යෞවනයන් අසති . . .
දුරාචාරය සමඟ සෙල්ලම් කිරීමෙන් වැළකීමට මට හැක්කේ කෙසේද?
“සිප වැළඳගැනීම, මගේ ගැඹුරු හැඟීම් සහ ප්‍රේමය දැක්වීමේ ක්‍රමයක් පමණක්වූ බැවින් එහි වරදක් නැතැයි මට හැඟෙන්නට වුණා. සැබවින්ම වේශ්‍යාකම වැනි බරපතළ යමක යෙදීමට පෙර මට නැවැත්විය හැකියි මා සිතුවා. එහෙත් මට බෙහෙවින් වැරදී තිබුණා.” එසේ ලීවේ ලිංගික දුරාචාරයට වැටුණු වැලරි නම් යෞවන ස්ත්‍රියකි.a
බයිබලය පූර්ව විවාහ ලිංගික ඇසුර හෙළාදකින බව ක්‍රිස්තියානි යෞවනයෝ දනිති. (1 කොරින්ති 6:9, 10) කෙසේවුවද, ලිංගික දුරාචාරය සමඟ සෙල්ලම් කිරීමද—පැහැදිලිවම විවාහ යුවළයන් සඳහා වෙන්කර තිබෙන සමීප සබඳතාවල නිරතවීමද බයිබලය මගින් හෙළාදකින බව ඇතැමෙකුට අවබෝධ නොවන්නට පුළුවන.b (ගලාති 5:19) ස්නේහය දැක්වීම වැරදි බවක් මින් අදහස් කරයිද? කොහෙත්ම නැත.
ෂූලම්මීය ගැහැනු ළමයෙකු සමඟ විවාහ බස්දී සිටි එඬේර පිරිමි ළමයෙකු ගැන කතන්දරය බයිබලයේ පැවසේ. ඔවුන්ගේ පූර්ව විවාහ ඇසුර නිදොස්ව නිර්මලව හා සදාචාරව තිබුණි. එහෙත්, ඔවුන් විවාහවීමට පෙර යම් ස්නේහයේ විදහාපෑම් හුවමාරු කරගත් බවට ප්රත්යක්ෂය. (සාලමොන්ගේ ගීතිකාව 1:2; 2:6; 8:5) එලෙසම විවාහය ළඟදීම සිදුවේ යයි පෙනෙන්නට තිබෙන විට අත් අල්ලාගැනීම හා වැළඳගැනීම සුදුසු සෙනෙහස දැක්වීම් කියා අදදින පූර්ව විවාහ ඇසුරේ යෙදෙන ඇතැම් යුවළයන්ට හැඟිය හැක.c
ගෞරවනීය පෙලඹීම් ඇති යුවළකගේ පවා චිත්තවේගීය හැඟීම් උත්සන්නවීමට හා ලිංගික දුරාචාරය සමඟ සෙල්ලම් කිරීම පටන්ගැනීමට ඉතා පහසුය. ඔවුන් එසේ කිරීමෙන් වළකින්නේ කෙසේද?
“ආරක්ෂාවී සිටීමෙනි”
ගීතාවලිය 119:9, මෙසේ ඇසීය: “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද?” පිළිතුර? “ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි [ආරක්ෂාවී සිටීමෙනි, NW ].” ආරක්ෂාවී සිටීමට එක් ආකාරයක් නම් ඔබේ මිතුරන් කවුදැයි සෝදිසියෙන් සිටීමය. “වේශ්‍යාකමේ යෙදීම දක්වා පවා දුරදිග යෑමට මගේ මිතුරන් සැමවිටම මා කෙරෙහි පීඩනයක් යොදනවා,” යයි නාකියා නමැති අමෙරිකානු පිරිමි ළමයෙක් පවසයි. බයිබලය මෙසේ අනතුරු අඟවයි: “අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) මෙබැවින් යොවුන් සඟරාවක් මෙසේ පැවසූ විට හොඳ අවවාදයක් දුණි: “ඔබේ සාරධර්මයන්ට එකඟවන අලුත් මිතුරන් සොයාගැනීමට වෑයම් කරන්න.”
ආරක්ෂාවීමට තවත් ක්‍රමයක් නම්, අවදානම් සහිත තත්ත්වයන්ගෙන් වැළකීමය. පෙමින් බැඳි ගමනක යෙදීමට ෂූලම්මීය ගැහැනු ළමයාගේ එඬේර ප්‍රේමවන්තයා ඇයට ආරාධනා කළ විට සිදුවූ දෙය සැලකිල්ලට ගන්න. ඔහුගේ චේතනාවන් ඇත්තටම අහිංසක විය; ඔහුට හුදෙක් වුවමනා වූයේ ඇය සමඟ වසන්තයේ සෞන්දර්යයන්වල සතුට ලැබීමටය. එසේවුවත්, ෂූලම්මීය ගැහැනු ළමයාගේ වැඩිමල් සහෝදරයෝ ‘ඇය සමඟ කේන්තිගත්හ.’ ඔවුන් මෙම යුවළ අවිශ්වාස කළා නොව, එහෙත් පෙමින් බැඳි තත්ත්වයක් යටතේදී තනිව සිටීමට ඉඩහරිනු ලැබුවා නම් ඇතිවිය හැකි පරීක්ෂාවන් ගැන ඔවුහු හොඳින් දැන සිටියහ. විසඳුම? වැඩිමල් සහෝදරයෝ, යුවළගේ පෙමින් බැඳීමේ සැලසුම් කඩාකප්පල් කර, තම සහෝදරියව කාර්ය බහුලව තබනු ලැබූ වෙහෙසිය යුතු වැඩක් ඇයට පැවරූහ.—සාලමොන්ගේ ගීතිකාව 1:6; 2:8-15.
පෙමින් බැඳි තත්ත්වයකදී තනිවී සිටීමෙන් අදදින නොකඩවා හානි පිට හානි සිදුවේ. අප මේරි යයි හඳුන්වන එක් යෞවනියක් මෙසේ සිහිපත් කරන්නීය: “අප එම ඇසුරේ යෙදුණු විට, බොහෝවිට අපගේ තනියට කෙනෙකු සිටියා.” එහෙත්, එක් අවස්ථාවකදී, ඔවුහු කාමර නිවාසයක තනිවී සිටියහ. “අපේ චිත්තවේගීය හැඟීම් උත්සන්න වුණා. එය සිදුවීමට අප ඉඩහැරීම හරිම මෝඩකමක්. ‘අපට එය සිදුවන්නේ නෑ’ යන ආකල්පය අපට තිබුණා. කොතැනක සිටියත් සැමවිටම තනියට කෙනෙකු සිටිය යුතු බව දැන් මා හොඳින්ම දන්නවා. ඔබ සමඟ යෑමට තව කෙනෙකු සොයාගත නොහැකි නම් වෙනත් විධිවිධානයන් යොදාගන්න. අප පරෙස්සමින් ක්‍රියා කිරීමට අපොහොසත් වුණා.”
ඔබ පරෙස්සමින් ක්‍රියා කිරීමට අතපසු නොකරන්න! ඔබ යමෙකු සමඟ පූර්ව විවාහ ඇසුරේ යෙදෙන්නෙහි නම්, ඔබේ ඇසුර පරෙස්සමින් සැලසුම් කරගන්න. හැකි නම්, සමූහයක් හැටියට ඇසුරේ යෙදෙන්න, නැතහොත් නොවරදවාම තනියට කෙනෙකු ඇතුව සිටින්න. නවතා ඇති රථයක හෝ කාමර නිවසක තනිව සිටීම වැනි අවදානම් තත්ත්වයන්ගෙන් වළකින්න. කෞතුකාගාරයන්, අවන්හල්, ක්‍රීඩා හා වෙනත් එවැනි දේවල් නැරඹීමට යෑමෙන් එකිනෙකාගේ ඇසුර භුක්තිවිඳීම බොහෝ විට වඩාත් ආරක්ෂාසහිතය. එයාකාරයෙන්ම, ඔබට හොෂෙයා 4:11හි වචනද මතක තබාගත හැකිය: “මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය [හොඳ චේතනාව, NW ] පහවයන්නේය.” සිහිකල්පනා අඩු කිරීමට මත්පැන් නැඹුරුවන බැවින්, ඔබ මත්පැන් බීමට නීත්‍යානුකූලව සුදුසු වයසක සිටිනවා වුවත්, එය භාවිතය සම්බන්ධයෙන් ඉතා පරෙස්සම් වීම නුවණට හුරුය.
සීමාවන් තබාගැනීම
හිතෝපදේශ 13:10 මෙසේ පවසන විට එය තවත් වැදගත් උපදෙසක් දෙයි: “දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.” මූලික නීති පිහිටුවා ගැනීමට යම් චිත්ත-වේගීය උත්සන්න තත්ත්වයක් එන තුරු නොසිටින්න. පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළක්හට, කුමන ස්නේහය දැක්වීම් යෝග්‍යදැයි අවංකවම සාකච්ඡා කරමින්, කලින්ම සීමාවන් පනවා ගැනීම ඥානවන්තය. කෙසේවුවත්, එපීස 4:25හි මෙම ප්‍රතිපත්තිය දෙදෙනාම අනුගමනය කළ යුතුය: “එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරපල්ලා.”
උදාහරණයක් වශයෙන්, රාත්‍රියකදී සිපගැනීමකින් සමුගැනීම සුදුසු වන තරමටම යෞවන පුරුෂයෙකු හා සමඟ යෞවන ස්ත්‍රියකගේ සබඳතාව වැඩි දියුණු වී ඇතැයි ඇයට හැඟෙනවා යයි සිතන්න. කෙසේනමුත්, තමන්ගේම චිත්තවේගීය සැකැස්ම ගැන කල්පනා කරන යෞවන පුරුෂයාට, සිපගැනීමක් ඇත්තටම පරීක්ෂාවකට වැටිය හැකි දැරිය නොහැකි යමක් කියා හැඟෙන්නට පුළුවන. ප්‍රතික්ෂේප කරයි යන බියෙන් හෝ සමහරවිට ඇයව සතුටු කළ යුතු යයි හැඟීමෙන්, ඔහු තමාගේ හොඳ විනිශ්චයට එරෙහිව ක්‍රියා කළ හැක. එහෙත් ඔහුට එය ලජ්ජාවක් විය හැකි වුවත්, ඔහු සත්‍යය කථා කළ යුතු අතර මේ සම්බන්ධයෙන් ඔහුගේ සැබෑ හැඟීම් ප්‍රකාශ කළ යුතුය. ක්‍රිස්තියානි ප්‍රේමය “තමාගේම කාරණා සොයන්නේ නැ[ති]” බැවින්, එකිනෙකා අනෙක් තැනැත්තාගේ හැඟීම්වලට—එමෙන්ම මේ කාරණය සම්බන්ධයෙන් හෘදය සාක්ෂියට—ගරු කළ යුතුය. (1 කොරින්ති 13:5; 1 පේතෘස් 3:16) විශේෂයෙන්ම පූර්ව විවාහ ඇසුරේ මුල් අවධියේදී, එවැනි සියුම් විෂයක් ගැන කථා කිරීම අසීරු හා ව්‍යාකූලත්වයට පත්විය හැකි දෙයක් බව සත්‍යයකි. එහෙත් පසු කලකදී ඇතිවිය හැකි බරපතළ ගැටලුවලින් වැළකීම සඳහා මහත් දෙයක් කිරීමට එයට හැක. මේ කාරණා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කිරීමට සහ සාකච්ඡාකොට නියම කරගැනීමට ඇති ඔබේ හැකියාවට, ශක්තිමත් විවාහයක් සඳහා සබඳතාව කෙතරම් ශක්තිමත්දැයි දක්වන දර්ශකයක් ලෙස ක්‍රියා කිරීමටද හැකිවීම සිත්ගන්නා දෙයකි.
‘ඔබ මට ප්‍රේමයෙන් සිටියා නම් ඔබ එකඟ වෙනවා’
එහෙත්, සමහරවිට, හොඳම අභිප්රායන් තිබියදී වුවත්, තත්ත්වයක් රාගාධිකවීමට පටන්ගනියි. ඔබේ අදහස් පළ කිරීමට වේලාව මෙවිටය! හරියට මෝටර් රථයේ තිරිංගය දමනවා වගේ කරුණාවන්තව, නමුත් ස්ථිරව එය නවත්වන්න. අවශ්‍ය නම් ඉවත්ව යන්න. (හිතෝපදේශ 23:2 සසඳන්න.) ඔබ ඇසුරු කරමින් සිටින පුද්ගලයා සාධාරණ සීමාවන්ට ගරු කිරීමට ප්‍රතික්ෂේප කරමින්, සීමාව ඉක්මවා යෑමට ඔබට බල කරනවා නම් කුමක්ද? ‘ඔබ මට ප්‍රේම කළා නම් ඔබ එකඟ වෙනවා’ නැතහොත්, ‘හැම කෙනෙක්ම එසේ කරනවා’ එහෙමත් නැත්නම් ‘අපි ළඟදීම විවාහවෙන්න යනවනේ, ඉතින් ප්රශ්නය මොකක්ද?’ වැනි පාරදෘෂ්‍ය ක්‍රියා මාර්ගයන්ට ඇතැම් යෞවනයන් වැටී තිබෙන බව පැවසීම කනගාටුවට කරුණකි. බයිබල් කාලවලදී මෙන්ම, ‘ඔවුන්ගේ තොල්වල ඉච්චාවෙන්’ රවටාගැනීමට මාන බලන අය සිටිති. (හිතෝපදේශ 7:21; සසඳන්න ගීතාවලිය 5:9.) වාචික බල කිරීම්වලට බියවී යටත් නොවන්න!
එක දෙයක් නම්, ඔබට සැබවින්ම ප්‍රේම කරන කෙනෙකු ඔබේ ක්‍රිස්තියානි හෘදය සාක්ෂිය උල්ලංගනය කරන දෙයක් හෝ ඔබට අපහසු බවක් හැඟෙන යමක් කිරීමට ඔබට කිසිදා බල කරන්නේ නැත. (1 කොරින්ති 13:5) දෙවනුව, ‘සෑම කෙනෙකුම එසේ කරනවා’ යන්න ඇත්තෙන්ම සැබෑවක් නොවේ. තවද සෑම කෙනෙකුම එසේ සිදු කළා වුවත්, ඔබ එසේ කළ යුතු යයි ඉන් අදහස් කරන්නේ නැත. නික්මයාම 23:2හි ප්‍රතිපත්තිය මතක තබාගන්න: “නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න”
විවාහයේ පොරොන්දු ගැන සලකා බලන විට, ශුද්ධලියවිලිවල කොතැනකවත් විවාහබස්දී තිබෙන යුවළයන්ට විවාහ වූවන් මෙන් හැසිරීමට අවසර දී නැත. ඇරත්, නැන්සි වැන් පෙල්ට්ගේ, ද කම්ප්ලීට් කෝට්ෂිප් නමැති පොතෙහි වාර්තාගත, මෙම කනගාටුදායක සංඛ්‍යා ලේඛනයන් සලකා බලන්න: “ලිංගික ක්‍රියාවල යෙදුණු ගැහැනු ළමුන්ගෙන් සියයට 33කට වඩා විශ්වාස කළේ, තමන් ප්‍රථම ලිංගික සබඳතාව පැවැත්වූ විට, එම තැනැත්තා සමඟ විවාහ වන බවය—නමුත් එසේ විවාහ වූයේ ස්වල්ප දෙනෙකි. කෙසේවුවද, ලිංගික ක්‍රියාවල නිරතව සිටි තැනැත්තන්ගෙන් විමසීමක් කළ විට යෞවන ස්ත්රියව විවාහවීමට තමන් සිතූ බව කියා සිටියේ සියයට 7ක් පමණි. මේ දෙකෙන් එකක් සිදුවෙමින් තිබිණ—එනම් එක්කෝ ඇය ඇයවම රවටාගනිමින් සිටියා, නැතහොත් ඔහු සැබෑව පැවසුවේ නැත. ඔබට කැමති එකක් තෝරාගන්න.” ඥානවන්ත හිතෝපදේශයක් මෙසේ පවසයි: “නුවණ [අද්දැකීම්, NW ] නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.”—හිතෝපදේශ 14:15.
ඔබේ සිතේ හැඟීම් උත්සන්නවී තිබෙන විට
ටෝමාස් නමැති ජර්මන් යෞවනයා මෙසේ වරද පිළිගනියි: “මට ස්ථිර පෙම්වතියක් සිටියා, තවද අප දැඩි ලෙස සිපවැළඳ ගත්තා. නමුත් අප සැමවිටම නිසි වෙලාවට නවත්වන බවක් පෙනෙන්නට තිබුණා. මෙය මට මාවම පාලනය කරගත හැකියි යන හැඟීම ඇති කළා.” එම මායාව ඔහුව ලිංගික දුරාචාරයේ යෙදීමට මඟ පෑදීය. බයිබලයේ අනතුරු ඇඟවීම සිහියට නඟන්න: “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.”—1 කොරින්ති 10:12.
යුවළක් නුසුදුසු හැසිරීමකට වැටෙනවා නම් කුමක් කිව හැකිද? ජෝන් නමැති යෞවන පුරුෂයෙක් මෙසේ පවසයි: “මගේ පෙම්වතිය සහ මා ඇසුරු කිරීමට පටන්ගත් මුල් වතාවේදී, අපගේ හැසිරීම පිරිසිදුව හා උසස් මට්ටමක තිබුණා. නමුත් එක් අවස්ථාවකදී—හරියට වේශ්‍යාකමේ යෙදෙන තරම්ම ආසන්නයකට—අප සිපගැනීමට හා වැළඳගැනීමට පටන්ගත්තා. මගේ සභාවේ සිටින වැඩිමහල්ලෙකුට කථා කිරීමට මා තීරණය කළේ එවිටයි.” එසේය, යුවළක් දේවල් එතරම් දුරදිග යෑමට ඉඩහරින විට, දෙදෙනාටම උපකාරය අවශ්‍යය! ඔබට තනිවම ගැටලුව විසඳාගත හැකි යයි සිතමින් ඔබවම රවටා නොගන්න. “ ‘එය නැවත නොකිරීමට අපට උපකාර කරන්න’ යයි මා යාච්ඤා කරන්නට වුණා” යයි යෞවනියක් පිළිගන්නීය. “සමහර අවස්ථාවලදී එය ක්‍රියාත්මක වූ නමුත් අවස්ථා ස්වල්පයකදී එය එසේ වුණේ නෑ.” එබැවින් බයිබලය මෙසේ පවසන විට හොඳ උපදෙසක් දෙයි: “සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා.” (යාකොබ් 5:14) නිසි මාර්ගයේ යමින්, එකිනෙකා සමඟ—තවද, ඊටත් වඩා වැදගත්ව, දෙවියන්වහන්සේ සමඟ—ඔබේ සබඳතාව පවත්වාගැනීමට අවශ්‍ය කුමන හෝ අවවාදයක්, උපදෙසක් නැතහොත් තරවටුවක් දීමට මෙම ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට හැකිය.
එහෙත්, සුදුසු ආරක්ෂා මාර්ගයන් ගැනීම, කලින්ම සීමාවන් පනවාගැනීම හා දෙවියන්වහන්සේගේ නෙත් හමුවේ පවිත්‍රව සිටීමට අදිටන් කරගැනීම ඊටත් වඩා සුදුසු දෙයයි. මෙයාකාරයෙන් ඔබට විපත්තිය වළක්වාගත හැක. g94 3/22
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර ඇත.
b වර්ෂ 1993 අපගේ ඔක්තෝබර් 22 එවේක්! කලාපයේ “යෞවන අය අසති . . . හෞ ෆාර් ඉස් ‘ටූ ෆාර්’?” යන ලිපිය බලන්න.
c ලෝකයේ ඇතැම් කොටස්වල, අවිවාහක පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ ස්නේහය දැක්වීම නුසුදුසු සහ වරද සහිත යයි සැලකේ. කිසියම් අයුරකින් අන් අයව පැකිළවිය හැකි හැසිරීමක නොයෙදීමට ක්‍රිස්තියානිහු සැලකිලිමත් වෙති.—2 කොරින්ති 6:3.
[17 පිටුවෙහි ඇති පින්තූරය]
නුසුදුසු ස්නේහය දැක්වීම් එපා යයි ඥානවන්ත යුවළක් පවසයි