යෞවනයන් අසති . . .
ඒඩ්ස්—මා සිටින්නේ අවදානම් තත්ත්වයක ද?
නස්වීක් සඟරාව පැවසුවේ මෙම නිවේදනයෙන් ‘ලෝකය කම්පනයට පත් කළ’ බවයි. එක්සත් ජනපදයේ ජනප්‍රිය මලල ක්‍රීඩක අර්වින් “මැජික්” ජොන්සන්, තමා හට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව 1991 නොවැම්බර් 7වන දා පුවත් පත් වාර්තාකරුවන්ට දැනුම් දුන්නේ ය. මෙම තැතිගන්වන පිළිගැනීමේ ප්‍රකාශය අබියසේ, ඒඩ්ස් තොරතුරු දැනුම් දෙන විශේෂ දුරකථන මාර්ග හදිසි තදබදයකට භාජනය විය. ඒඩ්ස් රෝගය සඳහා පරීක්ෂා කරවා ගැනීම් ඉල්ලමින් ඇතැම් රෝහල් පිරී ඉතිරී ගියේ ය. ඇතැම් අය අඩු ම තරමින් තාවකාලික ව හෝ තම දුරාචාර හැසිරීම් අඩු කර දැමූහ.
සමහර විට මෙම නිවේදනයේ ප්රබලතම බලපෑම ඇති වූයේ යෞවන අය මත ය. එක් විශ්වවිද්‍යාලයක සෞඛ්‍ය සේවා පිළිබඳ අධ්‍යක්ෂකයෙක් මෙසේ පවසයි: “ශිෂ්‍යයෝ ‘එය ඔහුට හැදුණා, මටත් හැදෙන්න පුළුවන්’ යන පණිවිඩය—කෙටි කලකට—සිතට ගත්හ. . . . ශිෂ්‍යයන් වැඩි දෙනෙකුට, මැජික් ජොන්සන්ට සිදු වූ දෙයින් තමන්ගේ හැසිරීම්වල වෙනසක් සිදු නොකරයි, තමන්ට ‘ඉන් ගැලවෙන්න පුළුවන්’ කියා ඔවුහු තවමත් සිතති.”
“වසංගත,” එනම් සීඝ්රයෙන් පැතිරෙන බෝවෙන රෝග මගින් අපගේ කාලය හඳුනා ගත හැකි බවට බයිබලය පුරෝකථනය කළේ ය. (ලූක් 21:11) ඇත්තෙන් ම ඒඩ්ස් වසංගතයක් ලෙස හැඳින්විය හැකි ය. එක්සත් ජනපදයේ ප්‍රථම ඒඩ්ස් රෝගීන් 1,00,000 සොයා ගැනීම සඳහා 1981 සිට 1989 දක්වා වසර අටක් ගත විය. එහෙත් දෙවන රෝගීන් 1,00,000 වාර්තා කිරීම සඳහා ගත වූයේ වසර දෙකක් පමණි!
එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානවලට අනුව, මෙම ඛේද ජනක සංඛ්‍යා ලේඛනය “එක්සත් ජනපදයේ සීඝ්රයෙන් වර්ධනය වන [ඒඩ්ස්] වසංගතයේ විශාලත්වය අවධාරණය කරයි.” කෙසේ වුවද, අප්‍රිකාව, යුරෝපය සහ ලතින් අමෙරිකාව හරහා මරණය සහ දුක්ඛිතකම බෙහෙවින් ඇති කරන ඒඩ්ස් වනාහි සමස්ත ලෝක වසංගතයකි. සැලකිය යුතු ලෙස, ලොස් ඇන්ජලිස් හි ළමා රෝහලේ වෛද්‍ය මාර්වින් බෙල්සර් ඒඩ්ස් රෝගය හඳුන්වන්නේ “1990 ගණන්වල යෞවනයන් මුහුණ පාන වඩාත් ම තැතිගන්වන ගැටලුව” වශයෙනි.
හොර රහසේ බෝවීම
මෙම අරුම පුදුම රෝගය කුමක් ද, තව ද එය එතරම් මාරාන්තික වන්නේ මන්ද? ඒඩ්ස් වර්ධනය වන්නේ අන්වීක්ෂීය අංශුවක්—එනම් HIV (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) රුධිර ධාරාවට ඇතුළු වූ විට ය. එහි දී, මෙම වෛරසය, උපකාරක T සෛල වන, ශරීරයේ සුදු රුධිරාණු සමහරකට විරුද්ධ ව, සොයා-විනාශ කිරීමේ මෙහෙයක් අරඹයි. මෙම සෛල රෝග ශරීරයෙන් පලවා හැරීමට උපකාර කිරීමෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වුවද, ඒඩ්ස් වෛරසය ඒවා දුබල කර, ප්‍රතිශක්ති පද්ධතිය විනාශ කර දමයි.
ආසාදිත තැනැත්තාට අසනීප බව හැඟීමට පෙර සෑහෙන කලක් ගත විය හැක. ඇතැමෙකුට දශකයක් පමණ ගතවන තෙක් ම රෝග ලක්ෂණ නොදැනේ. එහෙත් කල් යත් ම උණ රෝගය වැනි රෝග ලක්ෂණ වර්ධනය වේ—එනම් බර සහ ආහාර රුචිය අඩු වීම, උණ සහ පාචනය ඇති වීම යනාදිය ය. දිගට ම ප්‍රතිශක්ති පද්ධතියේ විනාශකාරී බිඳ වැටීමක් සිදුවන විට, රෝගයට ගොදුරු වූවන්—නියුමෝනියාව, මෙනින්ජීය ප්‍රදාහය, ක්ෂය රෝගය හෝ ඇතැම් පිළිකා වර්ග වැනි ආසාදනයන් ගණනාවකට ම පහසුවෙන් ගොදුරු වන තත්ත්වයකට පත් වේ, ගොදුරු වූ තැනැත්තාගේ රෝගවලට එරෙහි වීමේ හැකියාව පහත වැටීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා බැවින් මෙවන් රෝග, අවස්ථාවාදීන් ලෙස හැඳින්වේ.
“මම හැම වෙලාවේ ම ඉන්නේ වේදනාවෙන්” කියා ඒඩ්ස් රෝගයට ගොදුරු වූ 20-හැවිරිදි තැනැත්තෙක් පවසයි. රෝගය නිසා ඔහුගේ මහාන්ත්‍රයේ සහ අධෝ මාර්ගයේ තුවාල හටගෙන ඇත. කෙසේ වුවද, සම්පූර්ණයෙන් වැඩුණු ඒඩ්ස් යන්නෙන් අදහස් කරන්නේ අපහසුතාවයට හා වේදනාවට වඩා වැඩි දෙයකි; මන්ද ඊට ගොදුරු වන සියල්ලන් ම පාහේ මරණය අත් දකින බැවිනි. එක්දහස් නවසිය අසූ එකේ පටන් එක්සත් ජනපදයෙහි පමණක් මිලියනයකට අධික ජනතාවකට වෛරසය පැතිරී ඇත. දැනටමත් 1,60,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. එක්දහස් නවසිය අනූපහ වසර වන විට, මැරෙන සංඛ්‍යාව දෙගුණ වනු ඇති බවට විශේෂඥයෝ පුරෝකථනය කරති. දන්නා තරමින් දැනට ඒඩ්ස් සඳහා ප්‍රතිකාරයක් නොමැත.
යෞවනයන් අවදානමෙහි
මෙතෙක් දුරට, එක්සත් ජනපදයෙහි වාර්තා කරන ලද ඒඩ්ස් රෝගීන්ට නහඹරයන් ඇතුළත් ව සිටියේ සියයට 1ටත් වඩා අඩු කුඩා ප්‍රතිශතයක් පමණි. එබැවින්, මෙම රෝගයෙන් මිය ගිය කිසි ම යෞවනයෙක් ඔබ පුද්ගලික ව ම නොදන්නවා විය හැක. යෞවනයන් අවදානමෙහි නොසිටින බවක් මින් අදහස් නොකෙරේ! එක්සත් ජනපදයේ සිටින ඒඩ්ස් රෝගීන්ගෙන් පහෙන් එකක් පමණ සිය 20 ගණන්වල පසුවෙති. රෝග ලක්ෂණ මතු වීමට වසර කිහිපයක් ගතවන බැවින්, මෙම පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගේ නහඹර වියේ දී ආසාදිත වී සිටියා විය හැකියි. රෝගය බෝවීමේ වත්මන් ප්‍රවණතාව දිගට ම පැවතුණහොත්, තවත් යෞවනයන් දහස් ගණනක් ඒඩ්ස් රෝගීන් බවට පත්වනු ඇත.
එක්සත් ජනපදයේ රෝග මර්දන මධ්‍යස්ථාන පවසන අන්දමට, “ආසාදිත අයගේ රුධිරයේ, ශුක්‍රාණුවල සහ යෝනියෙන් ශ්රාවයවන දියරවල” මාරාන්තික වෛරසය සැඟ වී ඇත. එබැවින් “ආසාදිත පුද්ගලයෙකු සමඟ—යෝනිය, ගුදය හෝ මුඛය මගින්—ලිංගික සබඳතා පැවැත්වීමෙන්” HIV පැතිරේ. බහුතරයක් රෝගයෙන් ආසාදනය වී ඇත්තේ මෙයාකාරයට ය. එමෙන් ම “ආසාදිත පුද්ගලයෙකු විසින් හෝ ඔහු සඳහා භාවිතා කරන ලද කටුවක් හෝ සිරින්ජයක් මගින් අනිනු ලැබීමෙන්” ඒඩ්ස් බෝකළ හැක. තවදුරටත්, HIV සමඟින් දූෂිත වූ “රුධිර ප්‍රවේශනයන් ලබා ගැනීම මගින් ඇතැම් අය ආසාදිත වී සිටිති.”—වොලන්ටරි HIV කවුන්සලිං ඇන්ඩ් ටෙස්ටිං: ෆැක්ට්ස්, ඉෂූස්, ඇන්ඩ් ආන්සර්ස්.
එබැවින් බොහෝ යෞවනයෝ අවදානමෙහි සිටිති. යෞවනයන්ගෙන් තැති ගන්වන විශාල සංඛ්‍යාවක් (එක්සත් ජනපදයෙහි සියයට 60ක් පමණ වන බව ඇතැමෙක් පවසති) නීත්‍යානුකූල නොවන මත් ද්‍රව්‍යය අත්හදා බලා ඇත. මෙම මත් ද්‍රව්‍යවලින් සමහරක් විදින බැවින්, අපවිත්‍ර කටුවකින් රෝගය බෝවීමේ අවදානම ඉතා වැඩි ය. එක් එ. ජ. සමීක්ෂණයකට අනුව, උසස් පාසල් (ද්විතීයික පාසල්) ශිෂ්‍යයන්ගෙන් සියයට 82ක් මත්පැන් වර්ග පානය කර ඇති අතර, සියයට 50ක් පමණ දැනට එසේ කරමින් සිටිති. බීර බෝතලයක් පානය කිරීමෙන් ඔබට ඒඩ්ස් වැළඳෙන්නේ නැති විය හැකි නමුත්, අනතුරු ව, එය ඔබේ හොඳ සිහිය දුර්වල කළ හැකි අතර අවදානම් හැසිරීම්වල—එනම් දුරාචාර ලිංගික ක්‍රියාවල, සමලිංගික සේවනයේ හෝ විෂමලිංගික සේවනයේ ඔබ ව යෙදවීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය.
එක්දහස් නවසිය හැත්තෑවේ දී ලිංගික සබඳතාවන් අත් දැක තිබුණේ 15-හැවිරිදි ගැහැණු ළමුන්ගෙන් සියයට 5කට අඩුවෙනි. එක්දහස් නවසිය අසූ අටවන විට එම ගණන සියයට 25කට වඩා වැඩි වී තිබුණි. සමීක්ෂණයන් ද පෙන්නුම් කරන ආකාරයට වයස 20වන විට, එක්සත් ජනපදයේ ස්ත්‍රීන්ගෙන් සියයට 75ක් ද, පිරිමින්ගෙන් සියයට 86ක් ද ලිංගික ක්‍රියාවන්වල යෙදෙමින් සිටිති. තවත් තැති ගන්වන සංඛ්‍යා ලේඛනයක් වනාහි: නහඹරයන් පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් පමණ සහකරුවන් හෝ සහකාරියන් හතර දෙනෙකුට වඩා වැඩි ගණනක් සමඟ ලිංගික සබඳතා පවත්වා තිබීම ය. එසේ ය, වැඩි වැඩියෙන් යෞවනයන් පූර්ව විවාහ ලිංගික සබඳතා පවත්වමින් සිටින අතර, වෙන කිසිදාකටත් වඩා බාල වයසෙන් ඔවුහු එසේ කිරීමට පටන් ගනිමින් සිටිති.
වෙන රටවල මීට වඩා අඩු දරුණු තත්ත්වයක් තිබෙනවා නොවේ. ලතින්-අමෙරිකානු රටවල, නහඹර යෞවනයන්ගෙන් හතරෙන් තුනක් දක්වා ප්‍රමාණයක් පූර්ව විවාහ සබඳතාවල යෙදී ඇත. අප්‍රිකානු රටවල බොහෝ මිනිසුන් තමන් ව ඒඩ්ස් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන වෑයමක් ලෙස නහඹර ගැහැණු ළමුන් ව ලිංගික සහකරුවන් වශයෙන් තෝරාගෙන ඇති බවට වාර්තා වේ. ප්‍රතිඵලය? අප්‍රිකානු නහඹර ගැහැණු ළමුන් අතර ඒඩ්ස් රෝගීන් සීඝ්රයෙන් වැඩි වී ඇත.
ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය මෙම විනාශකාරී හැසිරීම සඳහා වන පෙලඹීම නැවැත්වීමට කිසිවක් කර නැත. එක් ලතින්-අමෙරිකානු රටක් සලකා බලන්න. “ලිංගික සබඳතාවල යෙදෙන අවිවාහක යෞවනයන්ගෙන්” සියයට 60කට වඩා වැඩි සංඛ්‍යාවක් “ඒඩ්ස් වෛරසය බෝවීමේ වැඩි අවදානමක සිටි.” කෙසේ වුවද, පුද්ගලික ව ම තමන් අවදානමෙහි සිටින බව හැඟෙන්නේ සියයට 10කටත් වඩා අඩු ගණනකට ය. ඔවුහු තමන්ට ම මෙසේ පවසති: ‘මට එහෙම වෙන එකක් නෑ.’ එහෙත් “අමෙරිකාවන්වල තිබෙන HIV ආසාදනයේ උසස් ම අනුපාතවලින් එකක්” මෙම රටට තිබේ.—එනම් එ. ජ. රෝග මර්දන මධ්‍යස්ථාන.
එය සිදුවිය හැකි ය!
ඒඩ්ස් වසංගතය බයිබලයේ අනතුරු ඇඟවීම්වල සත්‍යතාවය අවධාරණය කරයි, එනම් ලිංගික දුරාචාරය “අවසානයේ දී [ඵල විපාකය, NW ] දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත;” යන්න ය. (හිතෝපදේශ 5:3-5; 7:21-23, නව අනුවාදය) සැබවින් ම, බයිබලය මූලික වශයෙන් ම යොමු දක්වන්නේ ආත්මික සහ චිත්ත වේගීය හානි වීම වෙත ය. එහෙත් ලිංගික දුරාචාරයට හානිදායක ශාරීරික ඵල විපාක ගණනාවක් ම තිබෙනවා යන්න ද අප ව පුදුමයට පත් නොකළ යුතු ය.
එබැවින් ඒඩ්ස් සහ ලිංගික ව පැතිරුණු වෙනත් රෝග බෝවීමේ අනතුරට යෞවන අය යථාර්ථවාදී ව මුහුණ දීම අති වැදගත් දෙයකි. ඒඩ්ස් ‘මට හැදෙන්න විදිහක් නෑ’ යන ආත්ම-තෘප්ත ආකල්පය මාරාන්තික එකක් බවට ඔප්පු විය හැක. “ඔබ පහළොවේ හෝ දහසයේ නැතහොත් දහහතේ, දහඅටේ, දහනවයේ හෝ විස්සේ පවා සිටින විට, ඔබ ඊට ගොදුරු නොවන්නට පුළුවන් බව සිතීම අවශ්‍ය යයි ඩේවිඩ් නමැති යෞවන පුරුෂයෙක් පැවසී ය. කෙසේ වුවද, කාරණා ඔප්පු කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. වයස අවුරුදු 15 දී ඩේවිඩ්ට ඒඩ්ස් වෛරසය බෝ විය.
එසේ නම්, ඒ ගැන කෙළින් ම කියනවා නම්: ඔබ නීත්‍යානුකූල නොවන මත් ද්‍රව්‍යය භාවිතා කරන්නෙහි නම් හෝ පූර්ව විවාහ ලිංගික ඇසුරේ යෙදෙන්නේ නම්, ඔබ සිටින්නේ අවදානම් තත්ත්වයකයි! එහෙත්, කෙනෙකුට “ආරක්ෂිත ලිංගික ක්‍රියාවල” යෙදිය හැක යනුවෙන් කරන ප්‍රකාශයන් ගැන කුමක් කිව හැකි ද? මෙම වසංගතයෙන් කෙනෙකු ආරක්ෂා කර ගැනීමට යථාර්ථවාදී මාර්ගයන් තිබේ ද? මෙම ලිපි මාලාවේ අපගේ ඊළඟ ලිපිය මෙම ප්‍රශ්න සාකච්ඡා කරනු ඇත. g93 8/22
[22 පිටුවෙහි ඇති කොටුව]
ලිංගික ව පැතිරුණු වෙනත් රෝග
ශීර්ෂ පාඨයන්හි දක්නට ලැබෙන්නේ ඒඩ්ස් ගැනමයි. කෙසේ වුවද, ද මෙඩිකල් පෝස්ට් මෙසේ අනතුරු අඟවයි: ‘කැනඩාව සිටින්නේ යෞවන STD [ලිංගික ව බෝවන රෝග] වසංගතයක් මධ්‍යයෙහි ය.’ කැනඩාවේ පමණක් නොවේ. “සෑම වසරක ම එ. ජ. නහඹරයන්ගෙන් මිලියන 2.5ක් ලිංගික ව බෝවන රෝගයකින් ආසාදිත වේ,” යයි ජනගහණ මනාපයන් පිළිබඳ එ. ජ. පිහිටා ඇති ප්‍රධාන මධ්‍යස්ථානය පවසයි. “මෙම ගණන ලිංගික ක්‍රියාවල යෙදී සිටින සෑම නහඹරයන් හය දෙනෙකුගෙන් එක් කෙනෙක් පමණ ද, ජාතික STD රෝගීන්ගෙන් පහෙන්-එකක් පමණ ද නියෝජනය කරයි.
උදාහරණයක් ලෙස, කලක ක්‍රමක්‍රමයෙන් නැති වී යන බවට සිතූ උපදංශය, මෑත වර්ෂවල දී නැවත ඇති වී තිබේ, යෞවනයන් විශාල සංඛ්‍යාවක් මීට ගොදුරු වී ඇත. ගොනෝරියාව සහ ක්ලැමිඩියා (එක්සත් ජනපදයේ බහුල ව ම පවතින STD වර්ග) ද, ඒවා තුරන් කර දැමීමට ගන්නා වෑයම්වලට සැලකිය යුතු ලෙස විරුද්ධ වන බවට ඔප්පු කොට ඇත. තව ද ආසාදනය වීමේ උපරිම සංඛ්‍යාවන් තිබෙන්නේ නව යොවුන් වියේ අයට ය. ද න යෝක් ටයිම්ස් එලෙස ම වාර්තා කරන්නේ ප්‍රජනක ඉන්ද්‍රීයන්වල ඉන්නන්වල පීඩා විඳින නහඹරයන්ගේ ගණනෙහි “තියුණු වැඩි වීමක්” තිබෙන බවයි. යෞවනයන් දහස් ගණනකට හර්පීස වෛරසය ද වැළඳී තිබේ. සයන්ස් න්යූස් සඟරාවට අනුව, “ප්‍රජනක හර්පීස තිබෙන ජනයා හට ඒඩ්ස් ඇති කරන [HIV] වලින් ආසාදනය වීමට ඇති ඉඩකඩ වැඩි ය.”
ජනගහණ මනාපයන් සඳහා ඇති මධ්‍යස්ථානය පවසන්නේ මෙසේ ය: “වෙනත් වයස් සීමාවන්වල සිටින අයට වඩා තරුණයන් STD ඉහළ සංඛ්‍යාවන් අත් දකින අතර, ඔවුන් ප්‍රතිකාර ලබා ගන්නේ ඉතාමත් ම අඩුවෙන් විය හැක. රෝගය හඳුනා නොගෙන, ප්‍රතිකාර නොකර හැරිය විට, ශ්‍රෝණි ඉදිමීමේ රෝගය, වඳභාවය, බහිෂ්කේතනක ගර්භිණීභාවය සහ ග්‍රෛවි පිළිකාව ඇති කිරීමට අඩුවක් නැති ව ප්‍රබල STD ලෙස ක්‍රියා කරයි.
[21 පිටුවෙහි ඇති පින්තූර]
යම් කෙනෙකු නීත්‍යානුකූල නොවන මත් ද්‍රව්‍යය විද ගන්නේ නම් හෝ දුරාචාර ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ නම්, ඒඩ්ස් රෝගය වැළඳීමේ දරුණු අවදානමෙහි ඔහු සිටියි.