ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 33 ලිපිය
  • අසභ්‍ය දර්ශනවලින් දරුවාව බේරගන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසභ්‍ය දර්ශනවලින් දරුවාව බේරගන්න!
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයා දැනගෙන ඉන්න ඕන දේ
  • දරුවාව ආරක්ෂා කරගන්නේ කොහොමද?
  • දරුවා අසභ්‍ය දර්ශන දැකලා තියෙනවා නම් . . .
  • කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද?
    2007 පිබිදෙව්!
  • අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?
    යොවුන් සිතේ ගැටලු
  • කාමුක දර්ශනවලින් සිදු වන හානිය
    2003 පිබිදෙව්!
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 33 ලිපිය
පිරිමි ළමයි තුන්දෙනෙක් ඉස්කෝලේදී ෆෝන් එකේ තියෙන දෙයක් දිහා හරිම කුතුහලෙන් බලනවා.

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

අසභ්‍ය දර්ශනවලින් දරුවාව බේරගන්න!

“අසභ්‍ය දර්ශනවල තියෙන අනතුර ගැන අපි නොදැන හිටියා නෙවෙයි. හැබැයි අපේ දුවට වුණත් ඒකෙන් ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා අපි හීනෙකින්වත් හිතලා තිබ්බේ නෑ.”—නිකෝල්.

මේ ලිපියෙන්

  • ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  • දරුවාව ආරක්ෂා කරගන්නේ කොහොමද?

  • දරුවා අසභ්‍ය දර්ශන දැකලා තියෙනවා නම් . . .

ඔයා දැනගෙන ඉන්න ඕන දේ

ළාබාල වයසේදීම අසභ්‍ය දර්ශන දරුවන්ගේ නෙත ගැටෙන්න පුළුවන්. අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙනවා දැන් දරුවෙක් අවුරුදු 11ක් වෙද්දීම ඒ දේවල් දැකලා තියෙනවා කියලා.

දරුවා අසභ්‍ය දර්ශන හොයාගෙන ගියේ නැතත් ඒවා දරුවාව හොයාගෙන එන්න පුළුවන්. උදාහරණයකට දරුවා හොඳ දෙයක් ගැන ඉන්ටනෙට් එකෙන් හොයද්දී නැත්නම් සෝෂල් මීඩියාවලට යද්දී අසභ්‍ය දර්ශනයක් එකපාරටම එන්න ඉඩ තියෙනවා. සමහරවිට ඔන්ලයින් වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරද්දී ඇඩ් එකක් විදිහටත් ඒ වගේ දෙයක් ස්ක්‍රීන් එකේ පේන්න පුළුවන්. සාමාන්‍යයෙන් අසභ්‍ය දර්ශන එක එක විදිවලින් තියෙනවා. වැඩිපුරම තියෙන්නේ ෆොටෝ සහ වීඩියෝ විදිහට. හැබැයි දරුවා ඉන්ටනෙට් එකෙන් කියවන කතන්දර, ලිපි වගේ දේවල්වල සහ එයා අහන ඕඩියෝවල වුණත් ඒවා තියෙන්න පුළුවන්.

ගැහැනු ළමයෙක් ඉස්කෝලේ වැඩ කරකර ඉන්න ගමන් එයාගේ ටැබ් එකෙන් දකින දෙයක් දිහා පුදුමෙන් කට ඇරන් බලන් ඉන්නවා.

දරුවා ඒවා හොයාගෙන ගියේ නැතත් සමහරවිට මෙසේජ් යවන ඇප් වගේ දේවල් හරහා අනිත් අය දරුවාට ඒවා එවන්න පුළුවන්. ඒ නිසා දෙමාපියන් ඒ ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. යෞවන යෞවනියන් 900කටත් වඩා හවුල් කරගෙන කරපු එක අධ්‍යයනයකින් හෙළි වුණා යෞවනියන්ගෙන් 90%කට විතර සහ යෞවනයන්ගෙන් 50%කට විතර පන්තියේ ළමයි ඒ වගේ දේවල් නිතරම එවනවා කියලා.

අසභ්‍ය දර්ශන සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩකාරියි. අද හුඟදෙනෙක් බලන අසභ්‍ය දර්ශන යම් දුරකට ප්‍රචණ්ඩකාරියි කියලා කියන්න පුළුවන්. මොකද ඒවාවල හුඟක් වෙලාවට පෙන්නන්නේ කාන්තාවන්ට වධ හිංසා කරන විදිහයි.

අසභ්‍ය දර්ශන බලන එකෙන් දරුවන්ට වෙන්නේ ලොකු හානියක්. පර්යේෂකයන් කියනවා අසභ්‍ය දර්ශන නෙත ගැටිලා තියෙන දරුවන්ට හුඟක් වෙලාවට මේ වගේ දේවල් වෙනවා කියලා.

  • ඉගෙනීම දුර්වල වෙනවා

  • කනස්සල්ල, මානසික පීඩනය වගේම තමන් වටින්නේ නැහැ කියන හැඟීම ඇති වෙනවා

  • කෙනෙක් එක්ක බලෙන් ලිංගික සම්බන්ධකම් පවත්වන එක සාමාන්‍ය දෙයක් කියලා හිතෙනවා

මේක මතක තියාගන්න: කාමුක දර්ශන බලන එකෙන් දරුවන්ගේ පුංචි මනස්වලට ලොකු හානියක් වෙනවා. වෙන කාටත් වඩා තමන්ගේ දරුවන්ව මේකෙන් ආරක්ෂා කරගන්න වගකීම තියෙන්නේ දෙමාපියන්ටයි.

බයිබල් ප්‍රතිපත්තිය: “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:6, 7.

දරුවාව ආරක්ෂා කරගන්නේ කොහොමද?

මුලින් ඔයා දැනුවත් වෙන්න. දරුවා මේ උගුලට අහු වෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ කොහේදීද, මොන වගේ අවස්ථාවලදීද කියලා හොඳට හිතන්න. උදාහරණයකට එයාට ඉස්කෝලේ ඉන්ටවල් එක වෙලාවේදී තනියම ඉන්ටනෙට් පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවාද?

බෑග් එකක් ඇතුළේ තියෙන ටැබ් එකක්, ස්මාට් ෆෝන් එකක්, පොත් සහ සඟරා, හෙඩ්සෙට් එකක්, කොම්පියුටරයක් සහ ටීවී එකක්. අසභ්‍ය දර්ශන මේ දේවල්වල තියෙන්න පුළුවන්. 1. ෆිල්ම්, වීඩියෝ. 2. වෙබ් අඩවි, සෝෂල් මීඩියා. 3. සඟරා සහ පොත් (නව කතා). 4. ඕඩියෝ විදිහට අහන්න පුළුවන් පොත්, සංගීතය.

මේ ඕනෙම දේකින් අසභ්‍ය දේවල් දරුවාව හොයාගෙන එන්න පුළුවන්

දරුවාට ෆෝන් එකෙන් බලන්න සහ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් දේවල් සීමා කරන්න ෆෝන් එකේ සෙටිංස් තියෙනවා. ඒවා ගැන හොඳට දැනුවත් වෙන්න. ඒ වගේම දරුවා පාවිච්චි කරන ඇප් සහ එයා ගහන ගේම් ගැනත් හොඳට හොයලා බලන්න. උදාහරණයකට මෙසේජ් එකක් ආවාම ඒක ටික වෙලාවකින් මැකෙන විදිහට (disappearing messages) සමහර ඇප්වල සෙටිංස් හදන්න පුළුවන්. එහෙම වුණොත් දරුවාගේ ෆෝන් එකට අසභ්‍ය මෙසේජ් එකක්, පින්තූරයක්, වීඩියෝ එකක් ආවාද කියලා දැනගන්න ඔයාට බැරි වෙයි. දැන් තියෙන හුඟක් වීඩියෝ ගේම් හදලා තියෙන්නේ ඒ ගේම් එක සෙල්ලම් කරන ගමන් අසභ්‍ය දර්ශන බලන්න පුළුවන් විදිහට. ඒ වගේම ගේම් එකේ ඉන්න චරිත ලව්වා ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන් විදිහට. ඒ නිසා ඒ දේවල් ගැන හොඳ අවධානයකින් ඉන්න.

“මං අද්දැකීමෙන්මයි කියන්නේ, ඔයා දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙනවා නම් ඔයාත් ඒක පාවිච්චි කරන විදිහ හොඳට දැනන් ඉන්න ඕනේ. ඒ වගේම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්ම ඒවාවල තියෙන සෙටිංස් ගැනත් ඔයා හොඳට දැනුවත් වෙන්න ඕනේ. හැබැයි ඒ විතරක් මදි, දරුවා ෆෝන් එකෙන් කරන්නේ මොනවාද කියලත් ඔයා හොඳ අවධානයකින් ඉන්න.”—ඩේවිඩ්.

බයිබල් ප්‍රතිපත්තිය: “කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තා දැනුමට ප්‍රිය කරයි.”—හිතෝපදේශ 18:15.

දරුවාව අසභ්‍ය දර්ශනවලින් ආරක්ෂා කරගන්න පුළුවන් හැම දේම කරන්න. උදාහරණයකට ඔයාගේ දරුවා පාවිච්චි කරන ෆෝන් එකේ වගේම ගෙදර අය පාවිච්චි කරන හැම ඩිවයිස් එකකම අසභ්‍ය දේවල් බලන්න බැරි වෙන විදිහට සෙටිංස් හදන්න. දරුවන්ට ෆෝන් එකෙන් බලන්න පුළුවන් දේවල් සීමා කරන්න ෆෝන්වල සෙටිංස් (Parental controls) තියෙනවා. ඒවා ඔන් කරන්න. ඒ වගේම ඔයාගේ දරුවා පාවිච්චි කරන ඩිවයිස්වල පාස්වර්ඩ් දැනගෙන ඉන්න.

“අසභ්‍ය දේවල් බලන්න බැරි වෙන විදිහට අපි අපේ පුතාගේ ෆෝන් එකේ සෙටිංස් හැදුවා. ගෙදර තියෙන ස්මාට් TV එකෙත් බලන්න පුළුවන් වැඩසටහන්වලට සීමාවන් දැම්මා. පුතාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එකත් අපි දන්නවා.”—මව්රීට්සියෝ.

“මං පුතාලාට කාමරේට ගිහිල්ලා දොර වහගෙන වීඩියෝ බලන්න දෙන්නේ නෑ. ඒ වගේම රෑට නිදාගන්න යද්දී ෆෝන් එක කාමරේට අරන් යන්න දෙන්නෙත් නෑ.”—ජෙන්ලූකා.

බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.”—හිතෝපදේශ 22:3.

දරුවාව කලින්ම සූදානම් කරන්න. අම්මා කෙනෙක් වන ෆ්ලේවියා මෙහෙම කියනවා. “සමහර අම්මලා, තාත්තලා හිතනවා අපේ ළමයා නං කවදාවත් නරක දෙයක් බලන්නේ නෑ කියලා. ඒ හින්දා ඒගොල්ලෝ විවෘතව දරුවාත් එක්ක ඒ ගැන කතා කරන්නේ නෑ.” තවත් සමහර දෙමාපියෝ හිතනවා ‘අපි ඔය ගැන කතා කරන්න ගියොත් කුතුහලේටම දරුවා ඕවා බලන්න යයි’ කියලා. හැබැයි අම්මේ තාත්තේ, ඔයාලා එහෙම හිතන එක නම් හරිම භයානකයි. ඇත්තම කිව්වොත් දරුවා ඒ අනතුරට වැටෙන්න කලින්ම ඔයාලා එයාව දැනුවත් කරන එක හරිම වැදගත්. ඒත් කොහොමද ඒක කරන්නේ?

තාත්තා කෙනෙක් ෆෝන් එකක් අතේ තියාගෙන පුතා එක්ක එළියේ කතා කරකර ඉන්නවා.

ඔයාගේ දරුවා තාම පුංචියි නම් බැරි වෙලාවත් අසභ්‍ය දර්ශනයක් දැක්කොත් එයා මොනවාද කරන්න ඕනෙ කියලා එයාට කියලා දෙන්න. උදාහරණයකට ඇස් දෙක වහගන්න නැත්නම් ඩිවයිස් එක ඕෆ් කරන්න කියලා එයාට කියන්න. ඒ වගේම එයා අහපු දැකපු දේවල් අම්මාට හරි තාත්තාට හරි කියන්න කියලත් කියන්න.a

“අපේ පුතා ගොඩක් පුංචි කාලේදීම අපි එයාට අසභ්‍ය දර්ශනවල තියෙන අනතුර පෙන්නලා දුන්නා. එයාට වයස 11දී වගේ දවසක් එයා ගේම් එකක් ගගහා ඉද්දී එකපාරටම අසභ්‍ය දර්ශනයක් තියෙන ඇඩ් එකක් ස්ක්‍රීන් එකට ඇවිල්ලා තියෙනවා. ඒක නිකං ඇඩ් එකක් විතරක් නෙවෙයි එයාගේ පින්තූර එවන්න කියලත් ඒකේ කියලා තියෙනවා. හැබැයි අපි කලින්ම පුතාත් එක්ක ඒ ගැන කතා කරලා තිබ්බ නිසා එයා ඒක වෙච්ච ගමන් ටක් ගාලා මං ගාවට දුවගෙන ඇවිත් වෙච්ච හැම දේම මට කිව්වා.”—මව්රීට්සියෝ.

බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.

ඔයාගේ දරුවා ටිකක් ලොකුයි නම් අසභ්‍ය දේවල් බලන්න, ඒවාට ඇහුම්කන් දෙන්න, ඒවා කියවන්න එන පෙලඹීමට අහු නොවී ඉන්න එයාට උදව් කරන්න. උදාහරණයකට ඔයාට පුළුවන් අසභ්‍ය දර්ශනයක් දැක්කොත් එයා මොනවාද කරන්නේ සහ ඇයි එහෙම කරන්න ඕනෙ කියලා කොළයක ලියන්න කියලා දරුවාට කියන්න. ඒ වගේම හිතාමතාම අසභ්‍ය දර්ශනයක් බැලුවොත් මුහුණ දෙන්න වෙන නරක ප්‍රතිඵල ගැනත් ලියන්න කියලා එයාට කියන්න. ආත්ම ගෞරවය නැති වෙන එක, දෙමාපියන්ගේ විශ්වාසය බිඳෙන එක වගේම දෙවියන් එක්ක තියෙන බැඳීම පලුදු වෙන එක වගේ දේවල් ඒ ලිස්ට් එකට ඇතුළත් කරන්න එයාට පුළුවන්.b

“අසභ්‍ය දර්ශන බලන එකෙන් කොච්චර විනාශයක් වෙනවාද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. එතකොට එයා ඒ උගුලට අහු වෙන එකක් නෑ.”—ලොරේටා.

“අසභ්‍ය දර්ශන බලන එකේ තියෙන අනතුර විතරක් නෙවෙයි ඒ ගැන යෙහෝවා හිතන විදිහත් දරුවා තේරුම්ගන්න ඕනේ. එතකොට එයාම ඒකෙන් පරෙස්සම් වෙයි.”—ඩේවිඩ්.

බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාව ආරක්ෂාවකි.”—දේශනාකාරයා 7:12.

නිතරම දරුවා එක්ක කතා කරන්න. දෙමාපියෝ එච්චර හිතුවේ නැති වුණාට දරුවන්ටත් ඕනෙ ලිංගික කාරණා ගැන, අසභ්‍ය දර්ශන බලන එක ගැන දෙමාපියන් එක්ක කතා කරන්න. එයාලාගේ හිත්වල ඒ ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ ගැන එංගලන්තයේ ළමා ආරක්ෂාව පිළිබඳ කොමසාරිස්වරිය වන රේචල් ඩි සූසා මෙහෙම කිව්වා. “දරුවන් ගැන කරපු අධ්‍යයනවලින් පස්සේ අපිට දෙමාපියන්ට දෙන්න තියෙන එකම පණිවිඩේ තමයි පුංචි කාලේ ඉඳන්ම දරුවන් එක්ක නිතරම කතා කරන්න කියන එක. මොකද දරුවෝ ටිකෙන් ටික දැනුම් තේරුම් තියෙන වයසට එද්දී අසභ්‍ය දර්ශන බලන එක වගේ විෂයන් ගැන දරුවොත් එක්ක කතා කරන එක හරිම වැදගත්.”

“අපි පොඩි කාලේ අම්මලා අපිත් එක්ක ඔය දේවල් ගැන කවදාවත් කතා කරලා නෑ. ඒත් ඇත්තටම ඒ වගේ දේවල් ගැන කතා කළා නං තමයි හොඳ. දැන් මං අම්මා කෙනෙක් නිසා ලිංගික කාරණා ගැන දරුවෝ දැනගන්න ඕන දේ මං එයාලට කියලා දෙනවා. ඒ වගේ විෂයන් ගැන වුණත් නිදහසේ කතා කරන්න පුළුවන් වාතාවරණයක් අපේ ගෙදර තියෙනවා.”—ෆ්ලේවියා.

දරුවා අසභ්‍ය දර්ශන දැකලා තියෙනවා නම් . . .

කලබල වෙන්න එපා. දරුවා අසභ්‍ය දර්ශනයක් බලලා තියෙනවා කියලා ඔයාට දැනගන්න ලැබුණොත්? එහෙම නැත්නම් එයා ඒ වගේ දේකට ඇහුම්කන් දීලා හරි ඒ වගේ දෙයක් කියවලා හරි තියෙනවා කියලා ඔයා දැනගත්තොත්? ඒ වගේ වෙලාවට කේන්ති අරන් වැඩ කරන්න එපා. මොකද සමහරවිට එයා දැකපු දේ නිසා එයාගේ පුංචි මනසත් අවුල් වෙලා ඇති. ලොකු වරදක් කළා වගේ හැඟීමකුත් එයාට දැනෙනවා ඇති. ඒ නිසා කේන්ති අරන් එයාගේ ඇඟට කඩා පනින්න එපා. ඒකෙන් එයා තවත් මානසිකව වැටෙයි. එතකොට ආයේ කවදාවත් ප්‍රශ්නයක් කියාගෙන එයා ඔයා ළඟට එන එකකුත් නැහැ.

අසභ්‍ය දර්ශනයක් දැකපු දුවත් එක්ක අම්මා කෙනෙක් වැඩ කරන විදි පෙන්නන පින්තූර දෙකක්. 1. අම්මා කේන්ති අරන් දුවට බනිනවා. 2. අම්මා සන්සුන්ව දුවත් එක්ක කතා කරනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය. වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.”—හිතෝපදේශ 17:27.

ඇත්ත නැත්ත දැනගන්න. ‘වුණේ මෙන්න මේකයි’ කියලා ඔයාම හිතන්න ඉක්මන් වෙන්න එපා. ඒ වෙනුවට එයාට අසභ්‍ය දෙයක් බලන්න ලැබුණේ කොහොමද කියලා හොයලා බලන්න. උදාහරණයකට මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක ඒකට උදව් වෙයි. ‘ඒක දරුවාට වෙන කවුරු හරි එව්වාද නැත්නම් එයාම හොයාගෙන ගිහින් බැලුවාද? මේක එක සැරයක් වෙච්ච දෙයක් විතරද? නැත්නම් මීට කලිනුත් එයා ඒවා බලලා තියෙනවාද? නරක දේවල් බලන්න බැරි වෙන විදිහට ඔයා එයාගේ ෆෝන් එකේ සෙටිංස් හදලාද තිබුණේ? එහෙමනම් එයා ඒකෙන් රිංගලා ගියාද?’ ඇත්ත නැත්ත දැනගන්න දරුවාගෙන් ප්‍රශ්න අහන්න. හැබැයි පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේ ඒක කරන්න එපා. මොකද ඔයාට ඕනෙ ඇත්තටම දරුවාගේ හිතේ තියෙන දේ එළියට ගන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.”—හිතෝපදේශ 20:5.

පියවර ගන්න. දරුවාට ඒ දේ දකින්න ලැබුණේ අහම්බෙන් නම් ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන්න එයාගේ ෆෝන් එකේ සෙටිංස් හදන්න.

දරුවාම හොයාගෙන ගිහින් අසභ්‍ය දර්ශන බලලා නම් එයාට ඍජු හික්මවීමක් දෙන්න. හැබැයි ආදරෙන් ඒක කරන්න. ආයෙත් අසභ්‍ය දර්ශනයක් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැතුව ඉන්න අධිෂ්ඨානයක් ගන්න එයාට උදව් කරන්න. ඒකට යෝබ් 31:1, ගීතාවලිය 97:10 සහ ගීතාවලිය 101:3 වගේ බයිබල් පද පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.c ඒ වගේම එයාට කියන්න ඒ අධිෂ්ඨානයට එකඟව එයා වැඩ කරනවාද, එයාට තව උදව් ඕනෙද කියලා හොයලා බලන්න ඔයා හැම සතියකම එයාත් එක්ක කතා කරනවා කියලා.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.”—එෆීස 6:4.

a දරුවන්ගේ වයසට ගැළපෙන විදිහට ලිංගික කාරණා ගැන කතා කරන්නේ කොහොමද කියලා දැනගන්න “දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.

b ඔයා අරන් තියෙන අධිෂ්ඨානය කොළයක ලියද්දී ඒකට තව එකතු කරගන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න “අසභ්‍ය පින්තූර නොබලා ඉන්න නම් කරන්න ඕන මොනවාද?” කියන වැඩ පිටුව බලන්න.

c “අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?” කියන ලිපිය දරුවා එක්ක කියවලා ඒ ගැන එයා එක්ක කතා කරන්නත් ඔයාට පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න