දෙදෙනෙකු එකමුතුව කටයුතු කරන සන්තෝෂවත් නිවසක්
ඔබ විසින් ශක්තිමත්, සුරක්ෂිත, සැපපහසුකම් සහිත නිවසක් ගොඩනගන්නට සිදුවුණා නම්, ඔබ භාවිතා කරනු ඇත්තේ කිනම් ද්‍රව්‍යයන්ද? ලී? ගඩොල්? ගල්? හිතෝපදේශය නමැති බයිබල් පොත සුදුසු යයි කියන දේවල් මේවාය: “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ. දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.” (හිතෝපදේශ 24: 3, 4) එසේය, සන්තෝෂවත් නිවසක් ගොඩනැගීම සඳහා ප්‍රඥාව, නුවණ සහ දැනුම අවශ්‍ය වේ.
ගොඩනැගීමේ වැඩය ඉටු කරන්නේ කවුරුන්ද? “[සැබවින්ම, NW ] ඥාණවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය; එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.” (හිතෝපදේශ 14:1) තම විවාහය ශක්තිමත් සහ සන්තෝෂවත් එකක් හෝ දුර්වල සහ දුක්ඛිත එකක් බවට පත් කිරීමට තමාට හැකියාව තිබෙන බව වටහා ගන්නා ප්‍රඥාවන්ත පුරුෂයා සම්බන්ධයෙන්ද කාරණය එසේම වේ. වෙනස ඇති කරන්නේ කිනම් සාධකද? ඇතැම් නවීන දින විවාහ උපදේශකවරුන්ගේ යෝජනා, වසර දහස් ගණනකට පෙර ලියනු ලැබූ දෙවියන්වහන්සේගේ වචනයේ සදාකාලික ප්‍රඥාවට සමාන වීම මොනතරම් උනන්දුවක් ඇති කරන දෙයක්ද.
සවන් දීම: “සැබවින්ම සවන් දීම වනාහි වෙනත් පුද්ගලයෙකුට ඔබ විසින් පිරිනැමිය හැකි හොඳම ප්‍රශංසාවලින් එකක් වන අතර කුළුපග සම්බන්ධයක් ගොඩනගා එය පවත්වා ගැනීම සඳහා එය අතිවැදගත් වේ,” යනුවෙන් විවාහය පිළිබඳ අත්පොතක් පවසයි. “ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි,” යනුවෙන් හිතෝපදේශය සඳහන් කරයි. (හිතෝපදේශ 18:15) විවෘත ඇස් හෝ විවෘත මුඛයක් මෙන් විවෘත වූ කන් පෙනෙන්නට නොතිබෙන හෙයින්, ඔබ සැබවින්ම සවන් දෙමින් සිටිනවා යයි ඔබගේ කලත්‍රයාට දැනගැනීමට ඔබ සලස්වන්නේ කෙසේද? එක් ක්‍රමයක් වනුයේ—ප්‍රතිබිම්බනය කිරීම හෙවත් ක්‍රියාශීලී ලෙස සවන් දීමෙනි.—11වන පිටුවේ කොටුව බලන්න.
විවෘතභාවය සහ කුළුපගකම: “අපගේ සංස්කෘතිය විවෘතභාවයට එරෙහිව කටයුතු කරයි,” යනුවෙන් වන් ටු වන්—අන්ඩර්ස්ටෑන්ඩිං පර්සනල් රිලේෂන්ශිප්ස් (එකිනෙකා අතර පෞද්ගලික සබඳතා අවබෝධ කරගැනීම) නමැති පොත සඳහන් කරයි. “ඉතා කුඩා අවධියක සිට අපගේම වැඩ බලාගැනීමට අපට උගන්වනු ලැබේ—මුදල්, අදහස්, හැඟීම් . . . ආදී ඕනෑම පෞද්ගලික දෙයක් සම්බන්ධයෙන් රහසිගත වීමට අපට උගන්වනු ලැබේ. අප ‘ප්‍රේම සම්බන්ධයක් ඇති කළ විට’ පවා මෙම පාඩම අපට පහසුවෙන් අමතක වෙන්නේ නැත. විවෘතභාවය සඳහා දිගටම පරිශ්‍රමයක් දැරුවොත් මිස, කුළුපගකම සඵල ලෙස ක්‍රියාත්මක වන්නේ නැත.” හිතෝපදේශ සඳහන් කරනුයේ “මන්ත්‍රණය [විශ්වාසයෙන් එකට කථාබහා කිරීම, NW ] නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය;” “එහෙත් දැනමුතුකම පිළිගන්නන් [එක්ව සාකච්ඡා කරන අය, NW ] වෙත ප්‍රඥාව තිබේ,” යනුවෙනි.—හිතෝපදේශ 13:10; 15:22.
ළැදිකම සහ විශ්වාසය: ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාට ළැදි වීමට දෙවියන්වහන්සේ ඉදිරියේ ගිවිසුම් ගනිති. එක් එක්කෙනා අනෙක් තැනැත්තාට ළැදිව සිටීමට බැඳී සිටින බව විවාහක සහකරුවන් විශ්වාස කරන විට, සැකසහිතභාවය, උඩඟුකම, තරඟකාරී ස්වභාවය, තමාට ලැබිය යුතු කොටස ලබාගැනීම ගැනම පමණක් සිත යොමුකර සිටීම ආදී දේවල් ප්‍රේමයට බාධාවක් වන්නේ නැත.
හවුලේ බෙදාගැනීම: හවුලේ බෙදාගත් අද්දැකීම් සමඟින් සම්බන්ධයක් වඩා ශක්තිමත් වේ. කල්යත්ම ඔවුන් එකිනෙකා ආදරයෙන් අගය කරන මිල කළ නොහැකි විසිතුරු ගෙතීමක් බඳු ඔවුන්ගේ විවාහ ජීවිතය පිළිබඳ ඉතිහාස සටහනක් යුවළකට සකස් කළ හැකි වේ. මිත්‍රත්වයේ එම බැම්ම ඉරා වෙන් කිරීමට කල්පනා කිරීම ඔවුන්හට සිතාගත නොහැකි දෙයකි. “සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.”—හිතෝපදේශ 18:24.
කරුණාවන්තකම සහ මෘදුකම: කරුණාවන්ත ක්‍රියාවන් ජීවිතයේ හටගන්නා ඝට්ටනද උඩඟුකමද අඩු කරයි. මනසේ කරුණාවන්තකමේ රටා හොඳින් කාවැදී තිබේ නම්, එකඟ නොවීම් ඇති වන විට චිත්ත වේගයන් ඇවිස්සී තිබෙන විටදී පවා ඒවා නොවෙනස්ව පවතිනු ඇත, එමගින් සිදුවන හානියද බෙහෙවින් සුළු කරනු ලැබේ. ප්‍රේමය වර්ධනය විය හැකි උණුසුම් පරිසරයක් මෘදුකම මගින් ඇති කරනු ලැබෙයි. පුරුෂයෙකුට මුදු මොළොක්කම දැක්වීමට විශේෂයෙන් දුෂ්කර විය හැකි නමුත්, බයිබලය මෙසේ පවසයි: “මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ [ප්‍රේම බරිත, NW ] කරුණාවන්තකමය.” (හිතෝපදේශ 19:22) හොඳ භාර්යාවක් සම්බන්ධයෙන් නම්, “ඇගේ දිවෙහි [ප්‍රේම බරිත, NW ] කරුණාවන්ත දැනමුතුකම් තිබේ.”—හිතෝපදේශ 31:26.
යටහත් පහත්කම: උඩඟුකම නමැති විෂට විනාශක ඖෂධයක් බඳු යටහත් පහත්කම, නොපමාව වරදකට සමාව ඉල්ලීමටත් නිතර නිතර ස්තුති ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමටත් අනුබල දෙයි. සඳහන් කරන ලද වැරැද්දකට ඔබ සැබවින්ම නිදොස් නම් තත්ත්වය කුමක්ද? “ඔයා එතරම් කලබල වීම ගැන මට කනගාටුයි,” යනුවෙන් මෘදු ලෙස නොපවසන්නේ මන්ද? ඔබගේ කලත්‍රයාගේ සංවේදිතාවයන් සම්බන්ධයෙන් සැලකිල්ල ප්‍රකාශ කරන්න, පසුව වැරදුණ දෙය හරිගස්සාගැනීමට එකට ක්‍රියා කරන්න. “තරඟයෙන් [වාද කිරීමෙන්, NW ] වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි.”—හිතෝපදේශ 20:3.
ගෞරවය: “එකිනෙකාගේ වෙනස්කම් හඳුනාගෙන එක්ව ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මූලික වචනය නම් ගෞරවයයි. එක් කලත්‍රයෙකුට වැදගත් වන දෙයක් ඊට සමාන ආකාරයකින් අනෙක් තැනැත්තාට වැදගත් නොවන්නට හැකිය. කෙසේවෙතත්, එක් එක් කලත්‍රයාට සැමවිටම අනෙක් කෙනාගේ අදහස්වලට ගරු කළ හැකිය.” [කීපිං යෝර් ෆැමිලි ටුගෙදර් වෙන් ද වර්ල්ඩ් ඉස් ෆෝලිං එපාර්ට් (ලෝකය ගරා වැටෙද්දී ඔබේ පවුල එක්ව තබා ගැනීම)] “උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් [එක්ව සාකච්ඡා කරන අය, NW ] වෙත ප්‍රඥාව තිබේ.”—හිතෝපදේශ 13:10.
හාස්‍යජනක වීම: හොඳ සිනහවකින් අර්බුදයක අඳුරුතම තත්ත්වය පහ වී යා හැකිය. එය ප්‍රේමයේ බැමි හරහා පැතිර ගොස් පැහැදිලි ලෙස කල්පනා කිරීමට බොහෝ විට බාධාවක් වන ආතතිය වඩා සැහැල්ලු කරවයි. “තුෂ්ටිමත් සිත [ප්‍රීතිමත් හදවතක්, NW ] මුහුණ පැහැපත්කරයි.”
දීම: ඔබගේ කලත්‍රයා සම්බන්ධයෙන් අගය කළ හැකි දේවල් සොයා ඒවාට නොමසුරු ලෙස ප්‍රශංසා කරන්න. ඔබ ආශා කරන මේ දේවල් වටිනා සාරියක් හෝ කමිසයක් දීමෙන් ලැබෙන ප්‍රතිචාරයට වඩා මහත් හෘදයාංගම ප්‍රතිචාරයක් ලබා දිය හැකිය. ඔබ එකිනෙකාට තවමත් දේවල් මිල දී ගැනීමට හෝ හොඳ දේවල් කිරීමට හෝ හැකි බව සැබෑවකි. එහෙත් “ඔබට දිය හැකි හොඳම ත්‍යාගයන් වනාහි, පෙට්ටියක ඇහිරිය හැකි ඒවා නොවේ, ඒවා නම් ප්‍රේමය සහ අගය කිරීම දක්වන ඔබගේ ප්රකාශයන්ය, ඔබ දෙන දිරිගැන්වීම සහ ඔබගේ උපකාරයය,” යනුවෙන් ලයිෆ්ස්කිල්ස් ෆොර් ඇඩල්ට් චිල්ඩ්රන් නමැති පොත පවසයි. “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.”—හිතෝපදේශ 25:11.
විවාහ සම්බන්ධය ගොඩනගා තිබෙන විවිධ ගොඩනැගීමේ ගල්වලට මෙම ගුණාංගයන් සන්සන්දනය කළ හැකි නම්, ඒවා ඒකාබද්ධ කිරීමට අවශ්‍ය මැලියම වනුයේ අදහස් හුවමාරු කිරීමය. එසේ නම් එකඟ නොවීම් මතුවන අවස්ථාවලදී යුවළයන්ට කුමක් කළ හැකිද? “ඔබගේ කලත්‍රයාගේ විරුද්ධ අදහස් ඝට්ටනය සඳහා උල්පතක් වශයෙන් නොසලකා, . . . දැනගැන්මේ උල්පතක් වශයෙන් ඒවා සලකන්න. . . . දිනෙන් දින ජීවිතයේ විස්තර තොරතුරු සම්භාරයක් ඇති රන් ආකරයක් බවට පත් වේ,” යනුවෙන් ගෙටිං ද ලව් යූ වොන්ට් (ඔබට වුවමනා ප්‍රේමය ලබාගැනීම) නමැති පොත සඳහන් කරයි.
එසේ නම්, එකඟ නොවන සෑම අවස්ථාවක්ම, ඝට්ටනයක් ඇති කිරීමට අවස්ථාවක් වශයෙන් නොව, නමුත් ඔබ ප්‍රේම කරන පුද්ගලයා සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධිය රැස් කිරීමට ප්‍රස්තාවක් වශයෙන් සලකන්න. වෙනස්කම් විසඳා ගැනීමට තිබෙන අභියෝගය පිළිගැනීමට සහයෝගයෙන් කටයුතු කරමින් එකමුතුකමේ සාමකාමී වරායන් තුළට යාත්‍රා කරන්න, එසේ කිරීමෙන් ඔබ දෙදෙනා එක්කෙනෙක් බවට පත් කරන්නා වූ ප්‍රේමය වඩාත් ගැඹුරු කරමින්, එම බැමි ශක්තිමත් වේ.
යෙහෝවඃ දෙවියන්වහන්සේ සහයෝගයෙන් කටයුතු කිරීමෙහි මහත් අලංකාරයක් දකින බැවින් එය ස්වකීය මැවිල්ල තුළ පිහිටෙවූ සේක—ශාක සහ සත්ත්වයන්ගේ දීමේ-සහ-ලැබීමේ ඔක්සිජන් චක්‍රයේ, ස්වර්ගීය වස්තූන්ගේ කක්ෂවල, කෘමීන් සහ මල් අතර තිබෙන සහජීවන සම්බන්ධතා යනාදියේ එය පිහිටෙවූ සේක. සෑහීමක් ඇතුව එසේම, විවාහ සම්බන්ධය තුළ උණුසුම් චක්‍රයක් පැවතිය හැක, එහිදී ස්වාමිපුරුෂයා වචනයෙන් හා ක්‍රියාවෙන් සිය භාර්යාවට ප්‍රේම කරන බව තහවුරු කරන අතර විශ්වාසී, ප්‍රේමනීය භාර්යාවක් සෑහීමෙන් යුක්තව ඔහුගේ මූලිකත්වය අනුගමනය කරයි. එමගින්, ඔවුන් එකිනෙකාටත් විවාහයේ මූලාරම්භකයාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේටත් ප්‍රීතිය ගෙන දෙමින්, එම දෙදෙනා සැබවින්ම එක්කෙනෙක් බවට පත් වෙති. g94 1⁄22
[11 පිටුවෙහි ඇති කොටුව]
“නුඹලා අසන්නේ කෙසේද කියා බලාගනිල්ලා.”—ලූක් 8:18
ක්‍රියාශීලී සවන් දීම වනාහි කථා කරන්නා සහ සවන්දෙන්නා සැබවින්ම එකිනෙකා තේරුම් ගන්නා බව සහතික කිරීමේ ක්‍රමයක් වේ. එය ඇතැම් අවස්ථාවලදී ප්‍රතිබිම්බනය කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි, මන්දයත් සවන් දෙන්නා ඔහුට ඇසෙන වචන සහ ඔහු තේරුම් ගන්නා අර්ථය පිළිබිඹු කිරීමට වෑයම් කරන හෙයිනි. පහත සඳහන් වනුයේ මූලික පියවරවල්ය:
1. සැලකිලිමත් අවධානයක් යොමු කරන්න; වැදගත් පණිවුඩ සඳහා සවන් දෙන්න.
2. වචන යටින් ඇති හැඟීම් අවබෝධ කරගැනීම සඳහා සවන්දෙන්න.
3. ඔබට ඇසෙන දෙය කථා කරන්නාට නැවත කියන්න. විනිශ්චය කරන්නට, විවේචනය කරන්නට හෝ වාද කරන්නට එපා. ඔබ නිවැරදිව පණිවුඩය ලබාගෙන තිබෙන බව පමණක් එම පුද්ගලයාට දැනගැනීමට සලස්වන්න. හැඟීම් ඒත්තුගන්න.
4. ඇතැම් විට කථා කරන්නා ඔබ කියන දේ ස්ථිර කරයි නැතහොත් එය හරිගස්සයි, තවද විෂය සම්බන්ධයෙන් ඇතැම් විට වැඩි විස්තර ඉදිරිපත් කිරීමටද ඔහුට හැකිය.
5. ඔබ වටහා ගත් දෙය නිවැරදි නොවේ නම්, නැවත එය වටහාගැනීමට තැත් කරන්න.
ක්‍රියාශීලී ලෙස සවන්දීම විවේචනයේ වේදනාව අඩු කිරීම සඳහා විශේෂයෙන් බලපෑමෙන් යුක්ත වේ. විවේචනය බොහෝවිට යම් සත්‍යයක් මත පදනම් වී තිබෙන බව පිළිගන්න. එය වේදනාකාරී ආකාරයකින් ඉදිරිපත් කළ හැක, නමුත් එරෙහිව ක්‍රියා කිරීමක් වශයෙන් එම වේදනාව නැවතත් විවේචකයා මත දැමීම වෙනුවට, තත්ත්වය සන්සුන් එකක් බවට පත් කිරීම සඳහා ක්‍රියාශීලී ලෙස සවන් නොදෙන්නේ මන්ද? ඕනෑම කැලඹුණු හැඟීම් ඇතිවීමට වගකීම ඔබ මත පවරා තිබෙන විට ඔබ එය තේරුම් ගන්නා බව තහවුරු කරන්න, එමෙන්ම කාරණය හරිගස්සා ගැනීමට මගක් සොයන්න.
[12 පිටුවෙහි ඇති කොටුව]
“යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම්.”—කොලොස්සි 3:13
යමෙකුට විරුද්ධව ඔබට කාරණයක් තිබෙන විට, සටනක් ආරම්භ කිරීමෙන් තොරව එය හොඳම ආකාරයකින් ඉදිරිපත් කිරීමට ඔබට හැකි වන්නේ කෙසේද? මුලින් හොඳ අභිලාෂයන් ඇතුව සිටීම සඳහා ඔබගේ කලත්‍රයාට ප්‍රශංසා කරන්න. ඔහු හෝ ඇය අනුකම්පා විරහිතව, නොසැලකිලිමත්ව, ඉවසීම නැතිව, ප්රඥ්යාවන්ත නොවන ආකාරයකින් කටයුතු කළ බව ඔබට හැඟිය හැකිය—නමුත් මුළුමනින්ම කිසි හානියක් සිදු කිරීමට අදහස් නොකළා විය හැකිය. චෝදනා කිරීමකින් තොරව සන්සුන් ලෙස ඔබගේ හැඟීම් ප්‍රකාශ කරන්න: “ඔයා මෙහෙම කළාම, මට හැඟුණේ . . .” මෙහි ආරවුලට දායක වන ඉන්ධන නොමැත. මෙමගින් හුදෙක් ඔබට හැඟෙන ආකාරය පමණක් සඳහන් කෙරෙන අතර ඔබගේ කලත්‍රයා මත දොස් පැවරෙන්නේ නැත. එම පුද්ගලයා ඔබව අවුල් තත්ත්වයකට පත් කිරීමට කිසිසේත් අදහස් නොකරන්නට ඇති හෙයින්, ප්‍රතික්ෂේප කිරීමේ නැතහොත් තමා යුක්තිසහගත බව ඔප්පු කිරීමේ ප්‍රතිචාරයක් ලැබිය හැකිය. කෙසේවෙතත්, ගැටලුව මත අවධානය යොමු කර, විසඳුමක් යෝජනා කිරීමට සූදානමින් සිටින්න.
[10 පිටුවෙහි ඇති පින්තූරය]
සැබවින්ම සවන්දීම වනාහි වෙනත් පුද්ගලයෙකුට ඔබ විසින් පිරිනැමිය හැකි උතුම්ම ප්‍රශංසාවලින් එකකි