ඉන්දුනීසියාව
ජපන් හමුදාව පාලනය කරද්දී
1942 මුල්භාගයේදී ජපන් හමුදාව ඉන්දුනීසියාවේ බලය අල්ලගත්තා. ඒ නිසා හුඟක් සහෝදරයන්ව කානු සුද්ද කරන්න, පාරවල් හදන්න වගේ බර වැඩ කරන්න දැම්මා. යුද්ධයට හවුල් වුණේ නැති නිසා තවත් සහෝදරයන්ට සිද්ධ වුණේ අපිරිසිදු සිර කඳවුරුවල වධ විඳින්නයි. ඒ දරුණු පීඩා නිසා සහෝදරයන් 3දෙනෙක්ගේ විතර ජීවිත අහිමි වුණා.
ජොආනා හාප් ඇගේ දුවලා දෙන්නා සහ මිතුරියක් සමඟ (මැද)
ඒ කාලේ සහෝදරි ජොආනා හාප් හිටියේ ජාවාවල තිබුණු පුංචි ගම්මානයක. යුද්දේ තිබ්බ මුල් අවුරුදු දෙකේදී සිර කඳවුරුවලට යන්නේ නැතුව බේරිලා ඉන්න ඇයටයි ඇගේ දරුවන්ටයි පුළුවන් වුණා.a ඒ කාලයෙන් ප්‍රයෝජන ගත්ත ඔවුන් ‘සැල්වේෂන්’ කියන පොත සහ ‘මුරටැඹ’ සඟරාව ලන්දේසි භාෂාවට පරිවර්තනය කළා. ඊට පස්සේ ඔවුන් ඒ ප්‍රකාශන ජාවා දූපත පුරාම හිටපු සහෝදරයන්ට හොර රහසේම ලැබෙන්න සැලැස්සුවා.
ජපන් හමුදාවෙන් බේරිලා හිටපු සහෝදරයෝ කිහිපදෙනෙක් පොඩි පොඩි කණ්ඩායම් විදිහට එකතු වෙලා පරෙස්සමෙන් සේවේ කළා. ඒ ගැන සහෝදරි ජොසෆින් ඉලයාස් කිව්වේ මෙහෙමයි. “ප්‍රසිද්ධියේ සේවේ කරන්න බැරි නිසා කාට හරි දේශනා කරන්න අවස්ථාවක් ලැබුණාම මං ඒක අත්හැරියේ නැහැ. උනන්දුව දක්වපු අයව හම්බ වෙන්න යනකොට මං චෙස් බෝඩ් එකක් අරං ගියා. එතකොට කවුරුත් මාව සැක කරන්නේ නැහැනේ.” සහෝදර ෆීලික්ස් ටාන් සහ ඔහුගේ බිරිඳ සේවේ ගියේ සබන් විකුණන අය වගේ. ඒ ගැන සහෝදර ටාන් මෙහෙම කිව්වා. “ජපන් හමුදාවේ ඔත්තුකාරයෝ අපි ගැන ඇහැ ගහගෙනයි හිටියේ. එයාලට අහු නොවෙන්න අපි බයිබල් පාඩම්වලට ගියේ එක එක වෙලාවල්වල. අපිත් එක්ක බයිබලය පාඩම් කරපු 6දෙනෙක් යුද්දේ කාලෙදිම බව්තිස්ම වුණා.”
මතභේදයක් ඇති වෙයි
යුද්ධය නිසා ඇති වුණු දරුණු පීඩා දරාගත්ත සහෝදරයන්ට දැන් තවත් අභියෝගයක් ඇවිත්. වෙනත් රටවල්වලින් ඇවිත් ඉන්න හැමෝම ලියාපදිංචි වෙලා හැඳුනුම්පතක් ලබාගන්න ඕනේ කියලා ජපන් නිලධාරීන් නියෝග කළා. ඒත් ඒ හැඳුනුම්පතේ, ‘සෑම කාරණයකදීම ජපන් අධිරාජ්‍යයට පක්ෂව ඉන්නවා’ කියලා දිවුරුමක් තිබුණා. ඒ නිසා හැඳුනුම්පතක් ලබාගන්නවාද නැද්ද කියලා සහෝදරයන්ට හිතාගන්න බැරි වුණා.
ජොසෆින් ඉලයාස් ඇගේ සහෝදරයෙක් වන ෆීලික්ස් ටාන් සමඟ
සිද්ධ වුණ දේ ගැන සුකාභූමිවල හිටපු සහෝදර ටාන් කිව්වේ මෙහෙමයි. “හැඳුනුම්පත ගන්න එපා කියලා ජකාර්තාවල සහෝදරයන් අපිට කිව්වා. ඒත් හැඳුනුම්පතේ තිබුණ ‘පහත අත්සන් තබන පුද්ගලයා සෑම කාරණයකදීම ජපන් අධිරාජ්‍යයට පක්ෂව ඉන්නවා’ කියන වාක්‍යය ‘පහත අත්සන් තබන පුද්ගලයා ජපන් අධිරාජ්‍යයට බාධා කරන්නේ නැහැ’ කියලා වෙනස් කරන්න පුළුවන්ද කියලා අපි නිලධාරීන්ගෙන් ඇහුවා. එයාලා ඒකට කැමති වුණා. ඉතින් අපි හැමෝම හැඳුනුම්පත් ගත්තා. ජකාර්තාවල සහෝදරයෝ මේක දැනගත්තාම අපිව සත්‍යය අත්හැරලා ගිය අය විදිහට සලකලා ආශ්‍රය කරන එක නැවැත්තුවා.”
ජකාර්තාවල හිටිය ඒ සහෝදරයන්ගෙන් හුඟදෙනෙක් අත්අඩංගුවට ගත්තාම විශ්වාසය පාවා දුන්න එක කනගාටුවට කරුණක්. ඒත් ඒ අතර හිටිය එක සහෝදරයෙක්ව විශ්වාසය පාවා දුන්නේ නැති නිසා හිරේ දැම්මා. ඒ වෙනකොට සහෝදර ආන්ඩ්‍රේ ඉලයාස් හිටියෙත් ඒ හිරගෙදර. ඔහු කිව්වේ මෙහෙමයි. “හැඳුනුම්පත නිසා ඇති වුණ ප්‍රශ්නෙ ගැන මං එයා එක්ක කතා කළා. ඒ ගැන සමබරව හිතන්න මං එයාට උදව් කළා. පස්සේ එයා අපිව ආශ්‍රය නොකරපු එක ගැන මගෙන් සමාව ඉල්ලුවා. හිරේ හිටිය කාලේ එයා නිසා මං දිරිගැන්වුණා. මමත් එයාව දිරිගැන්නුවා. එයාට කොච්චර දරුණු පීඩා විඳින්න වුණාද කියනවා නම් අන්තිමේදි ඒ සහෝදරයා මැරුණා.”
සටන් පාඨ
1945දී යුද්දේ ඉවර වුණාම සහෝදර සහෝදරියෝ ආයෙත් උනන්දුවෙන් සේවය කරන්න පටන්ගත්තා. හිරේදී වධ විඳපු සහෝදරයෙක් නිදහස් වුණාට පස්සේ ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයට මෙහෙම ලිව්වා. “අවුරුදු ගාණක් ගියත් මගේ විශ්වාසය නැති වෙලා නැහැ. මොන ප්‍රශ්නෙ ආවත් මට සහෝදරයන්ව අමතක වුණෙත් නැහැ. ඔයාලට පුළුවන්ද මට පොත් ටිකක් එවන්න?”
ඒ සහෝදරයා ඉල්ලපු පොත් පත් ඔහුට ලැබුණා. මුලින්ම ලැබුණේ පොත් පත් ටිකක් වුණත් කල් යද්දී පොත් විශාල තොගයක් ගෙන්වගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඊටපස්සේ ජකාර්තාවල හිටිය ප්‍රචාරකයන් දහදෙනෙක් එකතු වෙලා ආයෙත් පොත් පත් ඉන්දුනීසියානු භාෂාවට පරිවර්තනය කරන්න පටන්ගත්තා
1945 අගෝස්තු 17වෙනිදා, ඉන්දුනීසියාවේ නිදහස වෙනුවෙන් කණ්ඩායමක් නැගී සිටියා. ඒක මුලපිරුවේ ලන්දේසීන්ට විරුද්ධව අවුරුදු 4ක් පුරා පැවතුණ දරුණු කැරැල්ලකට. ඒ නිසා දහස් ගණන් මිනිස්සු මැරුණා. මිලියන 7කට වඩා සෙනඟකට උන්හිටි තැන් නැති වුණා.
ඒත් සහෝදරයෝ සේවේ කරන එක නතර කළේ නැහැ. සිද්ධ වුණ දෙයක් ගැන සහෝදරි ජොසෆින් ඉලයාස් කිව්වේ මෙහෙමයි. “නිදහස වෙනුවෙන් සටන් කරපු අය එයාලගේ සටන් පාඨ කියන්න කියලා අපිට බල කළා. ඒත් අපි එයාලට කිව්වා අපි කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ කියලා.” 1949දී ලන්දේසීන් ඉන්දුනීසියාවට නිදහස ලබා දුන්නා.b
මේ වෙද්දී ඉන්දුනීසියාව පුරාම මිලියන ගණන්දෙනෙක් හිටියා. ඒ අයට ශුභාරංචිය දේශනා කිරීමේ වගකීම පැවරිලා තිබුණේ අපේ සහෝදරයන්ට. මිනිසුන්ගේ කෝණයෙන් බලද්දි නම් ඒක කරන්න ලේසි දෙයක් නෙමෙයි. ඒත් යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තිබ්බ සහෝදරයෝ සේවය පටන්ගත්තා. යෙහෝවා දෙවි “අස්වැන්න නෙළීමට වැඩකරුවන්” එවයි කියලා ඔවුන් විශ්වාස කළා. (මතෙ. 9:38) ඔවුන්ගේ බලාපොරොත්තුව යෙහෝවා දෙවි ඒ විදිහටම ඉටු කළා.
a සහෝදරි හාප්ගේ දුවක් වන හර්මිනැ ගිලියද් පාසලට සහභාගි වුණා. පස්සේ ඇය මිෂනාරිවරියක් විදිහට ඉන්දුනීසියාවේ සේවය කළා.
b 1962 වෙන කල් ලන්දේසීන් බටහිර පැපුවා ප්‍රදේශය පාලනය කළා.