නාගරික ජීවිතය කොතරම් සන්තෝෂවත් එකක්ද?
අදදින නගරවල පීඩාවට ගොදුරුවන මිනිස් වර්ගයා නොයෙක් ආකාරවලින් සන්තෝෂය සොයයි. එම සන්තෝෂය සැපයීමට බොම්බාය, බැංකොක්, මොන්ටිකාලො, සැන් ෆ්රැන්සිස්කො සහ ඩැලස් වැනි නගර උත්සාහයක් දරයි. බොහෝ ආකාරවලින් එසේ කිරීමෙහි ඒවා සාර්ථක වේ. එසේ වුවත් ලොවේ ඇති නගරවලින් ඕනෑම එකක් කල්පවතින ප්‍රීතියේ උල්පතක් වනු ඇත්ද?
ගොතන ලද දෑට එරෙහිව යථාර්ථය
මෙම ශතවර්ෂයේ මුලදී, ලෝකයේ චලචිත්‍ර අගනුවර බවට හොලිවුඩ් පත්විය. එමනිසා වසරකට ඇතැම් විට චිත්‍රපටි 800ක් පමණ ඉන්දියාව නිෂ්පාදනය කරන බව දැනගැනීමට ලැබීම පුදුමය ඇති කළ හැකිය. “ඉන්දියාවේ ජනකාය චිත්‍රපටිවලට ඇබ්බැහි වී සිටින,” බව ජර්මන් සඟරාවක් වන ගෙයෝ සටහන් කරන අතර, ඔවුන්ගේ ඇබ්බැහිවීම “බොහෝ දුරට ආගමක් බඳුය” යනුවෙන් එය පෙන්වා දෙයි. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි: “රිදී තිරයෙන් පමණක්, සාර්ථකත්වය සහ ධනය, සන්තෝෂය සහ යුක්තිය සොයාගැනීමට රැස්වන මිලියන සංඛ්‍යාතයන්ට, ආදේශ ලෝකයක් වශයෙන් චිත්‍රපටි ශාලාව සේවයක් ඉටු කරන වෙනත් තැනක් කොහේවත් නැත.”
ඉන්දියාවේ චිත්‍රපටිවලින් අඩක් පමණ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ මදුරාසියේ නිෂ්පාදනය කරනු ලබන නමුත්, එහි ඇති චිත්‍රපටි ආයතනයේ ආරම්භය සිදුවූයේ බටහිර වෙරළබඩ ප්රදේශයේය. වර්ෂ 1896දී, හොඳින් අලෙවිවන ප්‍රක්ෂේපක යන්ත්‍රයක (ප්‍රොජෙක්ටරය) නිෂ්පාදකයන් වන ඕගූස්ට් සහ ලුවී ලියූමියර් යන ජාතික සහෝදරයෝ, ඔවුන්ගේ ප්‍රථම සාර්ථක චිත්‍රපටිය බොම්බායෙහි වොට්සන් හෝටලයේ ඉදිරිපත් කළහ.
වර්ෂ 1534දී පෘතුගීසී වෙළෙන්දෝ බොම්බාය යටත් කරගත් විට එය කුඩා ගම්මානයක්ව තිබුණි. වර්ෂ 1661දී බ්‍රිතාන්‍යයේ IIවන චාල්ස් රජ පෘතුගීසි රාජ කුමාරිකාවක් සමඟ විවාහ වූ විට, එම ගම්මානය මංගල ත්‍යාගයක් වශයෙන් ඔහුට දෙනු ලැබීය. වර්ෂ 1668දී එය නැගෙනහිර ඉන්දියානු සමාගමේ පාලනයට යටත් විය, එමෙන්ම ඉතා ඉක්මනින් බොම්බාය ඉන්දියාවේ ප්‍රධාන බටහිර මුහුදු වරාය බවට පත්විය.
“බොම්බායෙහි ස්වභාවික අලංකාරය එම ප්‍රදේශයේ වෙනත් ඕනෑම නගරයකට වඩා අභිබවා යයි,” යනුවෙන් එක් විශ්වකෝෂයක් පවසයි. බොම්බායේ අලංකාර පසුබිම මෙන්ම එය ගෙතීමට උපකාරකොට ඇති විශ්වාස කිරීමට සලස්වන සංගීතය, නැටුම් හා ප්‍රේමය සහිත සම්මිශ්‍රණයක් ඇති ඉන්දියානු චිත්‍රපට ලෝකයට අනුව බොම්බාය ප්‍රීතියේ නගරයක් විය යුතුය.
එහෙත් බොම්බායේ ජනගහන ඝනත්වය ලෝකයේ ඇති ඉහළම ඒවා අතර එකකි. තදබදය සහිත තත්ත්වයන් නිසා නගරයේ අලංකාර පරිසරය කෙලසෙන අතර, “ගලන ජලය හෝ නිසි සනීපාරක්ෂණය” නොමැතිව නගරයේ මුඩුක්කු ගෙවල්වල ජීවත්වන, එමෙන්ම “අසල පිහිටි ගංගා සහ විවෘත ස්ථාන වැසිකිළි වශයෙන් භාවිතා කිරීමට” බල කරනු ලබන දහස් සංඛ්‍යාතයන්ට සන්තෝෂය ගෙන දෙන්නේ නැත.—5000 ඩේස් ටු සේව් ද ප්ලැනට්.
බොම්බායෙහි ආගම් ගණනාවක්ද තිබේ. එසේ වුවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රීතිය ලැබීම වෙනුවට, ඉන්දියාවේ බරපතළ ආගමික කැරලිකෝලහාල පැවත ඇත. පසුගිය වසර දෙක තුළ, බොම්බායෙහි පමණක් මේවා නිසා ජීවිත සිය ගණනක් අහිමි වී ඇත.
දිලිසෙන සියල්ල රත්රන් නොවෙයි
සැන් ෆ්රැන්සිස්කෝද ස්වභාවික සෞන්දර්යයේ නගරයක් වෙයි. එහි කඳු සඳහාද, ලෝකයේ තිබෙන වඩාත්ම කදිම ස්වභාවික වරායන්ගෙන් එකකටද, එමෙන්ම වරායට පිවිසෙන ස්ථානය හරහා වැටී ඇති ගෝල්ඩන් ගේට් නමැති පාලම ඇතුළු පාලම් ගණනාවක් සඳහාද, එය නම් දරා සිටී. ප්‍රසිද්ධියක් දරයි. එය බැහැදැකීමට පැමිණෙන අයට ඒ කෙරෙහි සිත ඇදී නොයන්නේ කලාතුරකිනි.
යෙර්බා බ්වේනා 1835දී පිහිටුවනු ලැබූ අතර, 1847දී සැන් ෆ්රැන්සිස්කෝ යනුවෙන් එය නැවත නම් කරනු ලැබීය. වසරකට පසුව ඊට කිට්ටුවෙන් රත්රන් සොයාගනු ලැබූ අතර, කැලිෆෝනියානු රන් උමතුව ඇරඹීය. ජනයා සියගණනක් පමණක් සිටියා වූ ගම්මානයක් ඉතා ඉක්මනින් ශීඝ්‍ර වර්ධනයක් ලද විශාල දේශ සීමා නගරයක් බවට පත් විය. කෙසේවෙතත් 1906දී ඇති වූ ප්‍රබල භූමිකම්පාව සහ ගින්න වැනි පසුබැසීම්ද ඊට තිබුණි.
සැන් ෆ්‍රැන්සිස්කෝවට තිබෙන ජාත්‍යන්තර විලාසය එහි ජනප්‍රියත්වයට දායක වෙයි. එයට එහි සීමාවන් තුළම “ස්වභාවයෙන්ද පෙනුමෙන්ද අතිශයින් වෙන් වූ එකිනෙකට වෙනස් ලෝකයන්” තිබෙන බව දි යෝරපියන් සටහන් කරයි. ආසියාවෙන් පිට ඇති විශාලතම චීන ප්‍රජාවන් අතුරින් එකක් ඇතුළුව විවිධ ජාතික කණ්ඩායම් යුරෝපයත් ආසියාවත් නියෝජනය කරති. එහි සිටින ස්පාඤ්ඤ භාෂාව කථාකරන වැසියන්ගෙන් පැහැදිලිවන්නේ එම නගරයේ මූලාරම්භය මෙක්සිකෝව ආශ්‍රිතව සිදුවූ බවය.
මෑතකදී, සංචාරක ප්‍රවීණයෝ සිය ගණනක් ඔවුන්ගේ “සිහින නගරය” වශයෙන් සැන් ෆ්රැන්සිස්කෝ තෝරාගත් අතර, “එහි පවතින්නා වූ මිත්‍රත්ව ස්වභාවයේ, අලංකාරයේ සහ ඉඩහැරීමේ අද්විතීය මිශ්‍රණයට” ඔවුහු ප්‍රශංසා කළහ. එක් පුවත්පත් ලේඛකයෙක් මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළේය: “උතුරු කැලිෆෝනියාව සහ මා ජීවත්වන නගරයේ ස්වභාවය යමෙක් සලකා බලන්නේ නම්, රටේ වෙනත් ප්‍රදේශවල සිටින ජනයාව වික්ෂිප්තයට මෙන්ම කෝපයට පත් කරන්නේ, එහි සියලු ආකාර මිනිස් හැසිරීමට ඉඩහැරීමේ ස්වභාවයයි.”
එය අනුගමනය කරන අසම්මත ගති ලක්ෂණ නිසා ඊට බොහෝ ප්‍රසිද්ධියක් ලැබී තිබේ. එක්දහස් නවසිය හැටගණන්වලදී දිගු හිසකෙස් සහිත පිළිවෙළක් නැති හිපී දරුවන් මත්ද්‍රව්‍ය සහ දුරාචාරයෙන් පිරුණාවූ අශික්ෂිත ජීවන රටාවකට පා තැබීමට පෙර, මල් සමඟ “ප්‍රේමයටත්” “සාමයටත්” ගරු බුහුමන් පුද කිරීම නොසන්සුන් භාවයකින් යුක්තව බොහෝ දෙනෙක් බලා සිටියහ. තවද රටේ තිබෙන විශාලතම සමලිංගික සමාජවලින් එකක් එම නගරයේ ඇත.
ඒඩ්ස්, සැන් ෆ්රැන්සිස්කෝ නගරයට ප්‍රබල පහරක් එල්ලකොට ඇත. වර්ෂ 1906දී ඇති වූ භූමිකම්පාව සහ ගින්නෙන් පසුව නගරයේ ඇති වූ “දරුණුතම අර්බුදය” එම වසංගතය යයි ජර්මන් පුවත්පතක් සඳහන් කරන අතර එහි “ප්‍රීතිමත් ස්වභාවය සදහටම අහිමි වී තිබෙන බව පෙනෙයි” යනුවෙන්ද සඳහන් කරයි. ගෝල්ඩන් ගේට් පාලම අසල පිහිටි නගරයට වේදනාකාරී සත්‍යයකට මුහුණ දීමට සිදු වී ඇත: “රන්වන්” ජීවිත රටාවන් මගින්, කොතරම් අපේක්ෂාවන් ඉදිරිපත් කළත්, හෘදයේ වේදනාව නිසා ඒවායේ දීප්තිය ඒවාට අහිමි වී තිබේ.
දිනනවාට වඩා පැරදීම වැඩියි
දීර්ඝ කාලයකට ධනවතුන් සහ ඉහළ පැළැන්තියේ අයට විනෝදය ලබාගත හැකි කෙළිබිමක්ව පැවත ඇති මොන්ටිකාලො, ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සූදු කෙළින ස්ථානයන්ගෙන් එකක මධ්‍යස්ථානය වෙයි. වර්ෂ 1861දී විවෘත වීම පටන්, එහි කැසීනෝව සංචාරකයන්ට ප්‍රසිද්ධ නැවතුම් පොළක් වී තිබේ. සූදු කෙළීමෙන් ජයග්‍රහණය අත්කරගැනීම කල්පවතින සන්තෝෂයට මඟ යයි කල්පනා කරන බොහෝ දෙනෙකුගේ අවශ්‍යතා කැසීනෝ බොහොමයකින් සපුරාලනු ලබයි. එසේ වුවත් සූදු කෙළීමෙහි ජය ලබනවාට වඩා වැඩියෙන් බොහෝ දෙනෙක් පරාජය අද්දකිති.
මොනොකො සාමන්ත ප්‍රදේශය තුළ ප්‍රංශ වෙරළබඩ ප්‍රාන්තයේ මොන්ටිකාලො පිහිටා ඇති අතර, භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 2.5කට වඩා අඩු ප්‍රදේශයක් ඊට අයත් වෙයි. පුරාණයේදී රෝමවරු මොනොකොහි පදිංචි වී සිටියහ. වර්ෂ 1297දී ඉතාලියෙන් වූ ධනවත් ග්රිමාල්ඩි පවුල විසින් එය පාලනයට යටත් කරගන්නා ලදි. මුලින් ස්පාඤ්ඤයටත් පසුව ප්‍රංශයටත්, එහි ස්වාධීනත්වය අහිමි කරගැනීමෙන් පසුව, ග්රිමාල්ඩිවරුන් යටතේ 1814දී එම සාමන්ත ප්‍රදේශය නැවත පිහිටුවන ලදි.
වර්ෂ 1992දී, ග්රිමාල්ඩි පැවත එන්නෙක් වන IIIවන රෙන්යේ ඔහුගේ යටත්වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ල ප්‍රකාශ කළේය. “ලෝකයේ තිබෙන තෙල් පටවන නැව්වලින් සියයට හතළිහක ප්‍රමාණයක් මධ්‍යධරණී මුහුද හරහා යන” බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ඔහු මෙලෙසද සඳහන් කළේය: “උතුරේ මුහුදට වඩා 150ස් වාරයක තෙල් දූෂණය වේ. මෙම මුහුදු මායිමේ පිහිටා තිබෙන කැළි කසළ කානුවලින් සියයට අසූවක් මගින්, දූෂණය මඟ හැරීමට ක්‍රියා මාර්ග රහිතව කෙළින්ම ඒවායේ කසළ මුහුදට යොමු කරනු ලැබේ.”
ගැටලු තිබියදීත්, “හුදෙක් එහි නාමය සඳහන් කිරීමෙන් පමණක්ම සිත් ප්රබෝධයේ සහ ආදි-කාලීන උද්යෝගයේ රූපයක් මනසෙහි විගස මතු කිරීමට වෙන කිසිම විනෝද ස්ථානයකට නොහැකිය,” යනුවෙන් දි යෝරපියන් සඳහන් කරයි. එහි කැසීනෝ ශාලා, කෞතුකාගාර, සුඛෝපභෝගී විනෝද නැව් සමාජය, මොටර් රථ තරඟය—තරඟ අතර වඩාත්ම විශාල සහ අලංකාර ඒවා යයි සමහරු පවසති—එමෙන්ම එහි ඔපෙරා ශාලාව එය ලබා ඇති නාමයට දායක වෙයි. එහෙත් මොන්ටිකාලොවලට ධනවතුන්ව ආකර්ෂණය කරන්නා වූ එකම දෙය එහි සංස්කෘතිය පමණක් නොවෙයි; එහි අයබඳු ප්රතිලාභ බෙහෙවින් වැඩිය.
කෙසේවෙතත්, මුදල් හෝ සංස්කෘතියට කල්පවතින සන්තෝෂය සහතික කළ නොහැකිය. වර්ෂ 1891දී, ඉංග්‍රීසි ජාතිකයෙකු වූ චාල්ස් වෙල්ස්, මොන්ටිකාලොහි ඇත්තෙන්ම කැසීනෝවේ සම්පූර්ණ මුදල් ප්‍රමාණයම දිනාගත්තේය, එහෙත් ඔහුගේ ‘වාසනාව’ මැදත් අවසානයේදී ඔහු සිර අඩස්සියට අසු වූයේය. තවද මොටර් රථ තරඟ සහ බෝට්ටු පැදීමෙන් ලැබෙන අධික ප්‍රීතිය සඳහා ප්‍රසිද්ධ වූ නගරයක, රෙන්යේ කුමරුගේ බිරිඳ, ග්‍රේස් කුමාරිය 1982දී මෝටර් රථ අනතුරකදී මිය යෑමත් ඔවුන්ගේ දියණියගේ පුරුෂයා 1990දී බෝට්ටු පැදීමේ-තරඟයකදී මරුමුවට පත්වීමත් ශෝකය උපදවන සිදුවීම්ය.
එක්සත් ජනපදයේ නිර්මිත සංස්කෘතිය
අමෙරිකාවේ නවීන පන්නයේ සංස්කෘතිය විවේචනය කරන නමුත්, බොහෝ යුරෝපියානුවන් ඉන් විශාල කොටසක් තමන්ගේම කරගන්න බවක් පෙනෙයි. උදාහරණයක් වශයෙන්, වර්ෂ කිහිපයකට කුමන්ත්‍රණ හා අවනම්බුව ඇති කරන පවුල්වල සිදුවීම්වලින් හෙබි දර්ශන ඩැලස් නමැති වෘත්තාන්ත මාලාවේ තිරගතවූ විට, ඔවුහු නැරඹීමෙන් මහත් ආස්වාදයක් ලැබූහ. “චිත්ත වේගීය අවශ්‍යතාවක් ඉටු කළ” නිසාත් “සුරක්ෂිතභාවයේ, විශ්වාසයේ සහ අයිති වීමේ හැඟීමක්” සපයා දීම නිසාත් ජර්මන් පුවත්පතක් මගින් එම වෘත්තාන්ත මාලාව ප්‍රශංසා කරනු ලැබීය.
ටයිම් සඟරාවෙන් ලැබුණේ වඩාත් අඩු ප්‍රශංසාවකි. එය සඳහන් කළ පරිදි, එම වැඩසටහන “සියල්ලන්ටම පෙනෙන පරිදි අනුගමනය කරන සීමා විරහිත පරිභෝජන රටාව, ලෞකික රටාවක් දක්වා ඉහළ නැංවීය. . . . අනුගමනය කළ යුතු ජනප්‍රිය රූපයක් හැටියට ටෙක්සස් තෙල් ව්‍යාපාරියෙකු පිහිටුවීමෙන් එය ප්‍රේක්ෂකයන්ව 80 ගණන්වල ගිජු කාලයට ගෙන ගියේය.”
එම නගරයේ නාමයම දරන රූපවාහිනි වෘතාන්තය මගින් නගරය පිළිබඳ මවාගත් චිත්‍රය, 1841දී විනිශ්චයකරුවෙක් සහ වෙළෙන්දෙක් වූ ජෝන් බ්‍රයන් වෙළෙඳ ස්ථානයක් පිහිටුවා ඇතැම් විට එක්සත් ජාතික උප ජනාධිපති වූ ජෝර්ජ් ඩැලස්ගේ නමින් එය නම් කළ විට ඔහු අදහස් කළ දේට සමාන නොවෙයි. මූල්‍යමය, ප්‍රවාහන මෙන්ම නිෂ්පාදන නගරයක්ද—වෙනත් ඕනෑම එක්සත් ජනපද නගරයකට වඩා වැඩි තෙල් සමාගම් ඇති ස්ථානයක්ද—වන “බිග් ඩී” (මහ ඩැලස්) ඇත්ත වශයෙන්ම සමෘද්ධිමත් නගරයකි.
ධනය සහ සන්තෝෂය නිතරම එකට සම්බන්ධ කරනු ලැබේ, එමනිසා ඩැලස් ප්‍රීතිමත් නගරයක් යයි මිනිසුන් විසින් සැලකිය හැකිය. කෙසේවෙතත්, දරුණු දේවල් සිදුවීමෙන් වැළැක්වීමට ධනයට නොහැකිය. වර්ෂ 1963 නොවැම්බර් 22වනදා, එක්සත් ජනපදයේ 35වන ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කරනු ලැබුවේ ඩැලස්හිදීය.
විශාල නගරවල පවතින සැහැසියාව ඩැලස්හි සිටින මිනිසුන්ගේ සන්තෝෂය පැහැර ගන්නා වූ එක් ගැටලුවකි. ජාතිමය සහ සංස්කෘතිමය නොඉවසුම්ගතිය තවත් ගැටලුවක් වෙයි. බහු ජාතික මෙන්ම බහු සංස්කෘතිමය සමාජයක් ඇති සෑම නගරයකම වාගේ ඩැලස්හිද සැහැසියාව සඳහා තිබෙන ඉඩකඩ වැඩිය, ලොස් ඇන්ජලිස්හි පැවති ජාතිවාදි කෝලහාල සහ බොම්බායෙහි ආගමික කෝලහාලවලින් මේ බව පැහැදිලි වෙයි.
එහි සාර්ථකත්වය නිසාම හිරවී මැරුම්කෑම
එහි දිය මාර්ග බොහොමය නිසා, “නැගෙනහිරේ වැනීසිය” යනුවෙන් බැංකොක් හඳුන්වනු ලැබීය. දැන් දිය මාර්ග වැඩිහරියක් වෙනුවට මහාමාර්ග සාදා තිබේ, එමෙන්ම එක් වාර්තාවකට අනුව, “වසරකට දින 44කට සමාන කාලයක්, සාමාන්‍ය මෝටර් රියදුරෙක් තදබදය ඇති මහාමාර්ගයක තමා ඉදිරියේ තිබෙන වාහනයක පිටුපස දෙස බලාගෙන සිටියි.”
1782දී, රාමා රජ විසින්, කුඩා නගරයක් රාජකීය නගරයක් බවට හරවා, “දේවදූතයන්ගේ නගරය” යන්න අදහස් කරන කෘං ටෙප් යනුවෙන් නම් කළ විට, එවන් ගැටලු පිළිබඳව කිසිවක් ඔහු දැනගෙන සිටියේ නැත. මහ මාළිගාව ගොඩනගනු ලැබුවායින් පසුව, නගරයේ ඉතිරි කොටස ඒ අවට සකස් කරනු ලැබුවේ, මාළිගාව විශ්වයේ කේන්ද්‍රය වූ බවට වූ තායි විශ්වාසයකට එකඟවය. දෙවන ලෝක යුද්ධයේදී, බෝම්බ ප්‍රහාරවලින්, විශාල අලාභ හානිවලින් බැංකොක් නගරයට පාඩු විඳීමට සිදුවිය. එහි නාමය සහ මහානුභාවසම්පන්න දේව මාළිගා ඊට තිබුණ නමුත්, දේවදූතමය රැකවරණය ලැබූ බවට සාක්ෂියක් නොලැබුණි.
සියාම්හි මුහුදු බොක්ක සිට සැතපුම් 20ක පමණ දුරකින් එය පිහිටා තිබෙන නමුත්, බැංකොක් මුහුදු වරායක් බවට පත් කරනු ලැබුවේ නගරය හරහා යන චව් ප්රයිය ගංගාවේ පස් අස් කිරීම නිසාය. ගංගාවේ ජලය බොහෝ විට පිටාර ගලන නිසා, මුහුදු මට්ටමට වඩා අඩි දෙකක් පමණක් ඉහළින් පිහිටා ඇති, නගරයේ ඇතැම් ස්ථානවලින් සමහරක් ගංවතුරට යට වෙයි. කෙසේවෙතත්, හරවන ලද දිය පාරක් මගින් ගංවතුර දැන් වෙනතකට යොමු කරනු ලබන අතර, මෙය යම් ප්‍රමාණයක සහනයක් ගෙන දී ඇත. තවත් ගැටලුවක් වනුයේ, දහස් ගණන් ආටිසියානු ළිං හේතුවෙන් එහි භූ ජල මට්ටමේ පහත වැටීමක් සිදු වී තිබීමය. වර්ෂ 1984 පටන් වසරකට අඟල් හතරක අනුපාතයකට මුළු නගරයම පහත බසිමින් පවතී.
මිලියන පහකට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා බැංකොක් නගරයේ ජනගහනය වැඩිවීමත් සමඟම එයට තිබෙන යම් ප්‍රමාණයක ආර්ථික සාර්ථකත්වයත්, සන්තෝෂ වීමට හේතුවක් විය යුතුය. ඇරත් වාර්ෂිකව සංචාරකයෝ මිලියන ගණනක් එම නගරය බැහැදැකීමට යන අතර නගරය මුදල්වලින් තර කරති. එහෙත් මෙසේ කරනු ලබන්නේ අර්ධ වශයෙන් එහි කීර්තියට පාඩුවක් සිදු කිරීමෙනි, මන්දයත් බැහැදැකීමට පැමිණෙන බොහෝ දෙනෙක් ආකර්ෂණය වන්නේ බැංකොක්හි ගණිකාවාසවල අඩු මිලකට සහ පහසුවෙන් ලිංගික දුරාචාරයේ නියැලීමට තිබෙන ඉඩකඩ නිසායි. එමනිසා දැන් එම නගරය ප්‍රසිද්ධ වන්නේ ඈත පෙරදිගේ කාමුක අගනුවර වශයෙනි.
බැංකොක්හි ද්වීශතවාර්ෂික සංවත්සරය සැමරීමෙන්—තවද මල් පෙරහැර, ඉතිහාසමය ප්‍රදර්ශන, රාජකීය උත්සව, සම්භාවනීය නැටුම් සහ ගිනි කෙළි ආදියෙන් ලද ප්රීතියවත්—මෙම නගරය තුළ දැනෙන්නා වූ දුක්ඛිතභාවය මකා දැමීමට තරම් ප්‍රමාණවත් නොවේ. බැංකොක් “එහි සාර්ථකත්වයෙන්ම හිරවී මැරුම්කමින් සිටිනවා,” යනුවෙන් නියූස්වීක් සඳහන් කළේය.
නියම ප්‍රීතිය සොයාගැනීම
ඉහත සඳහන් නගරවලින් නියෝජනය වන්නාසේ, නව පන්නයේ විලාසිතා පිහිටුවන විනෝදාස්වාද මධ්‍යස්ථානවලට සැබවින්ම ඉදිරිපත් කිරීමට ඇත්තේ කුමක්ද? උපරිම වශයෙන් ඒවාට ඉදිරිපත් කළ හැක්කේ, කල්පවතින සන්තෝෂය නොව, වහා නැසී යන ආස්වාදයක් පමණි. අදදින කල්පවතින සන්තෝෂය අත්කර ගත හැක්කේ දෙවියන්වහන්සේගේ ආත්මයට එකඟව ජීවත්වීමෙන් පමණි, ප්‍රීතිය එහි ඵලවලින් එකකි.—ගලාති 5:22.
එමනිසා, බොම්බායෙහි චිත්‍රපටි සකස් කරනු ලබන ස්ථානවල, මොන්ටිකාලොහි සූදු කෙළීමේ කැසීනෝ, සැන් ෆ්රැන්සිස්කෝහි වෙනස්වන ජීවන රටාවන් තුළ, ඩැලස්හි පෙනෙන්ට තිබෙන ධනයෙහි හෝ බැංකොක්හි ගණිකාවාසවල, අර්ථ විරහිත ප්‍රීතිය සොයා නොයන්න. කල්පවතින ප්‍රීතිය සොයාගත හැක්කේ කොතැනකද යන්න ගැන, ඉදිරි කලාපවල අප විසින් සාකච්ඡා කරනු ලැබේ. g94 2/8
[23 පිටුවෙහි ඇති පින්තූරය]
අ.එ.ජ., සැන් ෆ්රැන්සිස්කෝ
[23 පිටුවෙහි ඇති පින්තූරය]
ඉන්දියාවේ, බොම්බාය
[24 පිටුවෙහි ඇති පින්තූරය]
තායිලන්තයේ, බැංකොක්