සදාචාරයන් ගමන්කරන්නේ කොතැනකටද?
ශතවර්ෂ ගණනාවක් පුරා බොහෝ රටවල සදාචාරය පිළිබඳ ප්‍රමිති මට්ටම වශයෙන් තිබූ බයිබලය ගැන ප්‍රශ්න කළේ නැත. බයිබලයේ ඇති උසස් ප්‍රතිපත්ති අනුව සෑම දෙනෙකුම ජීවත් නොවූවත්, බයිබලය පිළිගත් සමාජයට, එය හැසිරීම විනිශ්චය කිරීම සඳහා උරගලක්, එනම් පොදු සදාචාර භාෂාවක් විය. එහෙත් ජේසු නිකාය විශ්වවිද්‍යාල සභාපති ජෝසෆ් ඔහාර් මෙසේ ශෝකය පළ කළේය: “අභියෝග කර ඇත්තාවූද යෝග්‍ය නොවන බවට පෙනෙන්නාවූද නැතහොත් තවදුරටත් තත්කාලීන නොවන්නාවූද, සම්ප්‍රදායානුකූල ප්‍රමිති මාලාවක් අපට තිබී ඇත. දැන් කොහෙත්ම කිසිම සදාචාර සීමාවක් තිබෙන බවක් පෙනෙන්නට නැත.”
බයිබලය මත පදනම් සදාචාරත්වයට අනුග්‍රහය දැක්වීම පහත වැටීමට හේතුව කුමක්ද? පරිණාමවාදය පුළුල්ව පිළිගැනීම එක් ප්‍රබල හේතු සාධකයක් විය. අමෙරිකන් වැලියූස්: ඔපෝසිං වියූපොයින්ට්ස් යන පොත මෙසේ පවසයි: “දන්නා තරමින් සියලු ශිෂ්ටාචාරවල ජනයා ලෝක දෙකක් කෙරෙහි විශ්වාසය තැබූහ: එකක් ඔබට පෙනෙන ලෝකය, අනෙක නොපෙනෙන එක. . . . නොපෙනෙන ලෝකය අර්ථය සහ සාරධර්ම සඳහා පදනම සපයනු ලැබුවේය. . . . එය ඔවුන්ගේ සමාජය ඒකාබද්ධ කරන මූලාශ්‍රය විය. කෙසේවුවද, ඉකුත් ශතවර්ෂයේ මැද භාගයේදී පමණ, නොපෙනෙන ලෝකයක් නොමැති බව ජනයාට පවසන්නට පටන්ගෙන තිබේ. එය පැවතුණේවත්, තිබුණේවත් නැත කියාය.” විශේෂයෙන්ම එවක් පටන්, බයිබලය සහ එහි සදාචාරත්වය වෙත පෙර නොදුටුවිරූ ප්රහාරයන් එල්ල වී ඇත. බයිබලය උත්තර විවේචනය යනුවෙන් හඳුන්වනු ලබන දේට භාජනය කිරීම සහ ඩාවින්ගේ ඔරිජින් ඔෆ් ස්පීසීස් (ජාති සම්භවය) ප්රකාශනයට පත් කිරීම මෙම දාර්ශනික ප්රහාරයන් අතර විය.a
මෙබැවින් බොහෝ දෙනාගේ මනස්වල බලපැවැත් වූ බයිබලයේ අධිකාරිත්වය පරිණාමය මගින් පහකර දැමුවේය. හාවර්ඩ් මැගසින් යන සඟරාවේ ලිපියක සඳහන් වන පරිදි, බයිබලය දැන් “සිත්කලු ප්‍රබන්ධ කතන්දරයකට” වඩා වැඩි දෙයක් ලෙස සලකනු ලැබුවේ නැත. සදාචාරය කෙරෙහි ඇති බලපෑම විනාශකාරී විය. පරිණාමය “ඕනෑම ආකාරයක අවස්ථාවාදී හැසිරීමකට අවසර පතක්” ලෙස, ඉතා ප්‍රසිද්ධ විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් විසින් හැඳින්වූ දෙය බවට පත් විය.
සැබවින්ම, පරිණාමය පින්තූරයේ එක පැත්තක් පමණි. ආගම සම්බන්ධයෙන් පැතිර පවත්නා බලාපොරොත්තු සුන්වූ තත්ත්වයට ලෝක යුද්ධ දෙක තවදුරටත් ඉන්ධන දැමීය. කාර්මික විප්ලවය සමාජයේ—එනම් සදාචාරයේ මහත් වෙනස්කම් ඇති කළේය. එපමණක් නොව, සීඝ්රයෙන් වැඩි වන ජන සන්නිවේදන මාධ්‍ය මගින්, ජනයාව පිරිහුණු සදාචාරයන් වෙත විශාල වශයෙන් අනාවරණය කිරීමට හැකි කරවා තිබේ.
සියල්ල සාපේක්ෂද?
එසේනම්, බොහෝ දෙනෙකුට සදාචාර පද්ධතියක් නැති වීම පුදුමයක් නොවේ. ඔවුහු සුක්කානමක් නැති නැවක් මෙන් නිදැල්ලේ හැසිරෙති. උදාහරණයක් වශයෙන්, බොහෝ දෙනෙක් “යුක්ති ධර්ම පිළිබඳ සත්‍යයන් රඳා පවතින්නේ පුද්ගලයන් මත හා ඒවා අනුව හැසිරෙන කණ්ඩායම් මතයි” යන දෘෂ්ටිය, එනම් සදාචාර සාපේක්ෂතාවයේ (අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ) ජනප්‍රිය වූ ආකල්පයට අනුව කටයුතු කරති. මෙම දර්ශනයට අනුව, පරමව පවතින සදාචාරයන් නොමැත—සියල්ල සාපේක්ෂ වේ. සාපේක්ෂතාවාදීන් කියා සිටින්නේ, ‘ඔබට වැරදි දෙයක් තව කෙනෙකුට හරි වෙන්න පුළුවන්’ කියාය. ඔවුන්ගේ සදාචාර දිසාමානයන් කැමති දිශාවකට හැරවිය හැකි නිසා, ඕනෑම අයුරක හැසිරීමක් සැබවින්ම වලංගු කිරීමට ඔවුහු ඉක්මන් වෙති.
මෙබැවින්, පෙර කලකදී “පාපතර” හෝ “වැරදි” යයි ගණන් ගැනුණු ක්‍රියාවක් දැන් “මෝඩ” දෙයක් පමණකි. ක්‍රියාව “පිළිකුල්” යයි නිදහසට කරුණු දැක්විය හැකි නමුත් “දුරාචාර” වශයෙන් හෙලාදකිනු ලබන්නේ නැත. “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ,” අය සිටි පුරාණ ප්‍රොපේත යෙසායාගේ දවස් කෙනෙකුගේ සිහියට නැගේ.—යෙසායා 5:20.
එකිනෙකාට දොස් පැවරීම
වෙන කෙනෙකුට දොස් (වරදසහිත බව) පැවරීම සදාචාරය පහත වැටීමේ වෙනත් නැඹුරුවාවකි. ආදම් ඒවටද, ඒව අනිත් අතට සර්පයාටද දොස් පැවරුවාය. අදදින වරදකරුවන්ද එලෙසම වගකීමෙන් බේරීමට මානබලමින් සිටින අතර බොහෝ විට ඔවුනට එසේ කිරීමට උපකාර කරන්නේ නීතික සහ මනෝචිකිත්සක වෘත්තිකයන්ය. “වැරදිකරුවන්ව උපකාරයක් නොමැති ගොදුරු වන අසරණයන් බවට පත්කරන අලුත් රෝග සොයා ගැනීම” ගැන යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපොර්ට් සඟරාවේ ලිපියක් මනෝචිකිත්සක ප්‍රජාවට දොස් පැවරුවේය. උදාහරණයක් වශයෙන්, “පැරෆිලික් රේපිසම්” (අසාමාන්‍ය රාගය හේතුවෙන් දූෂණය කිරීමට පොලඹවන මානසික රෝගය) යන හරයක් නැති විචිත්‍ර නමින් හඳුන්වන ලද රෝගයකට ගොදුරු වූවන් හැටියට ස්ත්‍රී දූෂකයන්ව නම් කිරීම ගැන අමෙරිකානු මනඃකායක සංගමය සෑහෙන දුරට සැලකිලිමත්වූ බවට වාර්තා වේ. මෙය ප්‍රතිවිපාක නොසලකා දූෂණය කිරීමට නීත්‍යනුකූල අවසරයක් ලබා දෙනු ඇති බව ඇතැමෙකුට හැඟුණි. “ස්ත්‍රීන් මෙයට ඉතා තදින් විරුද්ධව නැගී සිටි බැවින් රේපිසම් [දූෂණය කිරීමට පොලඹවනවා යයි කියන රෝගය] තවදුරටත් රෝගයක් නොවන බව විගස සොයා ගනු ලැබීය.”
මෙය ළමා වියේදී ඇති වූ චිත්ත වේගාත්මක කම්පනයන් වැඩිහිටියෙකු වූ විට අහිතකර බලපෑම් ඇති කළ හැකියි යන පැහැදිලි සාධකය ප්‍රතික්ෂේප කිරීමට නොවේ. එහෙත් අතීතය ප්‍රචණ්ඩකාරී හෝ දුරාචාර වැඩිහිටි හැසිරීමක් සඳහා නිදහසට කරුණක් වශයෙන් යොදා ගැනීම වැරදිය.
යෞවනයන්ට සදාචාර දිසාමානයන් නොමැත
විශේෂයෙන්ම ලෙහෙසියෙන් පෙලඹිය හැකි යෞවනයන් මත ලෝකයේ සදාචාර වියවුල බලපෑමක් කොට ඇත. අමෙරිකානු දරුවන්ගේ සදාචාර ජීවිතයට මඟ පෙන්වීම දෙන එක නිශ්චිත උපකල්පන පද්ධතියක් නැති බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක රොබර්ට් කෝල්ස් සොයා ගත්තේය. ඔවුන් විවිධාකාරවූ සදාචාර ප්‍රමිති හා සාරධර්ම පද්ධති මගින් මඟ පෙන්වනු ලබයි. පාසල් වයසේ යෞවන කණ්ඩායමකින් විමසනු ලැබූ විට සියයට 60ක් පමණ පැවසුවේ ඔවුන් මඟ පෙන්වීම ලැබුවේ ඔවුනට පෙරමුණේ සිටීමට සලස්වන දේ හෝ ඔවුනට හොඳ හැඟීමක් දෙන දේ මගින් බවය.
එවන් සදාචාර වියවුලකට ඇතැම් අවස්ථාවලදී දායක වන්නේ පාසල්ය. වසර කීපයකට පෙර එක්සත් ජනපදයේ පාසල්වල ස්ථාපිත කර තිබූ “සාරධර්ම පැහැදිලි කිරීම” නමින් හැඳින්වූ බලපෑමක් ඇති කරන වැඩසටහනක් ගැන සලකා බලන්න. එහි මූලික ඉගැන්වීම් මොනවාද? ළමයින්ට තමන්ගේම සදාචාර සාරධර්ම තෝරාගැනීමට නිදහස දිය යුතුයි යන්නය.
එවැනි ආකල්පයක සදාචාර හිස් බව හොඳින් පැහැදිලි වන්නේ, නිව් යෝර්ක් නගරයේ පාසල් සිසුවියකට ඩොලර් 1,000ක මුදලක් තිබූ පසුම්බියක් සම්බ වූ විට ඇය එය නැවත භාර දීමට තීරණය කළ අවස්ථාවේදී අද්දැක්ක දෙයිනි. සදාචාර-සාරධර්ම පිළිබඳ පංතියකදී සෙසු සිසුසිසුවියන්ගෙන් ඇය ලැබුවේ කුමන ප්රතිචාරයක්ද? එසේ කළ නිසා ඇය ලැබුවේ සරදම සහ බැණවැදීමය! ඊටත් වඩා නරක දේ වූයේ, එක ගුරුවරයෙකු හෝ එක පාසල් නිලධාරියෙකු හෝ ඇගේ අවංක ක්‍රියාව පැසසුවේ නැති වීමයි. එක් ගුරුවරයෙක් මෙසේ පැසසීමට මැලිවීම ගැන නිදහසට කරුණු දැක්වුයේ මෙසේ පවසමින්ය: “හරි වැරැද්ද සම්බන්ධයෙන් මම නිශ්චිත ස්ථාවරයක් ගන්නවා නම්, මම ඔවුන්ගේ උපදේශකයා නොවේ.”
සදාචාර පිරිහීම නැවැත්වීමට පල්ලිවලට හැකිද?
ලෝකයේ ඉතා දුක්ඛදායක සදාචාර තත්ත්වය අහිතකර ප්‍රතිඵල ඇති කර තිබීම පුදුමයක් නොවේ. බොහෝ දෙනෙක් දැන් නැවත සම්ප්‍රදායානුකූල සාරධර්මවලට හැරීම සඳහා පෙරැත්ත කරති, සමහරෙකුට මින් අදහස් වන්නේ නැවත ආගම වෙත හැරී යාමය. කෙසේවුවත්, සදාචාර නායකත්වයක් සැපයීම සම්බන්ධයෙන් පල්ලිවලට තිබෙන්නේ දුර්වල වාර්තාවකි. ප්‍රෙස්බිටේරියන් පල්ලිය (එ.ජ.) සඳහා පොදු රැස්වීමකදී මෙසේ පිළිගන්නා ලදි: “ප්‍රමාණයෙන් අති විශාල හා දරුණු ප්‍රතිඵල ගෙනෙන අර්බුදයකට අපි මුහුණ දෙමින් සිටින්නෙමු.” මෙම අර්බුදයේ ස්වභාවය කුමක්ද? “රට පුරා පල්ලි සාමාජිකයන්, සේවාදායකයන්, සේවකයන් යනාදි අය සමඟ පූජකයන් සියයට 10 සහ 23 අතර ප්‍රමාණයක් ලිංගික හැසිරීමක හෝ ලිංගික සම්බන්ධතාවල යෙදී ඇත.”
මෙබැවින් ආගම සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයක් පැතිර පවතී. එක්සත් ජනපද ව්‍යාපාරය හා කාර්මික සභාවේ සභාපති එය සංක්ෂිප්ත කොට දැක්වූයේ මෙසේය: “ආගමික ආයතනයන් සිය ඓතිහාසික සාරධර්ම අන්අයට යැවීමට අසමත් වී ඇති අතර බොහෝ අවස්ථාවලදී, විමුක්තියේ දේව ධර්ම ශාස්ත්‍රය හා මිනිස් හැසිරීම පිළිබඳ විනිශ්චයෙන් තොර දෘෂ්ටීන් වැඩි දියුණු කරමින් [සදාචාර] ගැටලුවෙහි කොටසක් බවට පත්වී ඇත.”
එසේනම්, උපදෙස් නොලැබූ හෘදය සාක්ෂියක් මිනිස්වර්ගයාට මඟ පෙන්වීමට ප්‍රමාණවත් නැති බව පැහැදිලිය. අදදින සදාචාරයන් සම්පූර්ණ සදාචාර බිඳවැටීමකට එකහෙළා ගමන් කරමින් සිටී. අපට වඩා උසස් කෙනෙකුගෙන් පැමිණෙන මඟ පෙන්වීමක් අපට අවශ්‍යයි.—සසඳන්න හිතෝපදේශ 14:12; යෙරෙමියා 10:23.
එවන් මඟ පෙන්වීමක් පවතී. එය වුවමනා සියලු දෙනාටම එය ලබාගත හැකියි. g93 8/8
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ලයිෆ්—හෞ ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්? යන ප්රකාශනයේ මැවිල්ලට අනුග්‍රහය දක්වමින් ඒත්තුගන්වන සාක්ෂි දී තිබේ.
[24 පිටුවෙහි හුවා දැක්වීම]
බයිබලය මත පදනම්සදා චාරත්වයට අනුග්‍රහය දැක්වීම පහත වැටීමට හේතු සාධකයක් වූයේ පරිණාමවාදය කෙරෙහි විශ්වාසය තැබීමය
[25 පිටුවෙහි හුවා දැක්වීම]
‘පල්ලි සාමාජිකයන්, සේවාදායකයන්, සේවකයන් යනාදි අය සමඟ පූජකයන් සියයට 10 සහ 23 අතර ප්‍රමාණයක් ලිංගික හැසිරීමක හෝ ලිංගික සම්බන්ධතාවල යෙදී ඇත.’
[26 පිටුවෙහි ඇති පින්තූර]
පූජකයන් බයිබලය වෙනුවට මිනිස් ප්‍රඥාව මත සදාචාර ක්‍රමයක් වැඩි දියුණු කිරීමට මං සලසා ඇත