අයිස් ක්‍රීම්වල ඉතිහාසය
අයිස් ක්‍රීම්වල ආරම්භයේ පටන් එහි තත්ත්වය ඉමහත්සේ වැඩි දියුණු වී ඇත. පැරණි රෝමවරුන් විසින් සෝර්බට් නිපදවනු ලැබීය. හිම, පලතුරු සහ පැණිවලින් සෑදූ, අර්ධ ලෙස මුදවන ලද මෙම අතුරු පස, ඇතැම්විට ධනවතුන්ගේ මේස මත දක්නට ලැබුණි. දිගු කලක් පුරා සෝර්බට් නිෂ්පාදනයේ අඩුලුහුඬුකම් මකාලනු ලැබූ අතර, පැහැදිලිවම එහි මුදුන් පෙත්තට එය පැමිණියේ මධ්‍යතන යුගයේ ප්‍රධාන අරාබි අරක්කැමියන්ගේ අත්වලදීය. “සෝර්බට්” සහ “ෂර්බට්” (සරුවත්) සමහරවිට ආරම්භයේදී අරාබි වචන විය හැක.
ප්‍රධාන වශයෙන්ම ජලයෙන් සෑදූ ඉපැරණි සෝර්බට්, නවීන-දින අයිස් ක්‍රීම්වල පූර්වගාමියා යයි පැවසිය හැක. කිරි, බිත්තර, සීනි, රසගැන්වීමේ ද්‍රව්‍ය උපයෝගි කරගැනීමෙන් කැපී පෙනෙන වෙනසක් සිදුවිය, ඉන් උකු රසවත් මිශ්‍රණයක් සාදන ලදි. ඔබ 1600 ගණන්වල ප්‍රංශයේ XIVවන [14වන] ලුවී රජුගේ රජ මැදුරේ ජීවත් වූවා නම්, උසස්-සමාජයට අයිස් ක්‍රීම්වල හඳුන්වා දීම ඔබට දක්නට තිබුණි. අයිස් ක්‍රීම් ජීරණය පහසු කරවන්නක්ද එසේ නොවන්නක්ද යන්න සම්බන්ධයෙන් ඒ කාලයේදී වෛද්‍යවරුන් සහ වෙනත් ප්‍රවීණයන් අතර යම් මතභේදයක් ඇතිවී තිබුණි.
ශීත කළ අයිස්-ක්‍රීම් යන්ත්‍ර නොතිබූ විට අයිස් ක්‍රීම් සෑදීමට හැකි වූයේ කෙසේද? පළමුව, ලී සහ පිව්ටර්වලින් සෑදූ භාජන දෙකක්, එකක් ඇතුලේ තවෙකක් බහා භාවිතයට ගැනුණි. අයිස්-ක්‍රීම් මිශ්‍රණය සූදානම් කරනු ලැබුවේ වඩා කුඩා එකෙහි වන අතර, දෙක අතරෙහි වූ හිදැස අයිස් සහ ලුණුවලින් පුරවනු ලැබීය. අවශ්‍ය ද්‍රව්‍ය එක් කළ පසු, මිශ්‍රණය භාජනයෙහි තිබෙන්නට හරිනු ලැබූ අතර අයිස් ක්‍රීම් සූදානම් විය. අයිස් ලැබුණේ කෙසේද? ශතවර්ෂ ගණනකට පෙර ජනයා ශීත කාලයේදී හිම එකතු කරගැනීමෙන් හා පිදුරු සහ ඕක් අතුවලින් වැසී ඇති වළවල්වල ඒවා ඇහිරීමෙන් අයිස් සාදා, ගබඩා කළ හැකි බව සොයා ගත්හ. දහනවවන ශතවර්ෂයේදී අයිස් සෑදීමේ යන්ත්‍ර සොයා ගනු ලැබූ අතර විශාල වශයෙන් නිපදවීමට යොදා ගැනුණි. නිවෙසේදී, අයිස් කල් තබාගත්තේ ලී සහ කිරල වැනි ගස් වර්ගයකින් සෑදූ අයිස් පෙට්ටිවලය.
අයිස්-ක්‍රීම් සෑදීමේ තාක්ෂණවල ඉතා සියුම්බවක් මෙම ශතවර්ෂයේදී දැක ඇත. ශීතකරණයන්, අයිස්-ක්‍රීම් යන්ත්‍ර සහ වෙනත් උපකරණ, ස්වස්ථතා තත්ත්වයන් දියුණු කරමින්, දැන් කාර්මාන්ත වශයෙන් සහ ගෙදර දොරේ අයිස්-ක්‍රීම් නිෂ්පාදනය සඳහා පහසුකම් ඇති කර තිබේ.
අයිස්-ක්‍රීම් සෑදීමේ කලාව
දක්ෂ අයිස්-ක්‍රීම් සාදන්නෙකුහට සිය වෘත්තිය ගැන දැනුමක් තිබිය යුතුය, මින් අදහස් වන්නේ ඔහු කැවිලි සාදන්නෙකු සහ කෝකියෙකු, සමහරවිට කලාකරුවෙකු, එමෙන්ම සුළු වශයෙන් හෝ රසායනඥයෙකු හා ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු විය යුතු බවයි. අයිස්-ක්‍රීම් බෙහෙවින් ඝන, උකු හා ප්‍රණීත කරවන්නේ කුමක්ද? හොඳයි, උදාහරණයක් වශයෙන් කාර්මික ලෙස නිපදවූ අයිස් ක්‍රීම් ගැන සලකා බලන්න. නිපදවීමේදී මිශ්‍රණය ඝන කිරීම සඳහා මේද සහ උකු කළ එළවුලු සාරයන් එකතු කෙරේ. බිත්තර, සීනි සහ අවශ්‍ය නම් කොකොවා, කෝපි සහ පලතුරු වැනි ස්වාභාවික වර්ණ ගැන්වීම හා රස ගැන්වීමද නිසි ප්‍රමාණවලින් යොදා මිශ්‍ර කෙරේ. රටකජුවලින් සාදන ලද බටර් අයිස් ක්‍රීම්ද තිබේ.
මිශ්‍රණය ෆැරන්හයිට් අංශක 160ක උෂ්ණත්වයේදී හොඳින් මිශ්‍ර කළ පසු, තිබිය හැකි විෂබීජ නැසීමේ ප්‍රයත්නයක් වශයෙන් එය ෆැරන්හයිට් අංශක 190ක උෂ්ණත්වය දක්වා ගෙනෙනු ලැබේ. පැය කීපයකට එය ෆැරන්හයිට් අංශක 40කට ශීත කළ පසු, එය සකස් වේ. ක්‍රියාවලියේ දෙවන අදියර වනාහි මිදෙන්නට හැරීමය. මිශ්‍රණය සෙමෙන් කලවම් කරන අතරේදී, ෆැරන්හයිට් අංශක 15-20 දක්වා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් අඩු කෙරේ. මෙය අයිස් ක්‍රීම්වල නියම, උකු ගතිය ඇති කිරීමට හේතුකාරකයක් වන වාතය එය තුළට ඒමට ඉඩ සලසයි.
රෝමවරුන් සිය සොර්බට් භුක්තිවිඳි දා පටන් හා XIVවන ලුවී රජගේ රජ මැදුරේදී අයිස් ක්‍රීම් හඳුන්වා දුන් දා පටන් ශතවර්ෂ ගණනක් පසුවී ඇත. එහෙත් ඔබ ඊළඟ වතාවේදී ඔබේ ප්‍රියතම මිදෙවූ අතුරුපස භුක්තිවිඳින විට, එය සෝර්බට් හෝ අයිස් ක්‍රීම් වුවත්, එවන් නැවුම්බවක් ගෙන දෙන්නක් සොයා ගැනීම සඳහා එම පැරණි රෝමවරුන්හට ස්තුතිපූර්වක වන්න! g94 3/22