හොයාගන්න, එයාලා එක්ක “එක්සත්ව” යෙහෝවාට සේවේ කරන්න අපිට පුළුවන් වුණා.—ශෙප. 3:9.
යෙහෝවාගේ නිර්මාණවල තියෙන සුන්දරත්වය, ඒ විවිධත්වයත් අපි දැක්කා. අපිට අලුත් පැවරුමක් ලැබෙන හැම වතාවකම අපිට දැනුණේ සතුටින් පිරුණු අලුත් ගමනක් යෙහෝවා අපිව එක්කන් යනවා කියලා. අපිට තනියෙන් ලබාගන්න බැරි අද්දැකීම් තොගයක් යෙහෝවා අපේ ජීවිතවලට එක් කරා.
ටැන්සානියාවේදී එක එක විදිහේ අයට දේශනා කරා
ඔයාලට ආපු අභියෝග මොනවාද? ඔයාලා ඒවා දරාගත්තේ කොහොමද?
මැට්ස්: අපිට එක එක විදිහේ අසනීප හැදුණා. මැලේරියාවත් හැදුණා. ඈන්ට හදිසි සැත්කම් කීපයක්ම කරන්න වුණා. අපි දෙමාපියෝ ගැනත් වධ වුණා. අපේ නංගියි, මල්ලිලයි එයාලව ආදරෙන්, ඉවසීමෙන් බලාගත්තා. (1 තිමෝ. 5:4) ඒත් අපිට හිතුණා මීට වඩා දෙයක් එයාලා වෙනුවෙන් කරගන්න පුළුවන්කම තිබ්බා නං කියලා.
ඇන් කේට්රින්: 1983දී අපි සයිරේවල ඉද්දී මට හොඳටම අසනීප වුණා. මට කොලරාව හැදුණා. දොස්තර මැට්ස්ට කිව්වා “පුළුවන් තරම් ඉක්මනට මෙයාව මේ රටින් ගෙනියන්න” කියලා. ඉතිං ඊළඟ දවසෙම බඩු ගෙනියන ප්ලේන් එකක අපි ස්වීඩන්වලට එන්න පිටත් වුණා.
මැට්ස්: අපි හිතුවේ මිෂනාරි පැවරුම ඉවර වෙයි කියලා. අපි ගොඩක් ඇඬුවා. දොස්තර කිව්වාට ඈන් සනීප වෙන එකක් නෑ කියලා එයා සනීප වුණා. ඉතිං අවුරුද්දකට විතර පස්සේ අපිට පුළුවන් වුණා ආයෙත් සයිරේවලට එන්න. ඒ සැරේ අපිට පැවරුම ලැබුණේ ලුබුම්භාෂීවල තිබුණ ස්වහීලි භාෂාව කතා කරන සභාවක.
ඈන් කේට්රින්: ලුබුම්භාෂීවල ඉද්දී මට බබෙක් හම්බ වෙන්න ඉඳලා එයා නැති වුණා. ළමයෙක්ව හදන්න අපි ප්ලෑන් කරලා තිබුණේ නැතත් ඒක දරාගන්න ලේසි වුණේ නෑ. ඒ අමාරු කාලේ හිතපු නැති විදිහේ ආශීර්වාදයක් යෙහෝවා අපිට දුන්නා. අපිට පුළුවන් වුණා වෙන කවදාටත් වඩා වැඩියෙන් බයිබල් පාඩම් පටන්ගන්න. අවුරුද්දක් යන්නත් කලින් සභාවේ ප්‍රචාරකයන් ගාණ 35 ඉඳන් 70 වෙන කල් වැඩි වුණා. රැස්වීම් එන ගාණ 40 ඉඳන් 220 වෙන කල් වැඩි වුණා. සේවෙට වැඩි කාලයක් දුන්න නිසා යෙහෝවා අපේ මහන්සියට ආශීර්වාද කරා. ඒක දුක තුනී කරගන්න අපිට උදව් වුණා. දැනටත් පොඩ්ඩා ගැන හිතද්දී අපිට ලොකු වේදනාවක් දැනෙනවා. හැබැයි යෙහෝවා සම්පූර්ණයෙන්ම ඒ වේදනාව නැති කරන දවස එන කල් අපි බලන් ඉන්නවා.
මැට්ස්: කාලයක් යද්දී ඈන් දුර්වල වෙන්න පටන්ගත්තා. එයාට ලොකු මහන්සියක් දැනුණා. මටත් හතරවෙනි අදියරේ බඩවැල්වල පිළිකාවක් තියෙනවා කියලා හොයාගත්තා. ඒ නිසා මට ලොකු සැත්කමකුත් කරන්න වුණා. දැන් නං මට සෑහෙන්න හොඳයි. ඈනුත් එයාට පුළුවන් උපරිමයෙන් දේවල් කරගෙන යනවා.
ප්‍රශ්නවලට අපි විතරක් නෙමෙයි අනිත් අයත් මූණ දෙනවා කියලා අපි තේරුම්ගත්තා. 1994දී රුවන්ඩාවල වුණ සමූල ඝාතනයෙන් පස්සේ කඳවුරුවල හිටපු අපේ සහෝදරයන්ව බලන්න අපි ගියා. එයාලාගේ විශ්වාසේ, විඳදරාගැනීම, ප්‍රශ්න මැද්දේ අනිත් අය ගැන සැලකිලිමත් වෙන විදිහ දැක්කාම අපිට තේරුණා යෙහෝවාට පුළුවන් ඕනම ප්‍රශ්නයක් මැදින් යන්න ඔහුගේ සෙනඟට ඕන කරන ශක්තිය දෙන්න කියලා.—ගීතා. 55:22.
ඈන් කේට්රින්: 2007දී අපි උගන්ඩාවේ ශාඛා කාර්යාලය කැප කිරීමට ගියා. ඒක ඉවර වෙලා අපියි, තව මිෂනාරිවරුයි, කෙන්යාවේ බෙතෙල් එකේ අයයි ඔක්කොම 25දෙනෙක් විතර වාහනේක ආවා. කෙන්යාවේ දේශ සීමාව ඔන්න මෙන්න තියෙද්දී ලොරියක් ඇවිත් එකපාරටම අපේ වාහනේ හැප්පුණා. ඩ්‍රයිවයි, අපේ යළුවෝ 5දෙනෙකුයි එතනම නැති වුණා. එක සහෝදරියක්ව ඉස්පිරිතාලේ ගෙනිච්චාට පස්සේ නැති වුණා. ඒ යාළුවන්ව ආයෙත් දකින්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.—යෝබ් 14:13-15.
කාලයත් එක්කම අපේ තුවාල නං හොඳ වුණා. හැබැයි වෙච්ච දේ නිසා ඇති වුණ කම්පනය මැට්ස්ටයි, මටයි, තව සහෝදරයෝ කීපදෙනෙක්ටයි දිගටම බලපෑවා. සමහර දවස්වල රෑට මං එකපාරට ඇහැරෙනවා. මට දැනෙන්නේ මට හාට් ඇටෑක් එකක් එනවා වගේ. ඒ වෙලාවට ගොඩක් බය හිතෙනවා. හැබැයි යාච්ඤා කරන එක, අපි ආසම බයිබල් පද කියවලා ඒ ගැන හිතන එක මට ඒක දරාගන්න උදව් වෙලා තියෙනවා. අපි දොස්තර කෙනෙක්වත් හම්බ වෙන්න ගියා. ඒකත් අපිට ගොඩක් උදව් වුණා. හැබැයි දැන් නං කලින්ට වඩා සෑහෙන්න හොඳයි. අපි යෙහෝවාට දිගටම යාච්ඤා කරනවා මේ වගේ දේවල්වලට මූණ දෙන අයව සනසන්න කියලා.
අභියෝග දරාගත්තේ කොහොමද කියලා ඇහුවාම ඔයාලා අමුතු කතාවක් කිව්වා. ඔයාලා කිව්වා යෙහෝවා ඔයාලව “බිත්තර ගෙනියනවා වගේ” ගෙනිච්චා කියලා. මොකක්ද ඒකේ තේරුම?
මැට්ස්: ස්වහීලිවල කියමනක් තියෙනවා “ටුමේබෙබ්වා කමා මයායි මබිචි” කියලා. ඒකේ තේරුම “බිත්තර ගෙනියනවා වගේ අපිව ගෙනිච්චා” කියන එක. බිත්තර ලේසියෙන්ම කැඩෙන නිසා අපි ඒවා ගෙනියන්නේ හරිම පරෙස්සමෙන්නේ. අන්න ඒ වගේ යෙහෝවාත් අපේ හැම පැවරුමක්ම සාර්ථකව කරන්න අපිට උදව් කරා. අපිව අභියෝග මැද්දෙන් ආදරෙන්, පරෙස්සමෙන් අරන් ගියා. ඔහු අපිට ඕන කරන හැම දේම ඕනෑවටත් වඩා වැඩියෙන් දුන්නා. යෙහෝවාගේ ආදරේ, සපෝට් එක අපිට දැනුණ එක විදිහක් තමයි පාලක මණ්ඩලය අපිව තේරුම් අරන් අපිත් එක්ක වැඩ කරපු විදිහ.
ඈන් කේට්රින්: යෙහෝවා අපිව බලාගත්ත විදිහ ගැන මං එක සිද්ධියක් කියන්නම්. දවසක් ස්වීඩන්වලින් කෝල් එකක් ආවා මගේ තාත්තාට හොඳටම අසනීප වෙලා එයා ICU එකේ කියලා. ඒ වෙද්දී මැට්ස්ට මැලේරියාව හැදිලා යාන්තං සනීප වුණා විතරයි. අපිට ගෙදර යන්න ටිකට් ගන්න සල්ලි තිබුණෙත් නෑ. ඉතිං අපි හිතුවා කාර් එක විකුණන්න. අපිට කෝල් දෙකක් ආවා. එකක් ආවේ අපි දන්න යුවළකගෙන්. එයාලට තාත්තා ගැන ආරංචි වෙලා තිබ්බා. එක ටිකට් එකකට යන වියදම දෙන්න එයාලා ආස වුණා. අනිත් කෝල් එක ආවේ වයසක සහෝදරියකගෙන්. එයා එක පෙට්ටියක සල්ලි වගයක් එකතු කරලා තිබ්බා. ඒ පෙට්ටියේ ලියලා තිබුණා “උදව් ඕන කෙනෙක් වෙනුවෙන්” කියලා. එයා ඒ පෙට්ටිය අපිට දුන්නා. ඒ විදිහට යෙහෝවා විනාඩි කීපයක් ඇතුළත අපේ උදව්වට ආවා.—හෙබ්‍රෙ. 13:6.
ඔයාලා අවුරුදු 50ක් තිස්සේ පූර්ණකාලීන සේවේ කරනවා. ඒ කාලේ පුරා ඔයාලා ඉගෙනගත්තේ මොනවාද?
මියන්මාරයේ අපේ අලුත් පැවරුමේ
ඈන් කේට්රින්: ‘කලබල නොවී යෙහෝවා ගැන විශ්වාසය තියන එක’ තමයි අපේ ශක්තිය කියලා මං ඉගෙනගත්තා. අපි යෙහෝවාව විශ්වාස කරලා වැඩ කරනවා නං අපේ ප්‍රශ්න ඔහු ඔහුගේ ප්‍රශ්න කරගෙන ඔහු අපි වෙනුවෙන් සටන් කරනවා. (යෙසා. 30:15; 2 ලේක. 20:15, 17) අපිට මොන පැවරුම ලැබුණත් යෙහෝවාට අපේ උපරිමේ දෙනවා නං අපිට හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා. ඒ වගේ ආශීර්වාද වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ.
මැට්ස්: ඕනම කාරණයකදී අපි යෙහෝවා මත රැඳිලා ඉඳලා ඔහු අපි වෙනුවෙන් මොනවාද කරන්නේ කියලා බලං ඉන්න ඕනේ. (ගීතා. 37:5) ඒක තමයි මං ඉගෙනගත්ත වැදගත්ම දේ. යෙහෝවා පොරොන්දු වුණ විදිහටම හැමදාම මාත් එක්ක හිටියා. අපි දැනටත් මියන්මාර් බෙතෙල් එකේ සේවේ කරද්දී ඒක කොච්චර ඇත්තද කියලා දකිනවා.
යෙහෝවාට වැඩිපුර සේවේ කරන්න කැමති දුවලා පුතාලට මං කියන්නේ ඔයාලත් අනිවාර්යයෙන්ම අපි අද්දැක්කා වගේම යෙහෝවාගේ නොසැලෙන ආදරේ අද්දකියි කියලා. ඔයාලව කොහේ පැළ කළත් පල දරන්න ඔයාලට උදව් කරන්න යෙහෝවාට ඉඩහරින්න. ආයේ කතා දෙකක් නෑ ඔයාලා සාර්ථක වෙනවාමයි.