“මිනිසාට වැඩි ම ප්‍රයෝජනයක් ගත හැකි ගස”
කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
තාල වර්ගයට අයත් පොල් ගස බොහෝ ජනයාට—විවේකය සහ පහසු ගැනීමේ සංකේතය ඇති—කම්මැලි-පෙනුමැති ගසකි. එහෙත් කෙන්යා මොම්බාසා දූපතේ මුහුදු තීරයේ ජීවත්වන ජනයාට, එය ඊට වඩා වැඩි දෙයකි. සමහරු මෙම මෘදු යෝධයා ව දක්වන්නේ “ජීවනයේ ගසක්” ලෙසටයි. මුහුදු තීරයේ වෙසෙන මෙම අය සලකන්නේ, පොල් ගසට අලංකාරය සැපයීමට පමණක් නොව, නමුත් මිනිස් ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවලින් බොහොමයක් සැපයීමට ද පුදුමාකාර හැකියාවක් තිබෙන බවයි.
පොල් ගසෙන් ප්‍රායෝගික ප්රයෝජනයන් ඉතා බොහොමයක් ලැබෙනවා. එසේ නම්, පොල් ගස “බහුලත්වයේ ගසක්,” “මිනිස් වර්ගයාගේ නිවස අභියස කිරි බෝතලය,” සහ “මිනිසාගේ වඩාත් ම ප්‍රයෝජනවත් ගස,” වශයෙන් හඳුන්වා තිබීම පුදුමයක් නෙවෙයි. ද කොකනට් පාම්—එ මොනොග්රාෆ් සඳහන් කරන්නේ මෙසේයි: “එය සමහර විට වෙනත් ඕනෑ ම ගසකට වඩා වැඩියෙන් ප්‍රයෝජනයට ගත හැකි බොහෝ නිෂ්පාදනයන් උපදවනවා.”
පොල්වලින් සෑදී
කෙන්යා මුහුදු තීරයේ වෙසෙන ජනයා විසින් අති දක්ෂ මාර්ග ගණනාවකින් ම තමන්ට සේවය කිරීම සඳහා පොල් ගස යොදා ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස, මෙම රටේ ගෘහණියක් වන කර්ඩී ව සලකා බලන්න. ළමා අවධියේ පටන් ඇය ජීවත් වී තිබෙන්නේ මෙම නිවර්තන කලාපීය පරිසරය තුළයි. “සැමවිට ම ඔබේ නිවසේ පොල් වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා ද?” යයි අපි අසන්නෙමු.
කර්ඩී පිළිතුරු දෙන්නේ මෙලෙසයි: “මම යෞවනියක් ව සිටි කාලයේ දී අපේ මුළුතැන් ගෙයෙහි පොල් පාවිච්චි කරනවා මට හොඳට මතකයි. කට්ට ඉතා තද මෙන් ම කාලයක් පවතින නිසා, එය කෝප්ප, කුඩා හැඳි සහ ලොකු හැඳි සඳහා කදිමට ගැළපුණා. වඩාත් ලොකු කටු, සුප් භාජන සහ සුප් හැඳි සඳහා පාවිච්චි කළා. අප පාසලේ දී ලැබූ අධ්‍යාපනයේ කොටසක් වී තිබුණේ නිවසේ පාවිච්චිය සඳහා මෙම උපාංග නිර්මාණය කරන සහ සාදන ආකාරය ඉගෙන ගැනීමයි.”
මුහුදු තීරයේ ඇතිදැඩි වූ කර්ඩීගේ ස්වාමිපුරුෂයා වන ම්බාගාට ද මුළුතැන් ගෙයින් පිටත දී පොල් ගසෙන් ලැබෙන ප්‍රයෝජන ගැන බොහෝ දේ පැවසීමට තිබෙනවා. “වැඩෙන පිරිමි ළමයෙකු වශයෙන්, මම මේ ගස දුටුවේ ජීවිතයේ නැතුව ම බැරි කොටසක් වශයෙනුයි,” යයි ම්බාගා සිහියට නගයි.
උදාහරණයක් වශයෙන්, ඝන සහ දැඩි පොල්-ලීය ගැන ඔහු පවසන්නේ මෙසේයි: “අපි එය පරාල, බාල්ක, ජම්බාර, කණු සහ වෙනත් විවිධ ගොඩනැගිලි උපකරණ සඳහා පාවිච්චි කරනවා.”
පොල් අතු ගැන කුමක් කියන්න පුළුවන් ද? “ගම්මාන බොහොමයක මෙම අතු වියා වහළ සෙවිලි කිරීමට සකස් කිරීමෙන් ජීවනෝපායක් උපයන ස්ත්‍රීන් සිටිනවා,” යයි ම්බාගා පැහැදිලි කරයි. නිවර්තන කලාපීය ගිනි අව්වට නිවසක් සම්පූර්ණයෙන් ම අනාවරණය වී තිබෙන්නට පුළුවන් වුණත්, නිවස තුළ නිවැසියන් සිටින්නේ සිසිලසින් හා පහසුවෙනි. සෙවිල්ලූ වහල ඔවුන් ව අව් රශ්මියෙන් ආරක්ෂා කරනවා පමණක් නොව, නමුත් නිවස සිසිල් කිරීමට මඳ පවනකට ද ඉඩ හරිනවා. මීට වඩා දක්ෂ ලෙස සෑදූ වහලක් තිබෙනවාදැයි සිතීමටත් අමාරුයි. වියන ලද පොල් අතු, බිත්ති, වැටවල් සහ දොරවල් ලෙස කදිමට ප්‍රයෝජනවත් වෙනවා.
“අපි පොල් ලෙලි අමතක කරන්න හොඳ නෑ,” යයි ම්බාගා ආඩම්බර සිනහවකින් යුතු ව කියනවා. “මේවා ලබා ගන්නේ පොළොවට සවි කළ උල් ලීයක් මත හෝ පොල් උලක් මත පොල් ගෙඩිය ඇණීම මගිනි. අප පොල් ගෙඩිය අත් දෙකෙන් ම ගෙන, උලෙහි ඇණීමෙන් එයට විරුද්ධ අතට පහළට තෙරපා එය ගලවන විට පොල් ලෙල්ල පොල් ගෙඩියෙන් ගැලවෙනවා.” ලෙල්ලෙන් ලැබෙන අලංකාර රන්වන් කොහු, පාපිසි, බුමුතුරුණු, බුරුසු, කොසු සඳහා ද, මෙට්ට පිරවීමට ද යොදා ගන්න පුළුවන්.
“වයින්වලට වඩා ප්‍රණීතයි”
පොල් ගෙඩිය ආහාර වේලේ වැදගත් තැනක් ද ගන්න අතර පොල් ගෙඩියේ වැඩෙන සෑම අවධියකින් ම වාගේ ප්‍රයෝජනයට ගැනෙනවා. කුරුම්බා ගෙඩියක (කෙන්යාවේ කිස්වාහිලි භාෂාවෙන් ඩාෆූ ලෙස හැඳින්වේ) ඉතා ප්‍රසන්න රසක් ඇති පිරිසිදු, සනීපදායක මෙන් ම පෝෂ්‍යදායී පානයක් තියෙනවා. ගෙඩියේ උඩ හිල් කිරීමෙන්, මෙම පානය එහි ස්වාභාවික භාජනයේ තිබිය දී ම පිළිගන්වන්න පුළුවන්—නිවර්තන කලාපීය පිපාසයකට කියාපු බීමක්! මෙම බීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ දේශ සංචාරක මාකෝ පෝලෝ වාර්තා කරමින් මෙසේ පැවසුවා: “මෙම දියරය වතුර මෙන් ම පැහැදිලියි, සිසිල් හා වඩා හොඳ රසක් තියෙනවා, ඒවගේ ම වයින් හෝ වෙනත් ඕනෑ ම ආකාරයක බීමකට වඩා ඉතා ප්‍රණීතයි.”
විදේශිකයන් පළමු වතාවට මෙම ප්‍රාදේශීය බීම තොල ගාන විට බොහෝ විට එවැනි ම හැඟීම් පළ කර සිටිනවා. තව ද දියරය අවසන් වූ විට, ලොඳ ගලවා ගැනීමට කැඩී තිබෙන කටු කෑල්ලක් යොදා ගන්න පුළුවන්. මෙය මෘදු ය, පැණි රස ය එමෙන් ම නැවුම් බවක් ගෙන දෙන්නකි. කුරුම්බාවල විවිධ රසයන් අමුත්තන් සඳහා අලුත් දෙයක් වුවත්, මුහුදු තීරයේ වෙසෙන්නන්ට මෙම පානය දෛනික බීමක් වන අතර බොන ජලය හිඟ වූ විට මෙය අතිශයින් අගය කරන්නකි.
පොල් යොදා සාදන කෑම
පැසුණු පොල් ගෙඩියක ඉතා වටිනා කොටස වන්නේ එහි මස නැතහොත් පළතුර ය. එය අමු පොල් වශයෙන් ද, ගාගත් පොල්වලින් සෑදූ විවිධ කෑම වර්ග වශයෙන් ද නැතහොත් එය මිරිකා ගත් වටිනා කිරි වශයෙන් ද ආහාරයට ගන්න පුළුවන්.
කර්ඩී මතකයට නගන්නේ මෙසේ ය: “යෞවනියක් වශයෙන්, කෑම පිසීම සඳහා සැමවිට ම අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි තබා ගැනීමට මට සිදුවුණා.” සම්ප්‍රදායානුකූල ව, මාලු, කුකුල් මස්, බෝංචි, බත්, අල, මයියොක්කා සහ පාන්වල රසය වැඩි කිරීමට පොල් කිරි එකතු කරගෙන තිබෙනවා. එය ව්‍යාංජනයේ රසය ද වැඩි කරනවා. එහෙත් කර්ඩී කිරි ලබා ගත්තේ කෙසේදැයි දැනගැනීමට අපි කුතුහලයෙන් සිටින්නෙමු.
“අපි ම්බූසි පාවිච්චි කරනවා,” යයි කර්ඩී පැහැදිලි කරන්නී ය. ම්බූසි යනු කිස්වාහිලි භාෂාවෙන් කථාවට කියන වචනයකි, එය පොළොවෙන් අඟල් හයක් පමණ උසට ඇති කුඩා ලී ආසනයක් සේ සකස් කොට ඇති හිරමනයයි. එහි පිටතට නෙරා ඇති තියුණු දැති සහිත තලයක් ඇති කොණක් තිබෙනවා, විශේෂයෙන් ම මෙය සැලසුම් කර තිබෙන්නේ අතින් පොල් ගෑම සඳහායි. “ම්බූසි උඩ ඉඳ ගැනීම ළමයින් ව සිටි අපට විනෝදයක් වුණා. අපි පොල් බෑයක් ගෙන, පොල් කට්ටෙන් සම්පූර්ණයෙන් ම පොල් ඉවත් වන තුරු දැති සහිත තලයෙන් ගානවා. ගොක් කොලවලින් සාදන ලද දිග පුනීලයක් වැනි පෙනේරයකට ගාගත් පොල් දැමීම ඊළඟ පියවරයි. ඉන් පසු අපි එම ප්‍රණීත පොල් කිරි මිරිකනවා.”
පොල් ඇත්තෙන් ම පළතුරක්, එය වෙනත් නිවර්තන කලාපීය පළතුරුවලට බෙහෙවින් ගැළපෙයි. අලුතෙන් පෙති ගසන ලද ගස් ලබු, අන්නාසි, අඹ, කෙසෙල්, දොඩම් සහ වැල් දොඩම් මත, ගාගත් අලුත් පොල් හෝ පොල් ක්‍රීම් පවා දැමූ පළතුරු දීසියක් ගැන සිතීමෙන් පමණක් ම කෙනෙකුගේ කටට කෙල උනනවා.
පුරාණ හිතෝපදේශයක් මෙසේ පවසයි: “පොල් පැලයක් සිටුවන තැනැත්තා . . . ආහාර සහ බීම ද, තමන් සඳහා ම වාසස්ථානයක් ද, තම දරුවන් සඳහා උරුමයක් ද සිටුවයි.” මෙබැවින් කම්මැලි-පෙනුමැති පොල් ගස කිසිසේත් කම්මැලි නැත. තව ද එය ඇත්තෙන් ම මිනිසාගේ වඩාත් ම ප්‍රයෝජනවත් ගස ය, නැතහොත් එසේ නොවේ යනුවෙන් වාදයට භාජනය විය හැකි වුවද, මෙම අප්‍රිකානු රටේ එය සැබවින් ම කප්රුකක් වේ! g93 10/22