යෞවනයන් අසති . . .
මගේ දෙමව්පියන් හිටිහැටියේ ම වෙනස් වන්නේ මන්ද?
අම්මා එක්ක කිසි දෙයක් කරන්න අපහසුයි, ඇය මහන්සියෙන් සිටිනවා නම්, ඒකෙ වාඩුව ගන්නේ මගෙන්. මම මොනව කිව්වත් වැරදියි,” යනුවෙන් යෞවන ජෙනට් පවසන්නී ය.a ජිම්ටත් එවැනි ම ගැටලුවක් තිබේ. “යම් දෙයක් හරි ගියේ නැති විට, කිසි ම හොඳ හේතුවක් නැතුව ඔවුන් වාඩුව ගන්නේ මගෙන්. හිතමුකො මෝටර් රථය පණගන්වන්න බැරි වුණා කියලා. ඒක හරියට මගේ වරදක් නිසා වුණා වගේ—මගේ තාත්තා මට කෑගහනවා!” යයි ඔහු පවසයි.
එය යෞවනයන් අතර ප්‍රචලිත දෝෂාරෝපණයකි: ඔවුන්ගේ දෙමව්පියන් හිටිහැටියේ වෙනස් වන, කේන්ති යන, කොයි වගේ වේදැයි කලින් සිතා ගත නොහැකි අය ය. එක් දිනක ඔවුහු සතුටෙන්, ප්‍රීතියෙන් හා විශ්වාසයෙන් යුතු ව සිටිති. ඊළඟ දින, ඔවුහු අන්තයට ම කලකිරී, ඔබ කියන, කරන හැම දෙයක් ම විවේචනය කරති. “කිසි ම හේතුවක් නැතුව ඔවුන් මට කෑගහනවා,” යයි යෞවනයෙක් ශෝකයෙන් පවසයි.
කෙසේ වුවද, ඇතැම් විට මෙය තේරුම් ගත නොහැකි යයි පෙනෙන්නට තිබිය හැකි වුවත්—දෙමව්පියන් ඇතුළු—සෑම දෙනා ම පාහේ කලින් කලට හිටිහැටියේ වෙනස් වන විවිධ චිත්ත ස්වභාවයන් අද්දකිති. එය මිනිස් ජීවිතයේ කොටසකි. මෙබැවින් නානාවිධ පුද්ගලයන් “පිනාගිය,” “සෞම්‍ය ස්වභාවයක්,” නැතහොත් “ඉතා කෝපව,” පවා සිටින බව බයිබලය අපට පවසයි. (එස්තර් 1:10; යෝබ් 11:19, NW; ක්‍රියා 12:20) විගස වෙනස්වීමේ ඇතැම් ස්වභාවයන් විවිධ ජීව විද්‍යාත්මක චක්‍රයන්ට සම්බන්ධ වී තිබෙන බව පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස, ස්ත්‍රීහු ඔසප් චක්‍රයේ කාල පරිච්ඡේදයන් තුළ දී බොහෝ විට වෙනස් වන චිත්ත ස්වභාවයන් අද්දකිති. තව ද මධ්‍යම දවාලේ හා සන්ධ්‍යාවේ ශාරීරික හෝ චිත්ත වේගීය පහත බැසීමක් අද්දැකීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම සාමාජිකයන් සඳහා අසාමාන්‍ය දෙයක් නොවේ.
අධික වෙහෙස වීම් හා මහන්සි වීම්
අමෙරිකන් හෙල්ත් සඟරාවේ ලිපියක මෙසේ සඳහන් වේ: “බොහෝ නරක චිත්ත ස්වභාවයන්ට ශාරීරික හේතු තිබේ. අසනීපය හා පෝෂණයෙන් ඌන කෑම වේලක් මූලික සාධකයන් විය හැකි අතර, සාමාන්‍යයෙන් ප්‍රධාන චෝදිතයා වන්නේ විඩාව ය.” මේවා “කටයුතු කිරීමට අසීරු කාලවල් ය,” එමෙන් ම බොහෝ නැතහොත් වැඩි හරියක ම පවුල්වල මව සහ පියා යන දෙදෙනා ම නිවසෙන් පිටත රැකියාවක් කළ යුතුයි. (2 තිමෝති 3:1, NW ) විඩාව හා අධික වෙහෙස පොදු අතුරු ප්‍රතිඵල වේ. නොකඩවා පවතින පීඩාකාරී දේ මගින් අධික වෙහෙසට පත් ඇතැම් දෙමව්පියන්ට ධර්මිෂ්ඨ යෝබ්ට හැඟුණු ආකාරයට හැඟෙන්නට පුළුවන, ඔහු තමා ගැන ම විස්තර කළේ “පීඩාවෙන් ගිලී” සිටින්නෙකු වශයෙනි.—යෝබ් 10:15; 14:1.
දෙමව්පියන් තමන්ගේ ම අසීරුතාවයන් කෙරෙහි යොමු වී සිටින විට, අදහස් හුවමාරුවට බාධා පැමිණිය හැක. යෞවන ජේසන් මෙසේ චෝදනා කරයි: “ඔවුන් ඔබට යමක් කරන්න කියයි, ඔබ ඒක කරයි. නමුත් ඔබට කරන්න කිව්වේ වෙන දෙයක් යයි කියමින් ඔවුන් හිත අවුල් කර ගනියි. ඔබට කේන්ති යයි, එවිට කෝප වීම ගැන ඔවුන් ඔබට දඬුවම් කරයි!”
ඇතැම් අවස්ථාවල දී ඔබේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාරය දක්වනු වස් දෙමව්පියන්ට අවශ්‍ය වූ චිත්ත වේගීය ශක්තිය හීන කිරීමට ද ජීවිතයේ පීඩාකාරී දේවලට හැක. හිතෝපදේශ 24:10 මෙසේ පවසයි: “විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” එක් දෙමව්පියෙක් මෙසේ පිළිගත්තා ය: “මම වැඩ ඇරී ගෙදර යන බොහෝ අවස්ථාවල දී මම ඩයනා ව පාසලෙන් කැටුව යනවා. ඇය මෝටර් රථයට නැග්ග වෙලාවේ ඉඳලා එදින පාසලේ දී සිදු වූ සියලු දේ ගැන මට කථා කරන්න පටන් ගන්නවා—ඇත්තෙන් ම සමහර දිනවල සවන් දීමට මට ශක්තිය නෑ. මා ඉතා වෙහෙසට පත් වී, මගේ ම දවසේ සිද්ධීන් කෙරෙහි යොමු වී සිටින නිසා ඇයට සවන් දීමට මට ඉවසීම නෑ.” දෙමව්පියන් මේ ආකාරයෙන් ක්‍රියා කරන විට පෞද්ගලික ප්‍රතික්ෂේප කිරීමක් මෙන් හැඟිය හැකි නමුත්, බොහෝ විට එය තෙහෙට්ටුවකට වඩා වැඩි දෙයක් බවට පත්වේ.
“ඔබ කොහෙත් ම නොදන්නා වූ ගැටලු ඔබේ දෙමව්පියන්ට තිබෙනවා වෙන්නත් පුළුවන්. බොහෝ යෞවනයන් පවුලේ ආර්ථික අමාරුකම් ගැන සලකන්නේ අඩුවෙන්. නිවස හා ආහාර සඳහා වියදම්, නූතන රැකියා ස්ථානයේ රැකියාවේ අස්ථිරතා වැනි ඔබට පවසා නැති නමුත් ඔවුන් අතරේ සාකච්ඡා කරන දේවල් ගැන ඔබේ දෙමව්පියන් කරදර වන්නට පුළුවනි,” යයි ක්ලේටන් බාර්බෝ සඳහන් කරයි. නැතහොත් ස්වභාවයෙන් ම රහසිගත වගකීම් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරමින් සිටිනවා විය හැක. එක් ක්‍රිස්තියානි පියෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවක අවේක්ෂකයෙකු වශයෙන් සේවය කරයි. ඔහුගේ දියණිය මෙසේ පවසන්නී ය: “සමහර විට සභාවේ ගැටලු ගොඩක් ඔහුගේ මනසේ තියෙන කොට, ඔහුට ඇත්තෙන් ම කේන්ති යනවා. ඔහු එහි වාඩුව අපෙන් නොගන්න උත්සාහ කරනවා, නමුත් ඔහු කෙතරම් අධික වෙහෙසට පත් වී සිටිනවා ද කිවහොත් ඔහුට අනිත් දේවල් සමඟ කටයුතු කරන්නට බෑ.” හිතෝපදේශ 12:25 එය මෙසේ හොඳින් දක්වයි: “මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි;”
එවන් සිත්තැවුලක් ඔබෙන් සැඟවීමට ඔබේ දෙමව්පියන් නිර්භීත ලෙස උත්සාහ කරන්නට පුළුවන. එහෙත් එය හිතෝපදේශය පවසන පරිදි ය: “සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.” (හිතෝපදේශ 15:13) ඇතැම් විට ඔවුන්ගේ ඇතුළාන්ත වේදනාව ඔවුන් ව යටපත් කර දැමිය හැකි අතර ම ඉතා සුළු නොරිස්සුම්භාවයක් නිසා යටපත් වූ පීඩනය ඉවතට පැමිණිය හැක. “මගේ තාත්තා වැඩ ඇරී ගෙදර එන සමහර අවස්ථාවල දී, රැකියාවේ දී සිදු වූ දෙයක් නිසා ඔහු කේන්තියෙන් වගේ ඉන්නවා. ඒ වගේ ම මට මොනවා හරි දෙයක් කරන්න අමතක වුණොත්, මගේ තාත්තා මට ඒ ගැන කියනවා. ඊළඟට ඔහු මට කෑගැසිය හැකි වෙනත් දෙයක් සොයන්න උත්සාහ කරනවා.”
නින්දා සහගත කථාවෙන් වැළකිය යුතු බවට කිසි සැකයක් නැත. (කොලොස්සි 3:8) තම දරුවන්ට හිරිහැර නොකරන්න යයි දෙවියන් වහන්සේ දෙමව්පියන්ට අණ කර තිබෙන සේක. (එපීස 6:4) එහෙත් සංවේගදායක තත්ත්වයන්ගේ පීඩනය යටතේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වූ යෝබ් පවා “සැර පරුෂ වචන” පැවසුවේ ය. (යෝබ් 6:3, නව අනුවාදය) එබැවින් ඔබේ දෙමව්පියන් ව ඉතා තදින් විනිශ්චය කිරීමට පටන් ගැනීමට පෙර, ඔබෙන් ම මෙසේ අසන්න: ‘මට නරක දවසක් තිබුණු විට හෝ මහත් පීඩනයකට යට වී සිටින බව හැඟෙන විට, මම ප්‍රතික්‍රියා කරන්නේ කෙසේ ද? මම ඇතැම් අවස්ථාවල දී කේන්ති යන හෝ හිරිහැරකාරී කෙනෙක් ද?’ එසේ නම්, සමහර විට ඔබේ දෙමව්පියන්ට මීට වඩා සමාව දීමට ඔබට හැක.—මතෙව් 6:12-15 සසඳන්න.
චැඩ් නමැති එක් යෞවනයෙක් තම පියාගේ ජීවිතය කෙතරම් වෙහෙසකරදැයි යන්න ඔහුගේ රැකියා ස්ථානයේ දී ම සොයා ගත්තේ ය. “වාහන පින්තාරු කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ වැඩපොළේ දී මගේ පියා සමඟ මා වැඩ කිරීමෙන්, ඔහු කෙතරම් පීඩනයක් යටතේ සිටින්නේදැයි මට දැන් පෙනෙනවා. මුළු දවසේ ම දාහක් වැඩ කරන්න තියෙනවා!” යයි ඔහු පවසයි.
ජීවිතයේ මැද භාගයේ අර්බුද
තමාට “ඇතුළතින් භයද” තිබුණ බව 2 කොරින්ති 7:5 හි ප්‍රේරිත පාවුල් පිළිගත්තේ ය. ඔබේ දෙමව්පියන්ගෙන් සමහරෙකුගේ චිත්ත ස්වභාවයන් ඇතුළාන්ත කනස්සල්ල මගින් හටගත හැක. ද හෙල්දි ඇඩොලෙසන්ට් පොත මෙසේ පවසයි: “තරුණයන් යෞවන අවධියේ ගැටලු සමඟ පොර බදමින් සිටිනවා වාගේ ම, දෙමව්පියෝ ද වයසට යෑමේ ගැටලු සමඟ පොර බදති. පසු ව සඳහන් කළ මැදි වියට ළඟා වීම, යෞවන අවධියේ වාගේ ම මහත් අර්බුදයන්ගෙන් පිරි අමාරු කාල පරිච්ඡේදයකි.”
ඇතැම් දෙමව්පියන්ට, තමන් වයසට යන බව වැටහීම සිත් තැවුලට පත් කරන දෙයකි. “මගේ ජීවිතය අවසාන වේගන යනවා යයි මට දැනෙන්නට පටන් ගත්තා. මගේ වැඩ තවදුරටත් උනන්දුවක් ගෙන දුන්නේ නෑ, මගේ දරුවන් මා ව අත්හැර යාමට සූදානම් වෙමින් සිටියා, මම මහලු වෙලා යයි මට හැඟුණා, විශ්‍රාම යනවා හැරෙන්න බලා සිටිය යුතු වෙන දෙයක් ගැන සිතා ගන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ,” යයි පියෙක් පැවසුවේ ය. “ජීවිතයේ යෞවන කාලය,” තුළ සිටීමෙන් ඔබ ප්‍රීතිය භුක්තිවිඳින අතරතුරේ දී, ඔවුන් වයසට යෑමේ දී ඇති වී තිබෙන ශාරීරික ගැටලු විඳදරා ගනිමින් සිටිනවා විය හැක. (දේශනාකාරයා 11:10, NW ) උදාහරණයක් වශයෙන්, ආර්තවාභාවය (ඔසප් වීමේ කාලය අවසන්වීම) නිසා ඔබේ මව හෝමෝනවල වෙනස්කම් අද්දකිමින් සිටිනවා විය හැකි අතර එය බොහෝ විට කරදරකාරී ලක්ෂණයන් ඇති කරයි—කිහිපයක් සඳහන් කරනවා නම් විඩාව, පිටේ කැක්කුම්, හිටි හැටියේ ඉනෙන් ඉහළ කොටසේ රස්නයක් දැනීම, චිත්ත ස්වභාවයන් විගස වෙනස්වීම යනාදි දෑ ය.b
ඔබ වැඩිහිටිභාවයට ළං වන තරමට ම, “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර,” යන බවට වූ උත්පත්ති 2:24 හි බයිබල් වචනවල යථාර්ථයට ඔබේ දෙමව්පියන් වඩ වඩා මුහුණ දිය යුතු ය. හේතුව, දැනටමත් ඔබ ඔවුන්ගෙන් නිදහස් ව කටයුතු කිරීම සඳහා මහත් පියවරවල් තබනවා විය හැකි වීමයි. ටෝකිං විත් යො ටීන්ඒජර් යන පොත මෙසේ සඳහන් කරයි: “මෙය සැබවින් ම වේදනා ගෙන දෙයි. . . . කලින් වාගේ ම අපට ආදරය ලැබෙන්නේ නැතැයි අපට [දෙමව්පියන්ට] හැඟෙන්නට පුළුවන් . . . අපගේ තරුණයන් බොහෝ විට ඉතා දුරස්තර, ආදරය නොපෙන්වන, තමන්ගේ ම ආරක්ෂාව ගැන සලකන අයයි. ඔවුන්ගේ ආශාව අප සමඟ සිටින්නට නොවේ, නමුත් පවුලෙන් පිටත දී අද්දැකීම් ලැබීමෙන්, අපගේ බලපෑමෙන් තොර ව නිදහසේ තීරණ ගැනීමෙන් හෝ සැලසුම් ඇති කිරීමෙන් පෙන්නුම් කරන්නේ අප සිටියාට වඩා දැන් අප ඔවුන්ගේ ජීවිතවල අඩු වැදගත්කමකින් සිටින බවයි.”
ඔබගේ නිදහස් වැඩීමට ඇතුළත් වන ප්‍රශ්න සම්බන්ධයෙන් සලකා බලන විට ඇතැම් අවස්ථාවල දී ඔබේ දෙමව්පියන් විශේෂයෙන් ම වෙනස් වන චිත්ත ස්වභාවයක හෝ විගස සිත් වේදනා ඇති වන තත්ත්වයක සිටිය හැක්කේ මන්දැයි තේරුම් ගැනීමට පහසු ය. යෞවන ස්ටීව් මෙසේ පවසයි: “මගේ දෙමව්පියන් අමතක වන සුලු අයයි. ඔබ පිටතට යන බව ඔවුන්ට පැවසූ පසු ‘කොහෙ ද ඔයා යන්නේ?’ යයි ඔවුන් අසයි. ‘මම කිව්වනේ මම වොලිබෝල් සෙල්ලම් කරන්න යනවා කියලා,’ යයි ඔබ කියයි. ‘ඔයා කොයි වෙලාවකවත් අපට කිව්වේ නෑ,’ යයි ඔවුන් පවසන අතර ඊට පස්සේ ඔබට කෑගසන්නට පටන් ගනියි. එය හැම වෙලාවේ ම සිදු වන්නකි.” එහෙත් ඉතා සුළු කාරණා හෝ කේන්ති යෑම වශයෙන් ඔබ ඒත්තු ගත හැකි දෙයින් ඔබ කෙරෙහි ඔවුන්ගේ ගැඹුරු ප්‍රේමය හා සැලකිල්ල ඇත්තෙන් ම හෙළි විය හැක. ලෝකය කොතරම් නරක ද කියා ඔවුන් දන්නා අතර නිදහසේ කටයුතු කිරීමට ඇති ඔබේ අවශ්‍යතාව ඔවුනට වැටහුණත්, ඇතැම් විට, ඔබේ ශුභ සිද්ධිය ගැන ඔවුන් බිය වෙනවා විය හැක. (2 කොරින්ති 11:3, සසඳන්න.) ඔවුන් දේවල් සම්බන්ධයෙන් වුවමනාවට වඩා ක්‍රියා කරනවා විය හැකියි, නැතහොත් ස්ථිරත්වයක් නොතිබෙනවා විය හැකියි. ඔබ ඔවුනට අඩුවෙන් ප්‍රේම කළ යුතු ද?
දෙමව්පියන් දෙස අවබෝධයෙන් බැලීම
ඔබ, ඔබේ බාල කාලයේ දී, ඔබේ දෙමව්පියන් සියල්ල-දන්නා, සියලු-බලය ඇති අය ලෙස දකින්නට ඇති. ඔබ වයසින් මුහුකුරා යන විට හා වඩා ඥානවන්ත වන විට, සමහර විට ඔවුන්ගේ අඩුපාඩුකම් වඩා පැහැදිලි ව පෙනෙන්නට පුළුවන. තව ද දෙමව්පියන් කලාතුරකින් නරක චිත්ත ස්වභාවයකින් හෝ කේන්තියකින් සිටින විට, ඔවුන් ව පහත් කොට සැලකීමට පටන් ගැනීම පහසු විය හැක. එහෙත් ‘දෙමව්පියෙකුට නින්දා කිරීමට,’ විරුද්ධ ව බයිබලය අනතුරු අඟවයි. (හිතෝපදේශ 30:17) මේ හැර, ඔබේ නිවසේ සිටින නරක චිත්ත ස්වභාවයක් විගස ඇති වන අය ඔවුන් පමණක් නොවිය හැක. “සමහර අවස්ථාවල දී මගේ චිත්ත වේගයන් ඉක්මනින් වෙනස් වෙනවා,” යයි එක් ගැහැණු ළමයෙක් පිළිගත්තා ය. සමහර විට ඔබ සිතනවාට වඩා වැඩියෙන් ඔබ ඉක්මනින් සිත රිදෙන, නපුරු හෝ අදහස් හුවමාරු නොකරන කෙනෙක් විය හැක.
කාරණය කුමක් වුවත්, ඔබේ දෙමව්පියන් දෙස විවේචනාත්මක ඇසින් බලනවා වෙනුවට, ඔවුන් කෙරෙහි “ස්නේහයද” එමෙන් ම දයානුකම්පාව ද වර්ධනය කර ගැනීමට වෑයම් කරන්න. (1 පේතෘස් 3:8) මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපිය පෙන්වන ආකාරයට, විගස වෙනස් වන ඔවුන්ගේ චිත්ත ස්වභාවයන් සමඟ කටයුතු කිරීමට මෙය ඔබට උපකාරවත් විය හැක. g93 11⁄8
[පාදසටහන්වල]
a සමහර නාම වෙනස් කර තිබේ.
b මැද විය හා එහි අභියෝගයන් ගැන වැඩි විස්තර සඳහා 1983 පෙබරවාරි 22 හා 1983 අප්‍රියෙල් 8 එවේක්! කලාප බලන්න.
[18 පිටුවෙහි ඇති පින්තූර]
ජීවිත සටනේ දී බොහෝ දෙමව්පියෝ ඇත්තෙන් ම අධික වෙහෙසට පත්වී සිටිති