අපගේ වන සතුන් ආරක්ෂා කරනු ඇති තැනැත්තා
මිනිස් ඉතිහාසයේ මූලාරම්භය පටන්, වන සතුන් පිළිබඳ ව අධ්‍යයනය කිරීමෙන් මිනිසා සතුටක් ලබා ඇත. කෙසේ වෙතත්, මිනිසාගේ ආහාර වේලට මස් එකතු කිරීමට දෙවියන් වහන්සේ මිනිසාට අවසර දීමෙන් පසු ව, වන ජීවිතයට තිබුණා වූ අගය කිරීමේ හැඟීම අනවශ්‍ය ඝාතනය මෙන් ම ජය සලකුණු සඳහා වන කුරිරු දඩයම දක්වා පිරිහී යාම දුකට කරුණකි.—උත්පත්ති 2:19, 20; 9:2; 10:9; 25:27.
කෙසේ වෙතත්, පොළොවෙහි තිබූ වන ජීවිතය ගැන ආශ්චර්යය පළ කළ ඇතැම් මිනිසුන් ද පොළොව මත දිගට ම සිටියහ. ගීතාවලිය 104 හි සඳහන් වදන්, වසර 3,000කට පමණ ඉහත දී වන ජීවිතයට ප්‍රේම කළ පුද්ගලයෙකු විසින් ලියනු ලැබී ය. වල් කොටළුවන් [සීබ්රා, NW ], සිංහයන්, වල් එළුවන්, පර්වත හාවුන් [බැජර්, NW ] සහ මානකොකුන් වැනි විවිධ වන සතුන්, ඔහු නමින් සඳහන් කරයි. කුරුල්ලන්, කුරුළු ගීත සහ වන මෘගයන් පිළිබඳ ව ඔහු කළ අධ්‍යයනය නිසා, ගීතිකාකරු මෙසේ ප්‍රශංසා කිරීමට පොලඹවනු ලැබී ය: “[යෙහෝවඃ වහන්ස] මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක.”—ගීතාවලිය 104:10-12, 17 - 21, 24.
ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ දෙවියන් වහන්සේට උන් වහන්සේගේ විශිෂ්ට වූ මැවිල්ලේ ක්‍රියා ගැන සුදුසු ලෙස ප්‍රසන්න වීමට හැකි ය. (උත්පත්ති 1:31) එබැවින්, පොළොවේ ඉතිරි වී සිටින වන ජීවිතය සහමුලින් ම විනාශ වීමට උන් වහන්සේ ඉඩ නාරින බවට අප හට නිසැක විය හැකි ය. එයට අනුකූල ව, වන ජීවිතයට ප්‍රේම කරන සියල්ලන්ට ම ශුභාරංචියක් විය යුතු තොරතුරු වාර්තා කර තැබීමට දෙවියන් වහන්සේ ගීතිකාකරුට අනුභාවය දුන් සේක. “පොළොව සදාකල්ම නොසෙලවෙන” බව අපට කියා තිබේ. (ගීතාවලිය 104:5) මෙම ග්‍රහයාගේ සදාකාලික ශුභ සිද්ධිය සඳහා වූ එබඳු සැලකිල්ලට, ඒ මත ජීවත් වන සත්ත්වයන් ද ඇතුළත් වන බවට සැකයක් නැත. (යෙසායා 45:18) පහත සඳහන පැවසීමේ දී, වන සතුන් සඳහා වූ දෙවියන් වහන්සේගේ සැලකිල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සනාථ කළ සේක: “ගේ කුරුල්ලන් පස් දෙනෙක් ශත දෙකකට [අඩු වටිනාකමක් ඇති කාසි දෙකකට, NW ] නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය.” (ලූක් 12:6) තව ද ගීතාවලිය 104, ඡේද 14 සහ 15 හි ස්වකීය සත්ත්වයන් සඳහා වූ දෙවියන් වහන්සේගේ සැලකිල්ල හුවා දැක්වේ, එහි කියවන්නට තිබෙන්නේ මෙසේ ය: “උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත් . . . හටගන්වනසේක.”
මෙම සාධකවලට අනුකූල ව, යෙහෝවඃ දෙවියන් වහන්සේ ව ප්‍රතික්ෂේප කරන, එමෙන් ම පොළොව සහ ඒ මත තිබෙන වන ජීවිතයේ අනාගතයට තර්ජනයක් එල්ල කරන මිනිසුන් ව දෙවියන් වහන්සේ සදහට ම රුස්සන්නට යන්නේ නැත. මෙම කරුණ අවධාරණය කරමින් ගීතාවලිය 104 මෙම වදන්වලින් අවසන් වෙයි: “පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා. දුෂ්ටයෝ තවත් නොසිටිත්වා.”—ගීතාවලිය 104:35.
“පොළොව විනාශකරන්නවුන් විනාශ” කිරීම ගැන දෙවියන් වහන්සේ ස්වකීය අධිෂ්ඨානය ප්‍රකාශ කර තිබෙන බව දැනගැනීම මොනතරම් සහනයක් ද! (එළිදරව් 11:18) දැන් උපමාලංකාර අර්ථයකින් ඉටු වන්නා වූ අනාවැකිවලට ඒ කාලයේ දී පදගතාර්ථ ඉටු වීමක් තිබෙනු ඇත. නිදසුනක් වශයෙන් ස්වකීය අනාගතවක්තෘ වූ හොෂෙයා මාර්ගයෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.”—හොෂෙයා 2:18; යෙසායා 11:6-9.
පැමිණෙන්නට යන එම භූමික පාරාදීසයේ ඔබ සිටින ආකාරය චිත්‍රයට නගන්න. එය මොනතරම් ප්‍රීතිමත් කාලයක් වනු ඇත් ද! ‘එහෙත්, එවන් ආශීර්වාද උරුම කර ගැනීමට නම් අවශ්‍ය වන්නේ කුමක් ද?’ කියා ඇතැම් විට ඔබ කල්පනා කළ හැකි ය. මුලින් ම අවශ්‍ය වන්නේ, දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමයි. ඉන් පසු, බයිබලයේ මඟ පෙන්වීමට යටත් වන අයට, යෙහෝවඃ දෙවියන් වහන්සේ මෙම පුදුමාකාර පොරොන්දුව දෙන සේක: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29. g93 11/8