යෞවනයන් අසති . . .
මගේ ගැටලු විසඳීම සඳහා මට උපකාර කිරීමට කවරෙකුට හැකිද?
“මනුෂ්‍යයා දුක් විඳීමට උපදින්නේය.” වසර දහසකට ඉහතදී යෝබ් නමැති සිත් තැවුලින් පෙළුණු මිනිසෙක් එසේ පැවසීය. (යෝබ් 5:7) ඔබගේ ජීවිතය යෝබ්ගේ මෙන්ම ඛේදවාචකයක් නොවිය හැක. එහෙත් ඔබට බොහෝ ගැටලු සහ අසීරුතා තිබෙනවාට සැකයක් නැත.
“ඔබට වැඩියෙන්ම කරදර කරන්නේ කුමක්ද?” කියා එක් අමෙරිකානු යෞවන කණ්ඩායමකින් විමසූ විට, බොහෝ දෙනෙක් තම කාන්සාවේ මූලයන් වශයෙන් පාසල, දෙමව්පියන්, මුදල්, මිතුරු මිතුරියන් හා සහෝදර සහෝදරියන් වෙත යොමු දැක්වූහ. ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ තුල්‍ය (සම වයසේ මිතුරු මිතුරියන්ගේ) පීඩනයට, මුදල් ප්‍රශ්නවලට හෝ පාසල් ගැටලුවලට මුහුණදී සිටින්නෙහිද? යෞවනෝදයේදී ඇති වන ශාරීරික සහ චිත්ත වේගීය වෙනස්කම්වලට මුහුණ දීමේදී ඔබට අසීරුතාවයක් දැනේද? ඔබේ අනාගතය ගැන ඔබ කනස්සල්ලෙන් සිටින්නෙහිද?
ඔබේ කල්පනාවේ තිබෙන මෙම සියලු ගැටලු සමඟින් සිත බරකර ගැනීමට හා කලකිරීමට පහසුය. ඇරත්, එවැනි කනස්සලුවීම් ඔබටම තබා ගැනීමට සිදුවූයෙහි නම්, ඔබ අන් අයගෙන් වෙන්ව චිත්ත වේගීයව හුදකලා වී සිටින බව ඔබටම දැනෙන්නට පුළුවනි. (හිතෝපදේශ 18:1, සසඳන්න.) එසේනම්, ඔබ පෞද්ගලික ගැටලු විසඳිය යුත්තේ කෙසේද? ඔබට සැබවින්ම ඒවාට තනිවම මුහුණ දීමට සිදුවේද?
නැත, මන්දයත් ඔබේ ගැටලු විශාල ඒවා යයි පෙනිය හැකි වුවත් ඒවා ඔබට පමණක්ම සීමා වූ ඒවා නොවන බැවිනි. මානව හැසිරීම පිළිබඳව ප්‍රවේසමෙන් අධ්‍යයනය කිරීමෙන් පසු, ඥානවන්ත සාලමොන් රජ “ඉර යට අමුතු දෙයක් නැත” යන නිගමනයට එළඹුණේය. (දේශනාකාරයා 1:9) එසේය, අන්‍යයන් ඔබේ ගැටලු වාගේම ඒවාට මුහුණදී, ඒවා සාර්ථකව විසඳා ගෙන ඇත. එබැවින් සැමවිටම ඔබට තනිවම දේවල් විසඳා ගැනීමට සිදුවන්නේ නැත; සමහර විට දැනටමත් එසේ කර තිබෙන කෙනෙකුගෙන් උපකාර ගැනීමට ඔබට හැක. එපමණක් නොව, ඔබ නොදන්නා ස්ථානයකට යමින් සිටියෙහි නම්, දැනටමත් එහි ගොස් ඇති කෙනෙකුගෙන් මාර්ගෝපදේශයන් ලබාගැනීමට ඔබ වෑයම් නොකරනු ඇත්ද? ප්රශ්නය වන්නේ, එවැනි උපකාරයක් සඳහා ඔබ හැරිය යුත්තේ කවරෙකු වෙතටද යන්නය.
තුල්යයෝ—උපදෙස් ලබාගැනීමේ හොඳම අයද?
බොහෝ යෞවනයෝ තම කරදර තම තුල්‍යයන් සමඟ බෙදා ගැනීමට තෝරා ගනිති. “සමහර විට මා සිතන්නේ මා අද්දකිමින් සිටින සමහර වෙනස්කම් මට පමණක් සිදුවන ඒවා කියාය,” යනුවෙන් යෞවන ඇනීටා පැහැදිලි කරන්නීය. “ ‘වෙන කිසි කෙනෙක් මෙලෙස අද්දකිනවාද?’ යයි මට හැඟේ. මට මෙලෙස හැඟෙන නිසා මම මෝඩයෙකුද කියා මගෙන්ම මා අසනවා.” ඔබේම වයසේ කෙනෙකු ඔබේ හැඟීම් තේරුම් ගනු ඇති බවත්, වැඩිහිටියෙකු—එනම් විශේෂයෙන්ම දෙමව්පියෙකු—වුවමනාවට වඩා විනිශ්චය කරනු හෝ විවේචනාත්මක වනු ඇති බවත් ඔබට හැඟෙන්නට පුළුවනි.
එහෙත් ඔබේ තුල්‍යයන් තේරුම්ගන්නාසුලු, සංවේදනීය හා දයානුකම්පිත විය හැකි අතරතුරේදී, ඔවුන් සැමවිටම හොඳම උපදෙස නොදෙන්නට පුළුවනි. බයිබලය පැහැදිලි කරන ආකාරයට, “මේරූ අයට . . . හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහා ගැනීමට තම වටහා ගැනීමේ බලයන් පුහුණු කොට ඇත.” කෙසේද? බයිබලය මෙසේ පිළිතුරු දෙන්නේ: “දිගු කලක් පුරා ව්‍යවහාරයෙනි,” එනම්, අද්දැකීමෙනි!, කියාය. (හෙබ්‍රෙව් 5:14; ද නිව් ඉංග්ලිෂ් බයිබල්) එවැනි මඳ අද්දැකීම නිසා, යෞවනයන් තම “ප්‍රායෝගික ප්‍රඥාව සහ සිතීමේ හැකියාව” වැඩිහිටියෙකුගේ මට්ටමට වර්ධනය කරගෙන තිබෙන්නේ කලාතුරකිනි. (හිතෝපදේශ 3:21) එමනිසා සෙසු යෞවනයෙකුගේ අවවාදයට සවන් යොමු කිරීම අවදානමකි. හිතෝපදේශ 11:14 මෙසේ අනතුරු අඟවයි: “ඥාණවන්ත පාලනයක් [මඟ පෙන්වීමක්, NW ] නැති විට සෙනඟ වැටෙති.”
දේව-බියැති දෙමව්පියන්ගේ වටිනාකම
ඥානවන්ත මඟ පෙන්වීමක් දීමට සාමාන්‍යයෙන්ම වඩා හොඳ තත්ත්වයක සිටින්නේ වැඩිහිටියන්ය. ධර්මිෂ්ඨ යෝබ් එය මේ අයුරින් දැක්වීය: “ප්‍රඥාව මහල්ලන් අතරෙහිද, දිගුකලක් පුරා පැවතීම සමඟ අවබෝධයද තිබෙනවා නොවේද?” (යෝබ් 12:12, NW ) එලෙසම, මේ සම්බන්ධයෙන් ඔබට උපකාර කිරීමට ඉතා හොඳින්ම සුදුසුකම් ලැබ සිටින්නෝ ඔබේ දේව-බියැති දෙමව්පියෝය. එක් දෙයක් නම්, ඔවුන් වෙන කිසිවෙකුටත් වඩා ඔබව හොඳින් දන්නා නිසාය. ඔබ දැන් මුහුණ දෙන සමහර තත්ත්වයන්ටම ඔවුන් මුහුණ දී ඇති නිසා, ගැටලුවලින් වැළකී සිටීමට ඔබට උපකාර කරනු වස් බොහෝ දේ කිරීමට ඔවුන්ට හැකියි. දෙමව්පියෙකු වශයෙන් කථා කරමින්, සාලමොන් මෙසේ අවවාද කළේය: “මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරපල්ලා. මක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹලාට දෙමි;”—හිතෝපදේශ 4:1, 2.
සැමුවල් නම් ඝානා ජාතික යෞවනයෙකු ගැන සලකා බලන්න. ද්විතීයික පාසලේ (උසස් පාසලේ) සිටියදී, තවදුරටත් බාහිර අධ්‍යාපනයේ නිරත වෙනවාද නැතහොත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේව සේවකයෙකු වශයෙන් සේවයේ යෙදෙනවාදැයි තීරණය කිරීමට ඔහුට සිදුවිය. “මගේ පවුලේ සාමාජිකයන් අතර අදහස් හුවමාරුව හොඳින් තිබූ නිසා මගේ දෙමව්පියන්ට සියල්ල නොසඟවා පැවසීමට පහසු වුණා,” යයි ඔහු පැහැදිලි කරයි. සැමුවල්ගේ දෙමව්පියෝ ඔහුව පූර්ණ-කාලීන දේව සේවය—එනම් ඔහු තවමත් දිගටම සාර්ථක ප්‍රතිඵල නෙලන ජීවිත මාර්ගයක්—වෙත යොමු කළහ. “දෙමව්පියන්ට ජීවිතයේ වැඩි අද්දැකීමක් තිබෙන නිසාත්, එම ගැටලුවලටම මුහුණදී තිබිය හැකි නිසාත් . . . එමෙන්ම කාරණයේ දෙපැත්තම හොඳින් දැකීමට වඩා හොඳ තත්ත්වයකින් සිටින නිසාත්” යෞවනයන්ට තම පෞද්ගලික ගැටලු විසඳීමේදී තම දෙමව්පියන්වද හවුල් කරගන්නා ලෙස සැමුවල් නිර්දේශ කරයි.
මෑතකදී ගැලප් සංවිධානයේ සමීක්ෂණයකට අනුව, මත් ද්‍රව්‍ය, පාසල සහ ලිංගික කාරණා වැනි විෂයන් සම්බන්ධයෙන් පවා යෞවනයන් මහත් සංඛ්‍යාවකට දෙමව්පිය මඟ පෙන්වීම අවශ්‍යවීම සිත්ගන්නා කරුණකි.
‘ඔවුන් මාව තේරුම් ගන්නේ නෑ!’
එහෙත්, බොහෝ යෞවනයන් තම නහඹර වියට පැමිණෙන විට තම දෙමව්පියන්ගෙන් ඈත්වීම කනගාටුවට කරුණකි. නහඹර පිරිමි ළමයෙකු පැවසූ පරිදි ඇතැමෙකුට හැඟේ, ඔහු පැවසුවේ මෙසේය: “ලකුණු ගැන මා කොතරම් බිය වෙනවාද, මා සිතන විදිහට මේ පාසල වුවමනාවට වඩා තදයි කියාද මගේ දෙමව්පියන්ට පැවසීමට මා උත්සාහ කර තිබෙන නමුත්, ඇත්තෙන්ම ඔවුන් පවසන්නේ මා කම්මැලියි, මීට වඩා පාඩම් කළ යුතුයි කියාය.” අප්‍රිකාවේ යෞවනියක් එවැනිම දෙයක් මෙලෙස පැවසුවාය: “උපකාර අවශ්‍ය පෞද්ගලික ගැටලු මට තිබෙන බව මා හොඳින් දන්නවා, නමුත් මගේ දෙමව්පියන් මාව තේරුම් නොගනියි කියා මා බිය වෙනවා.”
සැබවින්ම, දේව-බියැති දෙමව්පියෝ පවා ඇතැම් අවස්ථාවලදී අසමත් වෙති. ඔවුන් සමහර දේවල් සම්බන්ධයෙන් අනිසි ලෙස ක්‍රියා කිරීමට, සවන් යොමු නොකිරීමට, ඔබව වරදවා තේරුම් ගැනීමට හෝ විනිශ්චය කිරීමට හෝ හැක. කෙසේවුවද, ඔබ ඔබේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඔවුන්ව ඉවත්කර දැමිය යුතු යයි මින් අදහස් නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඇතිදැඩි කළේ අසම්පූර්ණ දෙමව්පියන් විසිනි. එහෙත්, බයිබලය පෙන්නුම් කරන්නේ යේසුස්වහන්සේ “ඔවුන්ට යටත්ව සිටිසේක,” කියාය. “ප්‍රඥාවෙන් හා . . . දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද [අනුග්රහයේද, NW ]” වැඩීමට ඔවුන්ගේ බලපෑම උන්වහන්සේට උපකාරවත් වූ බවට සැකයක් නැත.—ලූක් 2:51, 52.
ඔබ ඔබේම දෙමව්පියන්ගේ ප්‍රඥාවෙන් හා පළපුරුද්දෙන් ප්‍රයෝජන ලබමින් සිටින්නෙහිද? එසේ නොවේ නම්, ඊස්ට්වුඩ් ඇට්වෝටර් විසින් ඇඩොලෙසන්ස් යන පොතෙහි පවසා ඇති දේ සලකා බලන්න: “නහඹරයන් තම තුල්‍යයන්ගෙන් අනිසි ලෙස බලපෑම් ලබන විට, එසේ වන්නේ තුල්‍යයන් තුළ වැඩි සිත්ඇදගැනීමක් තිබෙන නිසා නොව නමුත් දෙමව්පිය-යෞවන සබඳතාවයේ යම් අඩුවක් තිබෙන නිසා වෙන්න පුළුවන්.” ඔබේ දෙමව්පියන් සමඟ ඔබට තිබෙන්නේ කුමනාකාරයක සබඳතාවයක්ද? (ගලාති 6:5) මෑතක සිට ඔබ ඔවුන් සමඟ අදහස් හුවමාරු කිරීමෙන් වැළකී සිටියා විය හැකිද? එසේ නම් දේවල් යහපත් අතට හැරවීමට ඔබට කළ හැකි දේ නොකරන්නේ මන්ද?a මෙය කෙනෙකුගේ දෙමව්පියන්ට “සැබෑ පුත්‍රයෙක්” නැතහොත් දියණියක් යයි සාලමොන් හැඳින්වූ දෙයින් කොටසකි.—හිතෝපදේශ 4:3, NW.
දැන් එක්සත් ජනපදයේ ජීවත් වන ඝානා ජාතික යෞවනයෙකු වූ මැල්කම්, වරෙක සිතුවේ ඔහුගේ දෙමව්පියන් ඔහුගේ හැඟීම් තේරුම් නොගන්නා බවයි. එහෙත් ඔවුහු සිය ජීවිතයේ අද්දැකීම්ද, දෙවියන්වහන්සේගේ වචනයේ හික්මවීමද ඔහුට නොකඩවාම කාවද්දවමින් සිටියහ. මැල්කම් සිය දෙමව්පියන්ට ලියූ මෑත ලිපියක මෙසේ ලිවීය: “අතීතයේදී අප අතර එකඟ නොවීම් තිබුණු බව මා දන්නවා. නමුත් ආපස්සට සිතා බැලීමෙන්, මගේ දරදඬුකම සමඟ ඔබ ඉවසීමෙන් කටයුතු කළ ආකාරය ගැනත්, මා ගත් ඇතැම් තීරණ සන්සුන්ව පිළිගත් ආකාරය ගැනත් මා පුදුම වෙනවා. මාව විශ්වාස කරන්න, අනිත් නිවෙස්වල සිදුවන දේ මා දන්නවා, නිසැකවම බයිබලය [අපගේ නිවස තුළ] වෙනසක් ඇති කළා. නැවතත් ස්තුතියි.”
ඔබම ප්‍රායෝගික ප්‍රඥාව ලබාගන්න!
ඔබේ වැඩීම යටපත් කරනවා වෙනුවට, ඔබේ දෙමව්පිය මඟ පෙන්වීම පිළිගැනීම මේරූ වැඩිහිටිභාවයට කෙටිම මාර්ගය විය හැක. කල්යත්ම ඔබට එලෙසම ‘විචක්ෂණබව, දැනගැන්ම සහ සිතීමේ හැකියාව’ වර්ධනය කරගත හැකියි. (හිතෝපදේශ 1:4) ගැටලු විග්රහ කර බැලීමටත්, ඒවා විසඳන ආකාරය සම්බන්ධයෙන් ස්ථිර නිගමනවලට එළඹීමටත් ඔබ සැදී පැහැදී සිටිනු ඇත.
සියලු යෞවනයන්ට දේව-බියැති දෙමව්පියන් ලැබීමේ ආශීර්වාදය නැති බව ඇත්තය. එහෙත්, ඔබේ දෙමව්පියන් ක්‍රිස්තු භක්තිකයන් නොවිය හැකි නිසාම ඔවුන් පවසන දෙයට වැඩි අවධානයක් නොදිය යුතු යයි නිගමනයට එළඹීම වැරදීමක් වන්නට පුළුවනි. ඔවුන් තවමත් ඔබේ දෙමව්පියන් වන අතර ඔවුන්ට නිසි ගෞරවය හිමි විය යුතුයි. (එපීස 6:1-3) මීට අමතරව, ඔබ ඔවුන්ට අවස්ථාවක් දෙන්නෙහි නම්, ප්‍රායෝගික උපදෙස් සම්බන්ධයෙන් බොහෝ දෑ ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකිකමක් තිබෙන බව ඔබට ඇත්තෙන්ම සොයා ගන්නට පුළුවනි. ඔබට ආත්මික මඟ පෙන්වීම අවශ්‍ය වන විට, ක්‍රිස්තියානි සභාවේ විශ්වාසනීය සාමාජිකයෙකු කෙරෙහි සියල්ල නොසඟවා පැවසීමට වෑයම් කරන්න. තේරුම් ගන්නාසුලු සහ දයානුකම්පිත හෘදයකින් යුතුව, හොඳ පරමාර්ථයක් ඇතුව සවන් දෙනු ඇති දේව-බියැති වැඩිහිටියෙකු එහිදී සොයා ගැනීම අසීරු දෙයක් විය යුතු නැත.
යෙහෝවඃවහන්සේගේ ආත්මය ඉල්ලන අයට එය ඕනෑම අවස්ථාවකදී ලබාගත හැකි උපකාරයේ සහ ශක්තියේ ප්‍රභවයක් බවත් මතක තබාගන්න. (ලූක් 11:13) යෙහෝවඃවහන්සේ විසින් බයිබලය තුළද, වොච්ටවර් සමිතිය මගින් ප්‍රකාශිත බයිබලය-මත පදනම් ප්‍රකාශනවලද ඔබට ලබාගත හැකි තොරතුරු සම්බාරයක් සපයා ඇත. ඇයි, යෞවනයන් දහස් ගණනකට තම ගැටලුවලට ප්‍රායෝගික පිළිතුරු සොයා ගැනීමට මෙම ලිපි මාලාවම උපකාරවත් වී තිබෙනවානේ! ගැඹුරට හාරා බලා පර්යේෂණය කිරීමට ඉගෙනීමෙන්, බොහෝ ගැටලු ඔබටම විසඳා ගැනීමට ඔබට පුළුවන් විය හැක.—හිතෝපදේශ 2:4.
සැබවින්ම, ගැටලු අද්දැකීම ජීවිතයේ කොටසකි. එහෙත් ගීතිකාකරුට තිබූ ඒකාන්ත දෘෂ්ටියම තබාගැනීම උපකාරවත් වේ. ඔහු ලීවේ මෙසේය: “ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.” (ගීතාවලිය 119:71) එසේය, ගැටලු විසඳීම මගින් ඔබව හැඩගස්වා, පුහුණු කළ හැක. එහෙත් ඔබ සම්පූර්ණයෙන්ම තනිවම ඒවාට මුහුණ දිය යුතු නැත. උපකාරය සොයා ගන්න. ඉල්ලන අයට සාමාන්‍යයෙන්ම එය පහසුවෙන් ලැබේ. g93 12/8
[පාදසටහන්වල]
a මේ සම්බන්ධයෙන් උපකාරවත් යෝජනාවන් ගණනාවක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු පොතේ 2වන පරිච්ඡේදය බලන්න.
[15 පිටුවෙහි ඇති පින්තූර]
දෙමව්පිය මඟ පෙන්වීම පිළිගැනීම මේරූ වැඩිහිටිභාවයට කෙටිම මාර්ගය විය හැක